27
Dec

සමාන්තර සිනමාවේ විදග්ධ කතිකාවක් ගොඩනැඟූ සිනමාවේදියා

wasantha-boesekara

අතිශය ජනප්‍රියවාදී ලක්ෂණවලින් බැහැරව, සිනමාත්මක ලක්ෂණ රැක ගනිමින් පොදුජන ප්‍රේක්‍ෂක විඥානය කෙරෙහිද ඉව අල්ලන්නට වෙර දරන සමාන්තර සිනමාව තුළ විදග්ධ කතිකාවක් ගොඩනැඟූ සිනමාකරුවා වසන්ත ඔබේසේකර ලෙස ලාංකේය සිනමාව තුළ සනිටුහන් වෙයි.

‘කඩවුණු පෙරොන්දුවත්’ සමඟ බිහිවූ ලාංකේය සිනමාව තුළ දකුණු ඉන්දීය ආකෘතියෙන් බැහැර වන්නට කෙරුණු චිචාරාත්මක උද්ඝෝෂණ හමුවේ ශක්තිමත් අඩිතාලමක් ‘රේඛාව‘ මඟින් දැමුවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. එවක් පටන් ‘ගම්පෙරළිය’, ‘දෙලොවක් අතර’ සිට ‘නිධානය’ තෙක් ඔහු ගෙනගිය අරගලය මෙරට සම්භාව්‍ය සිනමාවකට ශක්තිමත් පදනමක් විය.

ලෙස්ටර්ගේ එකී පුරෝගාමී කාර්යයත් සමඟ ජී.ඩී.එල්. පෙරේරා (සාමා, දහසක් සිතුවිලි), ආචාර්ය සිරි ගුණසිංහ (සත් සමුදුර), ගාමිණී ෆොන්සේකා (පරසතු මල්), සුගතපාල සෙනරත් යාපා (හන්තානේ කතාව), ධර්මසේන පතිරාජ (අහස් ගව්ව, බඹරු ඇවිත්, සොල්දාදු උන්නැහේ, පාරදිගේ), ධර්මසිරි බණ්ඩාරනායක (හංස විලක්, සුද්දිලාගේ කතාව, තුන්වැනි යාමය, භවදුක, භව කර්ම), පරාක්‍රම සිල්වා (හෙවණැලි ඇද මිනිස්සු, බිත්ති හතර) ඇතුළු සිනමාකරුවන් විසින් කරන ලද අන්තර්ගත හා ආකෘතික වෙනස්කම්ද එවකට ලාංකේය සිනමාව තුළ දැඩි සමාජයමය කතිකාවට මුල පුරමින් එය පෝෂණය කිරීමෙහිලා ඉවහල් විය.

යථෝක්ක සිනමාකරුවන් එසේ සිනමාව පෝෂණය කරමින් සිටියදී ඊට සමාන්තරව තවත් පිරිසක් ජනප්‍රිය සිනමාව තුළ පිනුම් ගසමින් සිනමාව හුදු වාණිජ්‍යමය මෙවලමක් පමණක් බවට පත්කර ගනිමින් සිටියහ. පොදුජනයා වඩාත් ආසක්ත වූයේ එකී සිනමාවටය. එහෙයින් සිනමාව ගුණාත්මක අතින් පෝෂණය කරමින් සිටි සිනමාකරුවන්ට මෙහෙයවීම යථෝක්ත ජනප්‍රිය සිනමාකරුවන්ගේ චිත්‍රපටවල ආදායම් වාර්තා අනුව කිසියම් පසුබෑමකට ලක්විය. ඔවුන් ආර්ථික අතින් අසාර්ථක සිනමාකරුවන් ලෙස වර්ගීකරණය කෙරුණෙන් ඔවුන්ට දිගින් දිගටම චිත්‍රපට නිර්මාණය කිරීමෙහිලා නිෂ්පාදන දායකත්වය අවම විය.

මේ ප්‍රශ්නය ජයගැනීම සඳහාත් ජනප්‍රිය සිනමාකරුවන් සමඟ එකී මඩ ගොහොරුවේ එරෙන්නට නොහැකි නිසාත් වාණිජ්‍යත්වයත්, සිනමාත්මක බවත් අතරමැද මාවතක සිට නිර්මාණකරණයෙහි යෙදෙන්නට තවත් පිරිසක් ප්‍රයන්ත දැරූහ. ටයිටස් තොටවත්ත, එච්.ඩී. ප්‍රේමරත්න, විජය ධර්මශ්‍රී වැනි සිනමාකරුවන් ස්වකීය ජීවිත කාලය පුරාම ප්‍රයත්න දැරුවේ සමාන්තර සිනමා භාවිතයේ රැඳෙමින් තම පැවැත්මත් සිනමාවේ පැවැත්මත් දෙකම රැකගැනීමටය. එයිනුත් ටයිටස් තොටවත්තයන් සිනමාව තුළ පැවැතීමේ අභිප්‍රාය නොව සිනමාව පොදුජන රසඥතාව මත පවතින්නක් බව විශ්වාස කරමින් ඒ මතය තුළ සිට නිර්මාණකරණයෙහි යෙදුණ ආකාරය දැකිය හැකිය.

