27
Nov

ස්ත්‍රී ෆැන්ටසියක සජීවී චිත්‍රය

punya-12

ප‍්‍රවීණ රංගන ශිල්පීණි පුණ්‍යා හීන්දෙණිය අද (27) සවස බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදි පැවැත්වෙන සිග්නිස් උත්තමාචාර උළෙලේදී ජීවිතේ එක්වරක් පමණක් පිරිනමනු ලබන ඉහළම උත්තමචාර සම්මානයෙන් පිදුම් ලබන්නීය. මේ මොහොතේ ඇගේ රංග භාවිතය විමසීම ද ඇයට පුදන උත්තමචාරයක් ලෙස සළකමු.

ලාංකේය සිනමා නළු - නිළි වංශ කතාව තුළ සුවිශේෂ කතාබහට ලක්ව සුවිශේෂ ප‍්‍රතිරූපයක්ද ගොඩ නඟා ගනිමින් කෙටි කලකින් සිනමාවෙන් සමුගෙන නිහඬව සිටින නිළියකි පුණ්‍යා හීන්දෙනිය.

පුණ්‍යා හීන්දෙනියගේ නිළි සම්ප‍්‍රාප්තිය සිදුවන්නේ අපේ සිනමාව තුළ ජාතික අනන්‍යතාවක් පිළිබඳව ඉව අල්ලමින් එහි අන්තර්ගතයෙහි ඓතිහාසික වෙනසක් සිදු කරන්නට ප‍්‍රයත්න දැරූ පුරෝගාමී සිනමාකරුවකු වූ සිරිසේන විමලවීරයන්ගේ අශෝකා (1955) චිත‍්‍රපටයත් සමඟය. එහි නැටුම් ජවනිකාවකට පමණක් එක්වූ පුණ්‍යා ඉන් අනතුරුව ‘සුනීතා’ (1958* ‘දෙයියන්නේ රටේ (1958) ‘ශ‍්‍රී 296’ (1959* ‘කුරුළු බැද්ද’ (1961) ‘සිකුරු තරුව’ (1963) ‘රන්සළු’ (1967) ‘පරසතු මල්’ (1966) ‘කලියුගය’ (1983) යනාදී චිත‍්‍රපට කිහිපයකට රංගනයෙන් දායක වූවාය.

punya-3

පුණ්‍යා හීන්දෙනිය එදා සිංහල පේ‍්‍රක්‍ෂකයන්ගේ ‘පරමාදර්ශි කුල කාන්තාව‘ බවට පත්වන්නේ ‘කුරුළු බැද්ද චිත‍්‍රපටයේ රන් මැණිකා ගේ චරිතයෙනි. රෙද්ද සහ හැට්ටය හැඳ සිංහල ගැමි කතක ලෙස පුණ්‍යා නිරූපණය කළ චරිතය එතෙක් සිංහල ගැමි සුවඳ වෑහෙන ‘කුල කතක’ පිළිබඳව පේ‍්‍රක්‍ෂක මනස තුළ සංකල්ප ගතකොට තිබූ පැන්ටසිය අවදි කිරීමක් විය.

punya-4

පුණ්‍යාගේ නිළි සම්ප‍්‍රාප්තිය සිදුවූ අවදියේදී ලාංකේය සිනමාව තුළ ඓතිහාසික වෙනසක් සිදු කරන්නට පෙරට ආ ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජී.ඞී.ඇල්. පෙරේරා, සිරි ගුණසිංහ, ටයිටස් තොටවත්ත, ගාමිණී ෆොන්සේකා ඇතුළු සිනමාකරුවන් ස්වකීය චිත‍්‍රපට සඳහා අලූත් මුහුණු යොදාගන්නට උත්සුක වූහ. මේ සිනමාකරුවන් ඔවුන්ගේ මුල්කාලීන චිත‍්‍රපට සඳහා විෂය කරගත් ගැමි පුවත්වලට සරිලන, ඊට ආවේනික වූ ගති ලක්‍ෂණ සහ ශාරීරික ලක්‍ෂණ ඇති නිළියන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ බව පෙනේ. එකී ගති ලක්‍ෂණ සහ ශාරීරික ලක්‍ෂණ විශද කරන රූ සපුවක් උරුම කරගෙන සිටීම පුණ්‍යා හීන්දෙනිය සුවිශේෂී නිළි ප‍්‍රතිරූපයක් ලෙස මතුවීම කෙරෙහි බලපෑ ප‍්‍රධාන සාධකයක් විය. එහෙයින් ‘කුරුළු බැද්ද’ චිත‍්‍රපටයේ රන් මැණිකා වූ පුණ්‍යා හීන්දෙනිය ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටයේ නන්දා වෙමින් තවදුරටත් සිංහල කුල කාන්තාව පිළිබඳ පැන්ටසිය ව්‍යාප්ත කළාය. 1963 දී ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ‘ගම්පෙරළිය’ චිත‍්‍රපටයේ නන්දාගේ චරිතය හිමිවීම පුණ්‍යා හීන්දෙනිය තම නිළි සම්ප‍්‍රාප්තිය තුළ අත්පත් කරගත් සුවිශේෂ ජයග‍්‍රහණයක් විය.

‘ගම්පෙරළිය’ අපේ සිනමාව අන්තර් ජාතික මට්ටමේ සිනමා සම්ප‍්‍රදායකට හිමිකම් පෑ බව සනාථ කළ චිත‍්‍රපටයක් වූවා සේම ඊට පාදක වූ මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ නවකතාවද සිංහල නවකතාවට කලාත්මක හා යථාර්ථවාදී රීතියක් එක්කළ පුරෝගාමී කෘතියක් විය.

