17
Jan

නිළියක් හැටියට මං ගතකළේ හරිම සරුවපිත්තල ජීවිතයක්-අනෝජා

‘1955 බදුල්ල කයිලගොඩ දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක හත්වැන්නියව උපන් ඇය පරණ පල්ලියගුරුගේ අනෝජා කාන්ති සිරිවර්ධන‘

පූර්ව කථනය එසේ ඇසෙද්දී දුරස්ථ රූපයක්ව තිරයේ ඇඳුණු ඇගේ රුව කෙමෙන් කෙමෙන් සමීප රූපයක් බවට පත්වුණා. මුහුණේ තැනින් තැන මතුව ඇති රැළි මැදිවියද ගෙවා දමන දෑස්, නොකියාම බැරි දෙයක් කියා දමන්න සැරසෙන්නාක් මෙන් මුවගෙහි මදහසක්ද මතු වුණා.

අනෝජා වීරසිංහ ජාත්‍යන්තර සම්මානලාභී රංගවේදිනිය. පසුගියදා ජාතික රූපවාහිනියේ විකාශය වූ විනීතා කරුණාරත්න අධ්‍යක්ෂණය කළ ‘ආලකමන්දාවේ‘ කථානායිකාව වූයේ ඇයයි.

මදහස පිරුණු ඇගේ මුහුණ දකිද්දී මතකයට නැගුණේ මෑතක ඇය ‘පවන‘ ට කී කතාවක්.

‘මේ ළඟදි දවසක මං පාරේ ඇවිදගෙන යනකොට දෙයක් සිද්ධ වුණා. ටී.වී. එකේ රිදී නිම්නයේ අපේ පරණ ෆිල්ම් හරියට යනවානෙ. ඒවා දැකපු අම්මෙකුයි පුතෙකුයි මාව නවත්තනෙ මෙහෙම කියනවා.‘පුතේ මේ අර චිත්‍රපටවල හිටපු නැන්දා තමයි. අනේ ඔයා ඒ කාලෙ කොච්චර ලස්සනද? අම්මා මෙහෙම කියද්දි දරුවා මං දිහා කට ඇරගෙන බලා ඉන්නවා. අම්මාට නම් පිස්සු කියලා දරුවාට හිතෙන්න ඇති. ‘එපා කරදර කරන්න. ඔයා මාව දැනගත්තාට මේ දරුවාට මාව දැන ගන්න බැරුව ඇතිනේ.‘මම  කිව්වා. ‘ඒක නේන්නම් ඔයා කොච්චර ලස්සනට .... සුන්දරව හිටියාද? ‘ අම්මා ආයෙත් කියනවා. එදා නෙමෙයි මම අදයි ලස්සන කියලා මට ඇතුළෙන් හිතෙනවා.‘

මං ඒ මතකයට එබිකම් කරද්දී අනෝජා ඇගේ අතීතයේ මතක පුංචි තිරයේ අඳින්නට වුණා.

‘ඉස්සර අපි නාට්‍ය පෙන්නුවෙ , සිංදු කිව්වෙ වියන් ඇඳේයි. එහෙම කියපු එක සිංදුවක් මේ දැනුත් මතකයි.

‘ශාන්ත මේ රාත්‍රියේ...චන්ද්‍ර කාන්ති....‘

අනෝජාගේ දෑස් හිනාවුණා.

‘නිළියක් වෙන්න ආසාවෙන් හිටියේ මායා අක්කා. මට ඕනෑ වුණේ ගායිකාවක් වෙන්න. ඒත් අන්තිමේ මායා අක්කා ගායිකාවක් වෙලා මං නිළියක් වුණා.

‘සිනමාව මට අහම්බෙන් ලැබිච්ච දෙයක්. ඒ දවස්වල මං වැඩ කළේ රක්ෂණ සංස්ථාවෙ. එතැන ම‍ගේ යෙහෙළියක හමුවෙන්න සුනිල්සෝම පීරිස් නිතරම එනවා. ඒ ආව වෙලාවට මාත් නළු නිළියො ගැන විස්තර සුනිල්සෝම පීරිස්ගෙන් අහනවා. ගාමිණී , මාලනී, විජය, ජෝ... මේ ගොල්ලො දැකලා තියෙනවාද කියලා මං ඇහුවා. එයා කිව්‍වා ‘අපෝ ඔව්‘ කියලා. ‘මෙහෙම ළඟම ඉඳිද්දි දැකලා තියෙනවාද?‘ ‘ඔව්.... ඔව්.... අපි එකට කනවා බොනවත් ‘කියලා කිව්වා. මටත් දැන් ඉතිං මට හරිම ආසයි. මං මගේ යාළුවාට කිව්වා මටත් ඔය චිත්‍රපටයක මොනව හරි පුංචි කෑල්ලක් හොයල දෙන්න කියලා. ඉස්සර මං මොනරාගලදි ‘අඳුරෙන් එළියට‘ කියල නාට්‍යයක රඟපාල පොඩි අත්දැකීමකුත් තිබුණා. මගේ යාළුවා සුනිල්සෝම පීරිස්ට ඒ ගැන කියලයි තිබුණෙ

එහෙම එක දවසක සුනිල්සෝම පීරිස් කලබලෙන් දුවගෙන ආවා. චිත්‍රපටයක පුංචි දර්ශනයකට නිළියක් ඕනෑවෙලා කියලා මට ලෑස්ති වෙන්න කිව්වා. රූගත කිරීම තිබුණෙ පහුවදා.