ටයිටස් තොටවත්තයන්ගේ ‘හාරලක්ෂේ’ - ‘චණ්ඩියා’ ඇතුළු චිත්‍රපටද විජය ධර්මශ්‍රී ගේ ‘දුහුළු මලක්’ - ‘සූරියකාන්ත’ ඇතුළු චිත්‍රපටද එච්.ඩී. ප්‍රේමරත්නගේ ‘සිකුරුලියා’ - ‘දෙවැනි ගමන’ - ‘පරිත්‍යාග’ - ‘මංගල තෑග්ග‘ - ‘ආදර හසුන’ ඇතුළු චිත්‍රපටද ඒ සමාන්තර සිනමා චාරිකාවේ අස්වැන්න හැටියට දැකිය හැකිය. කෙසේ වෙතත් එම චිත්‍රපට තුළ සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න අඩුවැඩි වශයෙන් සාකච්ඡාවට ලක්වූ නමුදු ඒ ඇසුරෙන් තියුණු සංවාදයකට යොමු කළේ නැත.

වසන්ත ඔබේසේකරයන් යථෝක්ත සිනමාකරුවන්ගෙන් පැහැදිලිව වෙනස් වන්නේ, ඔහුගේ සිනමා භාවිතාව සමාජ දේහය තුළ ඔඩුදුවන මනෝමූල සහ විෂයමූල තත්ත්වයන් ඔස්සේ සාකච්ඡාවට ලක්කරමින් සමාන්තර සිනමා චාරිකාව තුළ විදග්ධ කතිකාවක් ගොඩනඟන්නට දැනුම්වත්ව දැරූ ප්‍රයත්නය මතය.

70 දශකයේ අග භාගයේදී ‘වෙස්ගත්තෝ’ චිත්‍රපටය, සිනමාත්මක ආකෘතියක් තුළ ජනප්‍රිය සරල පුවතක් මඟින් ප්‍රේක්ෂකාගාරය දිනා ගන්නේ කෙසේද යනුවෙන් කළ අත්හදා බැලීමක් විය. අනතුරුව ඔහු නිර්මාණය කළ ‘වල්මත්වූවෝ’ විරැකියාවෙන් පෙළුණු 70 දශකයේ උපාධිධාරී තරුණයන්ගේ ගිනිගෙන දැවෙන ප්‍රශ්න තියුණු ලෙස සාකච්ඡාවට ලක් කළේය. එසේ වුවද ඒ වන විට උත්සන්නව පැවැති වාණිජවාදී සිනමා රැල්ල හමුවේ ආර්ථික අතින් වෙස්ගත්තෝ අසාර්ථක විය. සිනමාවත් රැකගෙන තමාත් පවතින්නේ කෙසේද යන ප්‍රශ්නයට මූණදෙන්නට ඔහු ඊළඟට නිර්මාණය කළ ‘දියමන්ති’ චිත්‍රපටයටද සාර්ථක ඉලක්ක ජය ගන්නට නොහැකි වූයේය.

වසන්ත ඊළඟට අවධානය යොමු කළේ සත්‍ය පුවත් මත නිර්මාණකරණයෙහි යෙදීම කෙරෙහිය. එහි පළමු පියවර වශයෙන් ඔහු නිර්මාණය කළ ‘පළඟැටියෝ’ සිනමාත්මක අතින්ද පොදුජන ප්‍රේක්ෂක ප්‍රතිචාර අතින්ද අතිශයින් සාර්ථක විය.
‘පළඟැටියෝ’ සාර්ථක වීම තුළ සත්‍ය පුවත් මතම තම සිනමාව පදනම් විය යුතු යැයි වසන්ත තරයේම විශ්වාස කළේය. අනතුරුව ඔහුගේ ‘දඩයම’ චිත්‍රපටයද ප්‍රේක්ෂක - විචාරක ප්‍රතිචාර ජයගන්නට සමත් විය.

