03
Jun

සුනිල්ගේ සුවිසල් මෙහෙවර

සම්පූර්ණ නම සුනිල් අනුරාධ මිහිඳුකුල ය. 

එය සුනිල් මිහිඳුකුල වූයේ මෙසේය.

1976 වසරේ දී මගේ සංස්කාරකත්වයෙන් බිහි වූ සකුරාසිනමා - කලා සංග්‍රහය සඳහා සුනිල් අනුරාධ මිහිඳුකුල නමින් තැපෑලෙන් එවූ ලිපියක් මම ඒ නමින්ම පළ කළෙමි. සිනමාවේ පියා හැටියට සැලකෙන ඩී. ඩබ්ලිව්. ග්‍රිෆිත් පිළිබඳව සුනිල් පුවත්පතක් වෙනුවෙන් ලියූ ප්‍රථම ලිපිය නිසා එය පළ කිරීමෙන් ලෑබූ සතුටත් ස්තුතියත් පළ කරමින් ඔහු තවත් ලිපියක් එවා තිබිණ. එම ලිපිය මා පළ කළේ අනුරාධකෑල්ල හලා දමමිනි

එම ලිපිය පළ වීමත් සමඟ සුනිල් මා හමුවන්නට එවකට මරදානේ ග්ලෝබ් පබ්ලිසිටි ආයතනයට පැමිණියේය.

මම ඔහුගේ ලිවීම අගය කරමින් දිගටම ලියන්නැයි කියා මින් පසු අනුරාධ කෑල්ල හලා සුනිල් මිහිඳුකුල නමින් ලියන්නැයි උපදෙස් දුන්නෙමි. එදා සිට ඔහු සුනිල් මිහිඳුකුල නමින් දිගටම ලියුවේය.

සුනිල් ලිව්වේ සිනමාව ගැනය. ඒ සුනිල්ම කියන පරිදි ඔහු පික්චර් පිස්සෙක්නිසාය. රුක්මණී දේවියගේ සිට සිංහල සිනමාවට නෑකම් කියන බොහෝ කලාකරුවන් මෙන්ම සුනිල්ගේ ද ජන්ම භූමිය මීගමුව විය. ඔහු සිංහල චිත්‍රපට නරඹන්නට පුරුදු වූයේ පාසල් වියේ සිටමය. රුක්මණී දේවිලා - ගාමිණී ෆොන්සේකලා - සන්ධ්‍යා කුමාරිලා සුනිල්ගේ ද සිහින කුමර කුමරියෝ බවට පත්ව සිටියහ. එසේ වුව ද සුනිල්ගේ පික්චර් පිස්සුව මේ කොදෙව්වේ සිනමාවෙන් ඔබ්බට ගියේය. 
එවකට ලෝක සිනමාවේ පුරෝගාමී සිනමාකරුවන්ගේ නිර්මාණ පිළිබඳව ඔහු හැදෑරුවේ ය. ඒ සඳහා සුනිල්ට අත්වැලක් වූයේ එවකට මෙරට පැවැති පොහොසත් සිනමා සාහිත්‍ය ව්‍යාපාරයයි. නීල් අයි. පෙරේරා - සිරිල් බී. පෙරේරා - ලෙස්ලි බොතේජු - පියල් සෝමරත්න ඇතුළු විද්වත් විචාරක පිරිසකගේ මූලිකත්වයෙන් බිහි වූ එම සිනමා සාහිත්‍ය ව්‍යාපාරය විසින් සුනිල් හුදු පික්චර් පිස්සකුගෙන් එහා ගිය සිනමා රසඥතාවක්- සිනමා ඥානයක් සහ දැක්මක් සහිත සංස්කෘතික මිනිසකු බවට පත් කළේය. ඒ අනුව සුනිල් ජාතික කතෝලික සිනමා පර්ෂදයේ එවකට ජාතික අධ්‍යක්ෂ අර්නස්ට් පෝරුතොට පියතුමාගේ මෙහෙයවීමෙන් පැවැති සිනමා වැඩමුළුවලට සහභාගි වෙමින් අන්තර්ජාතික චිත්‍රපට නරඹන්නටත් ඒවා ගැන කියවන්නටත් ලියන්නටත් පෙලඹුණේය. 

