20
Jun

තනිකඩ ජීවිතේ හරිම සාමකාමියි- යශෝධා විමලධර්ම

වසර 25 ක් පුරා කලා ක්‍ෂේත‍්‍රය තුළ රැඳෙමින් විශිෂ්ට චරිතාංග නිළියක ලෙස නමක් දිනා ගනිමින් ඉතා යහපත් කලා දිවියකට උරුමකම් කීමට සමත් වූ ඇය තමාට රඟපාන්නට ලැබුණූ සෑම චරිතයකටම තම නිසර්ග වූ රංග කුසලතාවයන් මනාව හසුරුවමින් පේ‍්‍රක්‍ෂක විචාරක දෙපාර්ශ්වය තුළින්ම ඇගයීම්වලට නිරන්තරයෙන් ලක් වූවාය. ‘හිරු දහස’ වේදිකා නාට්‍යය තුළින් රංගනයට අත් පොත් තබා මේ වන විට විකාශනය වන ජැක්සන් ඇන්තනීගේ ‘සී රජ’ දක්වා ඉතා විශිෂ්ට රංග ප‍්‍රතිභාවන් ප‍්‍රකට කළ මේ කතා නායිකාව වන්නේ සුරූපී යශෝධා විමලධර්මයි.

ඉතින් කොහොමද? අපි අලූත් නිර්මාණ ගැන කතා කළොත්?

මේ දිනවල නම් අලුතින් කිසිදේකට සම්බන්ධ වුණේ නෑ. මේ වසර මැදදී මා රඟපෑ සුමිත‍්‍රා පීරිස් මහත්මිය විසින් අධ්‍යක්‍ෂණය කළ 'වෛශ්‍යානාවී' චිත‍්‍රපටය ප‍්‍රදර්ශනය වීමට නියමිතයි. ඒ වගේම වසර අවසන් වීමට ප‍්‍රථම අලුතින් ආරම්භ වන සිනමාපට දෙකකට සම්බන්ධ වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

ඔබ සාමාන්‍යයෙන් නිතර මාධ්‍ය එක්ක සමබන්ධතා පවත්වන කෙනෙක් නෙමෙයි නේද?

ඔව්. මම හැමදාම එහෙමයි මොකද මා යම් කිසි නිර්මාණයකට සම්බන්ධ වූ විට ඒ පිළිබඳව මාධ්‍යයට කතා කරන්නේ නෑ. මේ දිනවල ඉතාමත්ම හොඳ ටෙලි නාට්‍යයක සම්බන්ධ වුණා. ඒ ‘සී රජ’ ඒ ගැන කතා කරන පළමු අවස්ථාව තමයි මේ. ඒක මගේ ප‍්‍රතිපත්තියක්.

90 දශකයේ මුල් භාගයේදී කලාවට පිවිසෙන ඔබ ‘හිරු දහස’ තුළින්ම හොඳ නමක් දිනා සම්මානයට පාත‍්‍ර වෙනවා. මේ කාලය තුළ කළ දේ ගැන මොකද හිතෙන්නේ?

මට මුලසිටම වැඩ කරන්න ලැබුණේ ප‍්‍රවීණ ශිල්පීන් සමග. සුමිත‍්‍රා පීරිස් මහත්මියගේ සිට බන්දුල විතානගේ, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, පරාක‍්‍රම නිරිඇල්ල, ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන් සමග වැඩ කරන්න ලැබීම භාග්‍යයක්. මගේ ප‍්‍රථම සිනමාපටය වන .විජය ධර්ම ශ්‍රී ගේ ‘ගුරු ගෙදර’ සිට මේ දක්වා මා පැමිණි මඟ ගැන මට සතුටුයි. යමක් කළා කියා සතුටු විය හැකියි. මොකද මේ හීනය මගෙ නෙමෙයි. මගේ පියා තදින් විශ්වාස කළා මට රඟපාන්න හැකියාවක් ඇති කියා. ඔහු තමයි මාව දිරිගන්නා මේ මඟ යන්න හරි පාර කියා දුන්නේ. ඒ වෙනුවෙන් මා මගේ පියාට සදා ණය ගැතියි.

ජනපි‍්‍රය නිළියකට වඩා චරිතාංග නිළියක් ලෙස නමක් දිනා ගත් ඔබ අද ඉන්න තැනට එන්න දැඩි කැපවීමක් කළා. ඔබ පෙර සඳහන් කළ හොඳම අධ්‍යක්‍ෂකවරුන් සමග වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය යන තෙවදෑරුම් මාධ්‍ය තුළ කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. අද ආපසු හැරී බලද්දී ඒ පිළිබඳව සතුටුද?