විදුලි පඩිපෙළක මං පහළට එනවා. මා පස්සෙන් ජෝ අබේවික්‍රම ලුහුබඳිනවා. මගේ මූණට එබෙමින්, විපරම් කරමින් ඔහු මා දිහා බලනවා. මං රවනවා.ඔරවනවා. වචනයක්වත් කතා බහක් නෑ. අන්තිමේ පඩිපෙළෙන් බැහැලා ගස්සගෙන යනවා. ටක් ටික් ටුක් කියනකොට ඒ රූපගතකිරීම ඉවරයි. චිත්‍රපටය ‘ටක් ටික් ටුක්‘.

මගේ මූණ සුදුපාට වෙන්නම මේක්අප් කරලා. මට මූණ හෝදන්නත් ලෝබයි. මං එහෙම මේක්අප් පිටින්ම ගෙදර යන්න බස් එකට නැග්ගා. වීදුරුව අයිනෙ ෂීට් එකක ඉඳගත්තා.‘දැන් මමත් නිළියක්‘ එහෙම හැඟීමක් හිට ආවා. කා දිහාත් නොබලා වීදුරවෙන් පිටත බලාගෙන හිටියා. ඒ වෙලාවෙ මාව දැකපු පිරිමි ළමයි රංචුවක් ‘ඒයි... කවුද බං මේ මළකෝළම‘ කියලා හරියට විහිළු කළා. ඒත් මට ඒ කතා ගානක් වුණේ නෑ.‘

‘ගුවන්විදුලියේ ජනප්‍රිය වෙච්ච ‘මොණරතැන්න‘කතාව චිත්‍රපටයකට නගන්න යසපාලි නානායක්කාර මහත්තයා ලෑස්ති වෙලා අලුත් නිළියක් හොයලා තියෙනවා. සුනිල්සෝම පීරිස් මං ගැන කිව්වට වැඩිය කැමති වෙලා නෑ. අන්තිමේදී කොහොම හරි සුදුසු නිළියක් නැතුව ඉඳිද්දී සුනිල්සෝම පීරිස්ට කියලා තියෙනවා මාවවත් එක්කගෙන එන්න කියලා.‘

‘රූගත කිරීම් යොදාගෙන තිබුණෙ මාතර. උදෙන්ම මාවයි, මහත්තයාවයි, දුවවයි වෑන් එකට නග්ගගත්තා. ඊට පස්සෙ කැමරා උපකරණ අනෙකුත් දේවල් සේරෝම එකතු කරන්න කොළඹ වටේම රවුම් ගහලා කොළඹින් පිටත් වෙනකොටත් හවස්වෙලා.

පහුවදා රූගත කිරීම් තිබුණෙ මුහුදු වෙරළෙ. මම රඟපෑවෙ මාලනී අක්කාගෙ යෙහෙළිය සුරංගි විදිහට. මාලනී අක්කාගේත් මගේත් දෙබසක්. මමත් ඉතිං මගේ දෙබස් හයියෙන් කෑගහලා අත් දෙකත් ගස්සලා කිව්වා. ඒකට සෙට් එකේ හිටිය හැමෝටම හිනා. යසපාලිත මහත්තයාටත් හිනා. ඒ වෙලාවෙ මාලනී අක්කා හෙමින් සැරේ මාව පැත්තකට එක්කගෙන ගිහිල්ලා ‘කැමරාව ඉස්සරහ ගොඩක් දේවල් කරන්න ඕන්නෑ. පුංචි පුංචි දේවල් වුණත් ඇති ‘ කියලා බොහොම ආදරෙන් කියලා දුන්නා. මගේ පළමුවැනි ගුරුවරිය මාලනී අක්කා. ඒ දර්ශනයෙන් පස්සේ විජය (පියසෝම) අප් දිහාට ඇවිදගෙන එනවා. රන් රූපයක් වාගෙ ලස්සනයි.

මොණරතැන්නෙ රඟපෑමට මට රුපියල් පන්සීයක් ලැබුණා. ඒ විතරක් නෙමෙයි රුපියල් මිලියන ගණනක අත්දැකීමුත් ලැබුණා.