ඇත්තටම අප කාගේත් සිනමා ජීවිතය පටන් ගත්තේ ඕ . සී. අයි. සී. එකෙන්. අර්නස්ට් පෝරුතොට පියතුමා තමයි එදා ඕ. සී. අයි. සී. එකේ ජාතික අධ්‍යක්ෂ වෙලා හිටියෙ. චිත්‍රපටයක් විචාරාත්මකව රස විඳින ආකාරය - ඒ දෙස නිර්දය විදියට බලන ආකාරය අපි ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන්. ඕ. සී.අයි.සී.එක ඇතුළේ මාටින් ටිකිරි සිනමාහලේ දී ප්‍රංශ තානාපති කාර්යාලයෙන් ගෙන්වන චිත්‍රපටයක් බලලා අපි පිටකොටුවේ හෝටලයකින් ආප්ප හරි - සයිවර කඬේකින් තෝසේ හරි කාලා ගත කරපු සන්ධ්‍යාවල් කොයිතරම් සුන්දරද? ප්‍රංශ නවරැල්ල ගැන අපි මුලින්ම ඉගෙන ගත්තේ ඕ. සී.අයි.සී. එකෙන්. ප්‍රංශ නවරැල්ලට අයත් ශ්‍රේෂ්ඨ චිත්‍රපට අපි නැරඹුවේ ඕ.සී.අයි.සී. එකෙන්.” ( ‘පික්චර් පිස්සා’ -සුනිල් මිහිඳුකුල පි. 12) 

සිනමාව අරබයා සුනිල්ට තිබුණේ නොසන්සිඳෙන පිපාසයකි. ඒ නිසාම ඔහු හැමදාමත් සිහින මැව්වේ ද වෘත්තීය සිනමා ලේඛකයකු වන්නටය. සකුරාසිනමා කලා සංග්‍රහයෙන් ඇරඹූ මාවතේ ඔහු බොහෝ දුර ගියේය. ජාතික මටටමේ පුවත්පත් සඟරා සියල්ලටම ලියුවේය. ඒ අතර දෙසතියසඟරාවේ එවකට සංස්කාරක ගාමිණී විජේතුංග හමුවීම ද සුනිල්ගේ සිනමා ලේඛනයේ ඉදිරි ගමනට මහත් පිටිවහලක් විය. සුනිල්ගේ සිනමා ලේඛනයට තවත් සුවිශේෂ අනුබලයක් ලැබෙන්නේ ජයන්ත චන්ද්‍රසිරිගෙනි. එවකට ඔහු විසින් සංස්කරණය කරනු ලැබූ නවලිය සිනමා අතිරේකයසිනමාව සහ වේදිකාව අරබයා ප්‍රබුද්ධ සංවාදයක් ඇති කරන්නටත් නවක ලේඛකයන් එම සංවාදය සඳහා ලේඛනයෙන් දායක කරගන්නටත් ජයන්ත පියවර ගෙන තිබිණ. ඒ අනුව සුනිල්ට ද අත දිගහැර තම සිනමා මතවාද පළ කරන්නටත් සිනමාවේ සහ වේදිකාවේ දැවැන්තයන් සමඟ සාකච්ඡා කරමින් ලිපි සම්පාදනය කරන්නටත් සුවිසල් ඉඩක් ලැබිණ. ඒ නිසාම සුනිල්ගේ ලිවීමත් දැනුම් පිපාසයත් තවත් දුර දිග ගියේය. ඔහු සිනමාවට සමගාමීව සාහිත්‍යයත් නාට්‍යයත් ඇසුරු කළේය. අනතුරුව චිත්‍රපට මෙන්ම නාට්‍ය විචාරත් ලියන්නට පෙලඹුණේය.
සිනමාව අරබයා පමණක් නොව සාහිත්‍යය නාට්‍ය ඇතුළු අනෙකුත් කලාවන් සම්බන්ධයෙන් ද ඇසූ පිරූ ලේඛකයකු බවට පත්වන්නට සුනිල්ට හැකි වූයේය. ඒ සඳහා ඔහු බෙහෝ කැප කිරීම් කළේය. වෘත්තීය පත්‍රකලාවේදියකු ලෙස ලේක් හවුසියට ඇතුළු වන්නටත් නොබෝ කලකින් සරසවියපුවත්පතේ ප්‍රධාන කර්තෘ හැටියට පත්වන්නටත් සුනිල්ට හැකි වූයේ ඒ කැපකිරීම්වල ප්‍රතිඵලයක් වශයෙනි.