පැහැදිලිවම ඔව්. මගේ අංක 1 වේදිකාව. එතනින් තමයි මම මා නොවී අන් කෙනෙක් වෙන්නේ කොහොමද කියන එක ඉගෙන ගත්තේ. ඒක හරිම ආදරණීයයි. ඉන්පසු සිනමාව ගැන ඉගෙන ගන්න අපට මෙහි හරි හමන් පාසලක් නොතිබූ අවධියක ඒ සම්බන්ධව උගෙන ගත යුතු පුද්ගලයින් සොයා ගියා. එහිදී තමයි මා හට ජයන්ත චන්ද්‍රසිරි මහතා හමුවන්නේ. ඔහුගෙන් උගත් දේ බොහෝයි. ටෙලි නාට්‍යවල මා කළ චරිත වුණත් මා ආශාවෙන් කළා. මගේ වාසනාවට ‘කඩුල්ල’ වැනි ටෙලි නාට්‍යයක හොඳ චරිතයක් රඟන්නට ලැබුණා. එය අදටත් මට හීනයක් වගේ.

ඔබ සිනමාවට පිවිසෙන කොට කලාව යම් තැනක තිබුණා. හොඳ නිර්මාණ බිහිවුණා නමුත් අද තත්ත්වය හාත්පසින්ම වෙනස් නේද? අලුතින් නිර්මාණ ආවට සියල්ල එක තැන පල් වෙන ගතියක් දැනෙන්නේ නැත්ද?

අනිවාර්යයෙන්ම තියනවා. රූපවාහිනී මාධ්‍ය එදා ඉහළම තැනක තිබුණා. මේ ළඟදි මම ‘කඩුල්ල’ නැවත නැරඹුවා. මට හිතුණා මේ වගේ උසස් නිර්මාණ ඇයි දැන් බිහි නොවන්නේ කියා. ලොකු කනගාටුවක් ඇති වෙනවා මා අවුරුදු පහකට පසුවයි. ‘සී රජ’ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. හොඳ නිර්මාණ බිහිවෙන්නේ නැත්නම් නිහඬව බලා සිටීම හැර අන් දෙයක් කළ නොහැකියි. එසේ නොමැතිව අද පරපුර වගේ ලැබෙන දෙය විචාරයකින් තොරව නොකළ යුතුයි. එවිට බිහිවන්නේ ඔබ ඔය පවසන හරසුන් නිර්මාණ පමණයි.

මා දන්නා යශෝදා විමලධර්ම ඉතා නිවුනු තැන්පත් චරිතයක්. නමුත් අදටත් ඔබ අවිවාහකයි. තනිකඩ ඔබට කොහොමද දැනෙන්නේ. එයට ඔබ කැමතිද?

තනිකඩ ජීවිතේ හරිම සාමකාමියි. මම ඉතා කුඩා කාලෙදි තමයි මේ ක්‍ෂේත‍්‍රයට එන්නේ. මට මේ ලෝකේ විෂමයි, විවිධයි, ව්‍යාජයි. මම ඒවාට කැමති නෑ මා සමග සිටින මගෙ යාලුවෝ මම ඇසුරු කරනවා. නමුත් බොහෝ දෙනෙකු තුළ ඇති සමහර ව්‍යාජ ගති පැවතුම්වලට මම කැමති නෑ. මගේ ලෝකයේ වීරයා තමයි මගේ තාත්තා. ගොඩාක් දුවලා තමන්ගේ තාත්තා තුළින් ලෝකය දකින්න උත්සාහ කරනවා. සමහර විට මේ ක්ෂේත‍්‍රය තුළ දුටු සමහර සිදුවීම් වක‍්‍රාකාරව මට බලපාන්නට ඇති. නමුත් මම ඉතා සතුටින් කල් ගෙවනවා.

පසුගිය වකවානුවේ සිනමාව ඇතුළු අනෙක් සියලූම මාධ්‍ය යම් කිසි පසුබෑමකට ලක් වුණා. දිගු කාලයක් පුරා මෙහි රැඳී ඉන්න ශිල්පිනියක් ලෙස ඔබලා මේ වෙනුවෙන් කිසිම මැදිහත්වීමක් කළ බවක් පෙනෙන්න නෑ.