‘දඩයම’ පීතෘ මූල සමාජය තුළ මහමෙරක් මෙන් රජකරන පුරුෂාධිපත්‍යයත්, ඊට එරෙහිව නැඟී සිටි ස්ත්‍රියකගේ නියත ඛේදයත් ගැඹුරින් සාකච්ඡා කළ චිත්‍රපටයක් විය. එය එතෙක් ලාංකේය සිනමාව තුළ පැවැති ස්ත්‍රිය පිළිබඳ සම්මත, ආචීර්ණකල්පිත ප්‍රතිරූපයද බිඳ දැමුවේය. පුරුෂ මූලික සමාජය තුළ ස්ත්‍රියකගේ පැවැත්ම ගැඹුරින් සාකච්ඡා කරන මට්ටමෙන් සිනමාවට ‍ෙදාරගුළු විවර කර දුන්නේද වසන්තගේ ‘දඩයම’ චිත්‍රපටයයි. අශෝක හඳගමගේ ‘චන්දකින්නරි’ - ‘තනිතටුවෙන් පියාඹන්න’ ප්‍රසන්න විතානගේගේ අනන්ත රාත්‍රිය, ‘අකාශ කුසුම්’ වැනි චිත්‍රපට නිපදවීම කෙරෙහි පෙරමඟ සකස්කෙරුණේ ‘දඩයම’ තුළින් බව මම විශ්වාස කරමි.

වසන්තගේ ‘කැඩපතක ඡායා’ චිත්‍රපටයද පුරුෂමූලික සමාජය තුළ ස්ත්‍රියට හිමිවන ඉරණම සහ ඊට එරෙහිව ස්ත්‍රියක කරන අරගලයද සාකච්ඡාවට ලක් කෙරේ.
‘දඩයම’ සහ ‘කැඩපතක ඡායා’ යන චිත්‍රපට දෙකෙන්ම වසන්ත, ලාංකේය සිනමා ආකෘතියේ දැවැන්ත වෙනසකට මුල පිරුවේය. එනම් රූපය සහ ශබ්දය සමාන්තර ලෙස ඡේදනය කරමින් ඒ ඔස්සේ තුන්වැනි අර්ථයක් මතුකිරීමටය. කිසියම් රූපරාමුවක එන දෙබසක් තවත් රූප රාමුවක දෙබසක් - නැතිනම් ඊට ප්‍රතිපක්ෂ රූපයකට ඡේදනය කිරීම එම ක්‍රමය විය.

‘දඩයම’ සහ ‘කැඩපතක ඡායා’ යන චිත්‍රපට දෙකේම එම ආකෘතිය ජයගන්නට වසන්ත සමත් වුවද, ඔහුගේ ‘මාරුතය’ චිත්‍රපටයෙහිලා එම අත්හදා බැලීම එතරම් සාර්ථක නොවීය.
සත්‍ය පුවත් මත නිර්මාණය කළ ‘පළඟැටියෝ’ -‘දඩයම’ වැනි චිත්‍රපට ආර්ථික අතින්ද, විචාරක ඇගැයීම අතින්ද සාර්ථක ප්‍රතිඵල අත්වීමත් සමඟ වසන්ත එය තම සිනමාකරණයෙහි පදනම ලෙස යොදා ගැනීම ඔහුගේ ඊළඟ නිර්මාණ අසාර්ථක වීම කෙරෙහි බලපෑ අයුරු දැකිය හැකිය.

‘මාරුතය’ ඊට හොඳම නිදසුනකි. පුවතක් සත්‍ය වූ පමණින් එය සමස්ත සමාජ යථාර්ථයන් පිළිබිඹු කරයිද? ඇතැම් සත්‍ය සිදුවීම් මත බලපෑ මනෝමූල ප්‍රශ්න වෙනම සාකච්ඡා කළ යුතුය. එබැවින් සත්‍ය පුවත් නිර්මාණකරණයට යොදා ගන්නා සිනමාකරුවා එහි චරිත සිද්ධීන් යළි ප්‍රතිනිර්මාණය කළ යුත්තේ වඩා පළල් දෘෂ්ටියක සිටය. එහිදී නිර්මාණකරුවා වඩාත් සමාජ සවිඥානිකයකු විය යුතුය. සමාජය සමඟ ගනුදෙනුකරන්නකු විය යුතුය. එහෙත් වසන්ත ඇදහුවේ තමා තුළ නැති සමාජ සවිඥාන තත්ත්වය සත්‍ය පුවත් තුළින් මතුකළ හැකි බවකි. වසන්තගේ පසුකාලීන සිනමාවේ පැවැත්ම කෙරෙහි එම කාරණය බලපා ඇති ආකාරය දැකිය හැකිය.

කෙසේ වෙතත් වසන්ත ඔබේසේකරයන්ගේ මුල් කාලීන සිනමා භාවිතය විටෙක එය සමාන්තර සිනමාවේ ගති ලක්ෂණ පළකරමින්ද විටෙක අතික්‍රමණය කරමින්ද ලාංකේය සිනමාවේ අන්තර්ගතය හා ආකෘතිය පෝෂණය කිරීමට තරම් ප්‍රබල විය.


- Gunasiri Silva

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday223
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1167
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12730
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099821

Follow us on Facebook

Online Users

We have 19 guests online