ෂූටිං ඉවරවෙලා ගෙදර එන්න බලනකොට වාහනවල ඉඩ නෑ. අපි ආවෙ කෝච්චියේ. මරදානෙන් බහිනකාට හොඳටම රෑ වෙලා. අපි ඉස්ටේසමේ ඉඳලා පාරට ආවෙ වැල්ලම්පිටියට යන්න බස් එකක නැගගන්න. ඒ 89 කලබල කාලෙදවසක්.ඇඳිරි නීතිය දාලා. අපි දන්නෙත් නෑ. කිසිම වාහනයක් පාරක නෑ. නන්දට හොඳටම කේන්ති ගිහින්. එයා දුව වඩාගෙන මට හුඟක් ඉස්සර වෙලා පයින් යනවා. මාතරින් ගත්ත කිරි හට්ටියි ඇඳුම් බෑගුයි සේරම අත් දෙකේ එල්ලාගෙන මං ඒ දෙන්නා පිටිපස්සෙ. මරදානෙ ඉඳලා වැල්ලම්පිටියටම අපි ආවෙ පයින්.

රඟපෑවාට ඔය කාලෙ ජනප්‍රිය වෙන්න පුළුවන් කමක් තිබුණෙ නෑ.  ඒ හින්ද මං කල්පනා කරල රිය පදවන්න, පීනන්න, අශ්වයො පිටේ යන්න, නටන්න, කරාටේ ගහන්න ඔය හැම දේම ඉගෙන ගත්තා. ඒක අධ්‍යක්ෂවරුන්ටත්, නිෂ්පාදකවරුන්ටත් පහසුවක් වුණා. මට චිත්‍රපට ලැබුණා. ජනප්‍රියත්වයෙන් ඉහළට ගියා.‘

80 දශකයේ අග භාගයේ අනෝජා රංගනයේ කූටප්‍රාප්තිය සටහන් කරන්නේ රටටද ජාත්‍යන්තර කීර්තියක් අත්කර දීමෙන්.

‘ඔව්. ඒ නිහාල්සිංහ අයියා හින්දා. නිහාල්සිංහ අයියා මගේ සරසවිය. ඔහුව ඉස්සෙල්ලාම හමුවුණේ සුනිල් ආරියරත්නයන් ගේ ‘කැලෑමල්‘ චිත්‍රපටයෙන්. ඒ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂවරයා නිහාල්සිංහ අයියා.‘

‘නිහාල්සිංහ අයියාගේ ‘මල්දෙණියෙ සිමියොන්‘ චිත්‍රපටයේ ජේන් සහ සෝමා විදිහට මං ද්විත්ව චරිත රඟපෑවෙ. ‘මල්දෙණියෙ සිමියොන්‘ තිරගත වුණේ 86 වසරෙදි.87 වසරෙ ඉන්දියාවේ නවදිල්ලි ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී මේ ද්විත්ව චරිත නිරූපනය වෙනුවෙන් මට රජත මයුර සම්මානය හිමි වුණා.‘

‘ඒ දවස්වල මගේ චිත්‍රපට තිරත වෙද්දි තාත්තත් එනවා ඒ චිත්‍රපට බලන්න.තාත්තා එන්නෙ මගේ අතේ එල්ලිලා හරි ආඩම්බරේට. ඒ එනකොට හෙමින් සැරේ අහනවා ‘තාම සම්මානයක් මොකුත් නැද්ද?‘ කියලා. ඒත් මගේ රඟපෑම් ජාත්‍යන්තරව ඇගයෙනකොට ඒ සම්මානය දකින්න තාත්තා මෙලොව හිටියෙ නෑ. ඒක මට දුකක්.

89 – 90 කාලෙ ලම්ඩා වලිනුත් තවත් ආයතන කිහිපයකිනුත් රටවල් කිහිපයකිනුත් වරින්වර රංගනය ඉගෙනගත්තා. The island චිත්‍රපටයෙ රඟපාන්නත් ලැබුණා

‘ජීවිතයේ විවිධ හැලහැප්පීම් එක්ක මානසිකව පල්ලෙහාටම ඇදවැටිච්ච කාලයකුත් තිබුණා. 2000 අවරුද්දෙ දේශපාලන පළිගැනීම් මත මොණරාගල මගේ ගෙදරට ගිනි තැබුණා. මගේ චිත්‍රපට ඔක්කොම පිච්චිලා ගියා. ගෙදර තිබිච්ච සරස්වතී රූපෙත් බාගයක් විතර පිච්චිලා. ඉතිරිවෙලා තිබුණෙ බුද්ධ රූපෙ විතරයි.‘

‘ජීවිතේ මොනතරම් අනිත්‍යයිද? මේ අනිත්‍ය ගැන නේද බුදුහාමුදුරුවෝ කියලා තිබුණෙ කියලා මට හිතුණා. ඒ සත්‍ය සොයා යන්නට මා තුළ පෙළඹීමක් ඇති කළා.නිළියක් හැටියට අතිශය කාර්යබහුල වෙමින් ගත කළේ මොන තරම් සරුවපිත්තල ජීවිතයක්

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday133
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week966
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8370
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991159

Follow us on Facebook

Online Users

We have 28 guests online