අනිවාර්යයෙන්ම අපට වඩා දේශපාලනික වශයෙන් ඉහළ තැන්වල සිටි අයටත් යමක් කරන්න බැරිවුණා. ඉතින් අපි ගැන කුමන කතාද? සිංහල සිනමාවට දැන් අවුරුදු 69 ක් නේ. අදටත් මේක පවතින්නේ එන්ටර්ටේන්මන්ට් කැටගරි එකේ. මේක කොහේවත් ලියා පදිංචි කරපු ප‍්‍රතිපත්ති මාලාවක් නෑ. මේ ඉන්ඩස්ටි‍්‍ර එකට එන්න කවුරු හරි අඳුරගෙන හිටියොත් ඇති. සිනමාව සඳහා විධිමත් අධ්‍යාපන ආයතනයක් තිබුණා නම් වැරදි අයට මේ ක්‍ෂේත‍්‍රයට පැමිණීමට නොහැකියි. රඟපෑමේ පළමුවැනි අභ්‍යාසය තමයි නිවැරදිව කෙළින් සිටගැනීම. ඒක කරන්න බැරිනම් ඔබ එළියේ සමහරු නිළියෝ කියලා වෙන වෘත්තීන්වල යෙදෙනවා. ඔවුන් මේක පාවිච්චි කරන්නේ ප්‍රෙස්ටීජ් එකක් විදිහට. මම මුකුත් කරන්නෑ කියලා බලන්න ඉන්න අයට හිතෙනවා ඇති මට එක හීනයක් තියෙනවා. කවද හරි හොඳ රංගන පාසලක් ආරම්භ කරන්න. වෙන රටක් එක්ක එකතුවෙලා මට ඒක තනියෙන් කරන්න බැහැ. හැකි සෑමවිටම ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා සමග අලුත් ළමයින්ට හැකි පමණින් උදව් කරනවා.

පැරැණි පරම්පරාවේ නිළියන් බොහෝ දෙනෙකුට එකල නිපද වූ සිනමාපට තුළ ඉතා හරවත් ගැඹුරු චරිත කිරීමට අවස්ථාව ලැබුණා. අදටත් පේ‍්‍රක්‍ෂකයින් ඒ චරිත ගැන ඉතා සතුටින් කතා කරනවා. නමුත් ඔබේ පරපුරට එවැනි පිළිගැනීමක් ලැබෙන්නේ නෑ නේද?

60, 70, 80 දශක සිනමාවේ ස්වර්ණමය යුගය එකල බිහිවූ සිනමාපටවල තිබූ හොඳ චරිත අපට ලැබුණේ නෑ. අපට ලැබුණු දේ තිබුණා නමුත් සාපේක්‍ෂව කඩඉම් චරිත ලෙස මට හඳුන්වන්න පුළුවන් ‘‘සමනල සංධ්වනියේ’’ පුන්‍යාගේ චරිතය ඒ වගේ අවුරුදු විසිපහක ඉතිහාසයේ ලැබුණු හොඳම චරිතම මා රඟපෑමට පෙරේතයි. නමුත් අද මා ඉන්න වයසේ මා පිටරටක සිටියානම් මේ තමයි චරිත කරන්නට සුදුසුම වයස. මොකද ආ පස්සට රඟපාන්නත් පුළුවන් ඉස්සරහට රඟපාන්නත් පුළුවන්.

අවාසනාවට අපි එනකොට සිනමාව කඩා වැටිලා ඉවරයි. මේ තරමට හරි දෙයක් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා.

ඔබ හින්දි භාෂාව ගැන උපාධියක් තියන කෙනෙක් ලද දැනුමෙන් ප‍්‍රයෝජනයක් ගන්නේ නෑ කියලා මම කිවුවොත්?

ඇත්තටම මම ගොඩාක් ආශාවෙන් ඉගෙන ගත්ත කෙනෙක්. සමහරු මගෙන් අහනවා ඔබ රංගන ශිල්පිනියක් ඇයි මෙච්චර දුර ඉගෙන ගන්නේ කියලා. මම ලියපු සාහිත්‍යමය වටිනාකම් තියන දේවල් තියනවා. නමුත් මතු පරපුර වෙනුවෙන් හරි ඒවද එළි දක්වන්නට බලාපොරොත්තුවක් තියෙනවා. ප‍්‍රථමයෙන් ඒවා පරිවර්තනය කළ යුතුයි. පසුගිය කාලේ වික්ටර් රත්නායකයන්ට ගීතයක් ලියුවා සමහරු අහනවා විශ්වවිද්‍යාලයේ උගන්වන්නේ නැතිද කියලා මට ලැබෙන කාලය කළමනාකරණය කරමින් පුළුවන් දේ කරනවා.

පුංචි තිරේ අහිංසකාවිය කියලා ඔබට නමක් පටබැඳුනත් ඒ ගැන මොකද කියන්නේ එයට කැමතිද?

ඔව්. මට ඒ ගැන සතුටුයි. මිනිසුන් අදටත් මාව හඳුන්වන්නේ ඒ නමින්. මොකද මේ රටේ මිනිස්සු හැම තිස්සෙම කැමති දුක් විඳලා ජීවිතේ ගොඩ නගන චරිතවලට. නමුත් දැන් විකාශනය වෙන ‘සී රජ’ කතාවේ චරිතය සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මට වෙනස් චරිත ලැබෙනවා.