‘ගම්පෙරළිය’ නවකතාව තුළ දැක්වෙන සමාජ විපර්යාසයට අමතරව ප‍්‍රධාන වශයෙන් මතුවන්නේ නන්දාගේ චරිතය සමාජයීය වශයෙන් හා අධ්‍යාත්මික වශයෙන් මුහුණදුන් අර්බුදයයි. ‘ගම්පෙරළිය’ නවකතාව කියවීමේදී නන්දාගේ චරිතයට ආවේණික ගති පැවතුම් හා රූප ලක්‍ෂණ පිළිබඳ යම් චිත්ත රූපයක් පාඨකයා තුළ මැවුනද ඒ චිත්ත රූපය මූර්තිමත් කරවන රූ සපුවක් සහ ගති ලක්‍ෂණ පුණ්‍යා ගේ ශරීරය තුළ සහ රංගනය තුළ නිදන්ගතව තිබිණි.

පියල්ගේ විවාහ යෝජනාව ප‍්‍රතික්ෂේප කොට තම කුලයට ගැලපෙන පුරුෂයකු සරණපාවාදී කුලගොත රැුක ගන්නට නන්දාගේ දෙමව්පියන් දැරූ ප‍්‍රයත්නයට වන්දි ගෙවන්නට සිදුවූයේ නන්දාටය. ඇගේ අසාර්ථක විවාහය වැඩවසම්වාදයේ පරිහානිය පිළිබිඹු කරන සංකේතයකි.

මේ සමාජ පරිහානිය තුළ සිරවී ආත්මීය වශයෙන් දුක්ඛ දෝමනස්සයන් භුක්ති විඳින්නට සිදු වූ නන්දාගේ භූමිකාව නිරූපණ කරන පුණ්‍යා එකී චරිතයෙහි අභ්‍යන්තර ගති ලක්‍ෂණ හා මනෝභාවයන් හොඳින් ග‍්‍රහණය කරගත් අයුරු පෙනේ.
ගම්පෙරළියෙහි දී පියල්ව ප‍්‍රතික්ෂේප කොට අවසානයේදී ඔහුගේම ග‍්‍රහණයට හසුවන නන්දා ‘කලියුගය’ චිත‍්‍රපටයේදී අපට හමුවන්නේ නාගරික සුළු ධනේශ්වර පන්තියට ඇතුළු වී අවසානයේදී එහි කුණු සැරව ඉවසාගත නොහැකිව අධ්‍යාත්මිකව රෝගාතුර වූ ගැහැණියක ලෙසිනි.

කොග්ගල නමැති දකුණු පලාතේ ගමක ඉපිද, එහිම හැදුණු වැඩුණු නන්දා පියල් හා විවාහ වීමෙන් අනතුරුව ඔහුගේ රුපියල් සතවල ආනුභාවයෙන් කුල්මත්ව ඉහළ මධ්‍යම පංතික පුරුෂාර්ථ කරපින්නා ගනිමින් එතෙක් ඇය වෙත උරුම ව පැවැති සියලූ ගුණධර්ම අභාවයට යන්නට ඉඩ හරින අයුරුත්, අවසානයේ දී පියල් මෙන්ම නන්දා ද මෙහෙයවනු ලැබූ එම පුරුෂාර්ථයන්ගේ නියත ජරාජීර්ණත්වය, එහි දුර්ගන්ධය ඔවුන් කරා හඹා එන අයුරුත් ලෙස්ටර් ‘කලියුගය’ චිත‍්‍රපටයෙහිලා විග‍්‍රහ කරන්නේ පේ‍්‍රක්‍ෂකයා තුළ සාතිශය සංවේගයක් සහ සදය උපහාසයක් ද දනවමිනි.
ලෙස්ටර් ‘කලියුගය’ තුළ ඉහත ක‍්‍රියාදාමයන් පිඬුකොට දක්වනුයේ පේ‍්‍රක්‍ෂකයා දැඩි බුද්ධිමය දැහැනක රඳවමිනි. මේ බුද්ධිමය ක‍්‍රියාදාමය තුළ කිසිදු අනුවේදනීය අවස්ථාවක් භාවතිශය ලෙස ඉස්මතු වන්නට ඉඩ නැත. මෙහිදී නන්දා ලෙස රඟන පුණ්‍යා එකී චරිතය සතු සංකීර්ණභාවය මනාව ග‍්‍රහණය කර ගනිමින් ලෙස්ටර්ගේ බුද්ධි ගෝචර සිනමා අත්දැකීමට ඉහළින්ම දායක වන්නීය.

ජීවිතයේ අනුවේදනීය අවස්ථා වලදී කදුළු සලා ඉකිබිඳිමින් පේ‍්‍රක්‍ෂකයා හඬා වැට්ටවීමට වඩා පේ‍්‍රක්‍ෂකයා බුද්ධිමය වශයෙන් හඬා වැට්ටවීම අසීරු කාර්යයකි. පුණ්‍යා ‘කලියුගය’ තුළ මුහුණදී සිටියේ ඒ අසීරු රංගනයටය. කලියුගයෙන් අනතුරුව පුණ්‍යා හීන්දෙනිය සිනමාවෙන් ඈත්වීම නිසා ඇගේ රංගනයේ විශිෂ්ට ඵල තවදුරටත් නෙළා ගැනීමේ භාග්‍යය ලාංකේය සිනමාවට අහිමි විම දරිය නොහැකි පාඩුවකිම

-Gunasiri silva

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday160
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week359
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12398
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083731

Follow us on Facebook

Online Users

We have 49 guests online