පුරා හතළිස් වසරක් තිස්සේ සුනිල් ලියූ ලිපි දහස් ගණනකි. සිනමාව අරබයා ලියූ පොත් සංඛ්‍යාව විස්සකි. එම ලිපිවල සහ පොත්වල එන දත්ත සහ මතවාද ලාංකේය සිනමා ඉතිහාසයේ පුළුල් පරාසයක් ආවරණය කිරීමකි. එබැවින් සිංහල සිනමා සාහිත්‍ය වංශ කතාව තුළ සුනිල් මිහිඳුකුල නාමය අමරණීය ය. විශේෂයෙන්ම පර්යාලෝකයසහ පික්චර් පිස්සාමැයෙන් පළ වූ තීරු ලිපි සුනිල්ගේ සිනමා ඥානයේ මෙන්ම සාහිත්‍යය - නාට්‍ය සහ අනෙකුත් කලාවන් පිළිබඳව සුනිල්ගේ මතවාද ප්‍රකට කිරීමකි. 
සුනිල් තුළ හැමදාමත් දඩබ්බරයෙක් සිටියේය. ඒ දඩබ්බරයා හැම විටෙකම සුනිල්ගේ ලිපි ලේඛනවලින් එළියට පැන්නේය. ඒ නිසාම මේ රටේ ඉහළම සිනමාවේදීන් - නාට්‍යවේදීන් - සංගීතවේදීන් සමඟ සාකච්ඡා කොට ලිපි ලිවීමේ දී සුනිල් පොල්ලෙන් ගහන්නාක් මෙන් ප්‍රශ්න ඇසුවේය. තමන් අසන ප්‍රශ්නවලින් ප්‍රශ්නයට ලක් වන්නා මොන අපහසුතාවට පත් වුවත් සුනිල් ඒ ගැන තැකුවේ නැත. එක් එක් කලාකරුවන් ගැන ඔවුන්ගේ නිර්මාණ ගැනතමන් දරන මතය පළ කරන්නට ද සුනිල් මැළි වූයේ නැත. ලිවීමේ දී යාළු මිත්‍රකම් කිසිවක් ඔහු නොතැකුවේය. 

මා ඔහුගේ ගුරුවරයා යැයි සුනිල් බොහෝ තැන්වල ලියා ඇතත් ගහන්න ඕන තැන මට ද ගැසුවේය. මට වැරැදුණු තැන එළිපිටම ප්‍රසිද්ධියේම ලිව්වේය. සුනිල්ට අදීන විචාරකයකු සහ හොඳ පුවත්පත් කලාවේදියකු වන්ට හැකි වූයේ ඔහු තුළ පැවැති එම ලක්ෂණ නිසාය. සුනිල් තුළ අපූරු උපහාස කතාකාරයෙක් ද සිටියේය. ප්‍රසිද්ධ සභාවක් මැද වුවත් ඔහු කළ කතාවක අපූරු උපහාසයක් රැඳී තිබුණේය. එවැනි කතා කියන්නට හැක්කේ සුනිල්ටම පමණය. ඔහුගේ තීරුලිපි ඒ උපහාසාත්මක රසයෙන් අනූනය.
පසුගියදා සුනිල්ගේ සේවය ඇගැයීම සඳහා පැවැති උත්සවයේ දී සුනිල් කළ කතාව එදා අසන්නට ලැබුණු රසවත්ම කතාව බව කාගේත් පිළිගැනීම විය. සුනිල් එදා තම කතාව අවසන් කළේ මෙසේය. 

මං ක්‍රිස්තියානිකාරයෙක් වුණත් දෙවියන්ටත් ඉඳහිට කතා කරනවා. සමහරදාට මං දෙවියන්ගෙ න් ඉල්ලා සිටිනවා දෙවියනේ මං හෙට උදේ වෙනකොට මැරිලා තියෙනවනම් කොච්චර හොඳද කියලා. එහෙම කියල නින්දට යන මට නින්දෙන් වගේ පාන්දරම චූන් පාන්කාරයා යන හඬ ඇහෙනවා. ඒ වෙලාවට මට හිතෙන්නේ අඬේ මේ චූන් පාන්කාරයෝ පරලෝකෙත් ඉන්නවනේ කියලයි.

සුනිල් ඉතා සරල ජීවිතයක් ගත කළ සුන්දර මිනිසෙකි. ඒ නිසා ඔහුට ජීවිතය බරක් නොවීය. ඔහුගේ එකම විනෝදාංශය කියැවීම සහ ලිවීමය. රෝගී තත්ත්වයක් මැද සිටින මේ මොහොතේත් ලිවීම අත්හැරියේ නැත. එහෙයින් සුනිල් අවසාන මොහොත දක්වාත් ජීවත් වුයේ අනුන් වෙනුවෙනි. අනුන්ගේ සිනමා රසඥතාව, සාහිත්‍ය රසඥතාව පුළුල් කරන සද්කාර්යයකය. එබඳු මිනිසුන් දුර්ලභය. සුනිල් කලාතුරකින් මුණ ගැසෙන එබඳු දුර්ලභ මිනිසෙකි.

-ගුණසිරි සිල්වා

Share

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday170
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1548
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15531
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954528

Follow us on Facebook

Online Users

We have 37 guests online