යශෝධා කියන නිළිය නෙමෙයි සාමාන්‍ය ගැහැනියක ලෙස ජීවිතය පිළිබඳව සතුටක් තියෙනවද?

අනිවාර්යයෙන්ම ඔව්. මගේ පවුලේ සියලූ වගකීම් කරට අරගෙන මම සාර්ථක ගැහැනියක් ලෙස ජීවිතයට මුහුණ දෙනවා. අදට මගේ පියා නැහැ. දැන් මා මගේ මවගේ ජීවිතය හොඳින් බලාගෙන ජීවත් වෙනවා. පරම සතුට තියෙන්නේ මෙතන. මගේ ජීවිතේ සියල්ල සිදුවුණේ මේ කලාව ඇතුළේ කාර්ය බහුල ජීවිත නිසා බොහෝ දෙනෙකුට තමන්ගේ දෙමව්පියන්ට සලකන්න අවස්ථා ලැබෙන්නෙ නෑ. නමුත් මම ගොඩාක් වාසනාවන්තයි. මගේ දෙමව්පියන්ට සලකන්න ඔවුන්ට හොඳින් බලාගන්න ලැබීම පිළිබඳව.

පවතින දේශපාලනය ගැන කතා කරන්න සතුටුද?

මම ඒකට එච්චර කැමති නෑ. මොකද ඔය හැමෝම කරලා තියෙන්නේ එකම ටික. අපට දියුණු කරගතයුතු බොහෝ දේ තියනවා. දැන්වත් සියලූ මිනිසුන් එකට එකතු වෙලා වැඩ කරන්න ඕන. සතුටකට තියෙන්නේ මේ රටේ යුද්ධය අවසන් කළා. ඒ ගැන සතුටුයි.

ඔබට ඔබේ ජීවිතය තෘප්තිමත්ද? විවාහය ගැන දරුවන් නැති එක ගැන පසුකාලීනව දුක්වෙයිද?

දරුවන්ට ආදරේ කරන්න ඔවුන් මගේම දරුවන් විය යුතු නෑ. අපට පුළුවන් වෙන්න ඕන ඕනෑම දරුවෙක් තමන්ගේ කියලා හිතන්න. මට විවාහ වෙන්න බැරිවුණා කියලා ඒ ගැන හිතමින් මා දුක් වෙන එකක් නෑ. බැඳීම්වලින් තොර වුනාම ගොඩාක් දේ කරන්න පුළුවන්. මේ රටේ දෙමව්පියන් අහිමි දරුවන් කොතරම් ඉන්නවාද? ඔවුන් වෙනුවෙන් කැප වෙන්න පුළුවන් නම් හරිම වටිනවා.

අවසාන වශයෙන් ඔබ රඟපෑ ‘සී රජ’ ගැන කතා කරමු. එහි ඔබේ චරිතය ගැන කිව්වොත්?

එය මට සුවිශේෂයි. ජැක්සන් අයියා එක්ක ගොඩාක් වැඩ කළාට ඔහු අතින් මා අධ්‍යක්‍ෂණය වෙන්නේ ප‍්‍රථම වරට. මේ තුළින් ප‍්‍රකට කරනවා. අධ්‍යයනය කොතරම් වැදගත් ද කියලා. මට ලබා දුන් සභා දේවි චරිතය හරිම ඉහළයි. තම රාජ්‍යයත්වය රැක ගැනීම වෙනුවෙන් සටන් වදින අපූර්ව චරිතයක්. මේවා ගැන අනාගතයේ මීට වැඩියෙන් කතා කරයි. මේ රටේ ගුණවත් කලාවක් බිහි කිරීමට ගන්නා තවත් උත්සාහයක් ලෙස මෙය හැඳින්විය හැකියි.

අවසාන වශයෙන් ඔබට කියන්න දෙයක් තියෙනවා නම් ?

මගේ පේ‍්‍රක්‍ෂකයින්ට කියන්න තියෙන්නේ මා පෙර සඳහන් කළ ඒ සුන්දර සිනමාව කලාව ගොඩ නගන්න මා කැප වෙනවා. මරණයට ප‍්‍රථම එය දකින්නට ලැබේවි යැයි මා විශ්වාස කරනවා. අනාගත පරපුරට දැනුම බෙදා දෙන කලා පරපුරක් බිහි කරන්නට හොඳ පාසලක් කෙසේ හෝ ආරම්භ කරන්නට ලැබෙයි කියා මා විශ්වාස කරනවා.

උපුල් නිශාන්ත

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday113
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week946
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8350
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991139

Follow us on Facebook

Online Users

We have 8 guests online