02
Feb

ආදරය අයිතිකර ගැනීමක් නෙවෙයි - යසෝධා

yasoda11

ජනප්‍රියත්වය කියන එක ඔබ අර්ථකථනය කරන්නෙ කොහොමද?

ජනප්‍රියත්වය කියන එකයි දක්‍ෂකම කියන එකයි දෙකම රංගන ශිල්පියකුට වැදගත් වෙනවා. කොහොම වුණත් මං විශ්වාස කරන්නේ දක්‍ෂකම මත ලැබෙන ජනප්‍රියත්වය හැමදාමත් පවතිනවා කියලයි. ඒක රංගන ශිල්පියකු වයසට ගියත්, මියගියත් කිසි දිනක නොමියන ජනප්‍රියත්වයක්. විජය කුමාරතුංග ඒකට හොඳම උදාහරණයක්. ඔහු දක්‍ෂයි වගේම ජනප්‍රියයි. ඔහු මියගියත් අදටත් ජනප්‍රියයි. ජනතාව හරිම ආදරෙයි.

කොහොම වුණත් ජනප්‍රියත්වයේ පැවැත්ම තියෙන්නේත් රංගන ශිල්පියා අතම නේද?

ඇත්ත වශයෙන්ම ඔව්. රංගන ශිල්පිනියක් වුණත් සෑබෑ ජීවිතයේදී සාමාන්‍ය ගැහැනියක විදියට සාමාන්‍ය දිවි පැවැත්මක් ගත කිරීමත් ජනප්‍රියත්වය කෙරෙහි බලපානවා. අපට මඟතොටේදී අපේ රසිකයෝ හමුවෙනවා. එතකොට අපි බුම්මාගෙන ගියොත් අර රසික ආදරය පලුදු වෙනවා. විජය කුමාරතුංගට අදත් මිනිස්සු ආදරය කරන්නේ ගෞරව කරන්නේ ඔහු සාමාන්‍ය ජීවිතේදී පොදු ජනතාවත් එක්ක ජීවත් වුණ නිසයි.

yasoda3

Lanka live Film Awards උළෙලේ ජනප්‍රිය නළු නිළි තරගයේ ඉදිරියෙන්ම සිටින නිළියන් අතර ඔබත් සිටිනවා?

මං අවංකවම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා. මොකද හිරිමල් වයසේ යෞවන නිළියන් දෙදෙනෙක් ළඟට එන්න මගේ රසිකයෝ මා වෙනුවෙන් මනාප ප්‍රකාශ කරලා. මගේ රංගන ජීවිතයට මේ වෙනකොට අවුරුදු 27ක් වෙනවා. එදා මෙදාතුර මගේ රසිකයන්ගේ ආදරයට ගෞරවයට ලක්වීම සතුටක්නේ.

ඔබට මේ මනාප ලැබීමට සමනල සංධ්වනියේ රගපෑමත් වැදගත් වෙන්නෙ ඇති නේද?

"සමනල සංධ්වනිය" චිත්‍රපටයේ පුණ්‍යාගේ චරිතය මගේ රංගන ජීවිතයේ විශාල පිබිදීමක් ඇති කළා. මගේ රංගන ජීවිතය තුළ කිසියම් නිහඬතාවක් තිබුණා නම් ඒක බිඳගෙන යළිත් මං ප්‍රේක්‍ෂකයන්ට ළං කරපු අපූරු චරිතයක් ඒක. ඒ වගේම ඒ චරිතය මගේ ගමන්මගේ කූටප්‍රාප්තියක් සනිටුහන් කිරීමක්.

 

ප්‍රේක්‍ෂකයෝ මොන විදියටද ඒ චරිතය නිසා ඔබට ප්‍රතිචාර දැක්වූයේ?

ඉන්දියාව වගේ රටක තරම් ප්‍රේක්‍ෂක උන්මාදයක් අපේ රටේ නෑ. නමුත් මේ චරිතයත් එක්ක මට ලැබුණු ප්‍රතිචාර පුදුමාකාරයි. සමහරු දුරකතනයෙන් කතා කරලා මට සුබ පැතුවා. සමහරු මාව හොයාගෙන ඇවිත් එයාලගේ අත්දැකීම් මාත් එක්ක කිව්වා. සමහරු පාපෝච්චාරණය කරන්න ගත්තා. මීට පෙර මං රඟපෑ චරිතයකට මේ වගේ ප්‍රතිචාර ලැබිල නෑ.

"මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා" කියන එක නේද ප්‍රේක්‍ෂකයන්ට වඩාත් වැදුණේ?

චිත්‍රපටයේ ගීතය හරහා කුළුගැන්වුණෙත් ඒකයි. ඒ වගේම පුණ්‍යා කෙරෙහි වාදීස තුළ තිබුණු අපූරු සෙනෙහස තුළත් ගීතයෙන් කියපු ඒ අදහස වර්ණ ගැන්වුණා.

 

ප්‍රේක්‍ෂකයෝ පෞද්ගලිකව ඔබ හමුවී ප්‍රකාශ කරන්න තරම් මේ මගේම නොවන ආදරය පොදු ප්‍රශ්නයක් වුණා නේද?

ඔව්. බලාගෙන යනකොට ඒ වගේ ආදරයකට වයස සීමාවකුත් නෑ. පොළොන්නරුව සිනමා ශාලාවක "සමනල සංධ්වනිය" ප්‍රදර්ශනය වුණු දවසක මාත් ඒකට සහභාගි වුණා. මං එළියට එනකොටම අවුරුදු 60ක විතර කාන්තාවක් ඇස්වල කඳුළු පුරෝගෙන මගේ මූණ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ ළඟට ඇවිත් ඇහුවා මට ඔයාව වැලඳගන්න ඉඩ දෙනවද කියලා. මං හා කිව්වා. ඒ කාන්තාව මාව වැලඳගෙන ඉකිගහගහ අඬුවා. ඊට පස්සේ මුකුත්ම නොකියා යන්න ගියා.

හරිම සංවේදී කතාවක්නේ ඒක. ඉතින් ඒ මොහොත ඔබට දැනුනෙ කොහොමද?

ඇත්තටම ඒ කාන්තාවගේ හදවතේ රිද්මය මට ඒ වෙලාවෙ දැනුණා. මා පුදුමයට පත් කළ ඒ අත්දැකීමෙන් මං සතුටු වුණා. ඇයගේ සිත ඒ වෙලාවේ සුවපත් වීම ගැන.

ඇත්තටම චිත්‍රපටයෙන් කියැවෙන ඒ අපූරු ආදරය ඔබ කොහොමද නිර්වචනය කරන්නේ?

පුණ්‍යා කියන්නේ රේවත කියන ඇයගේ පෙම්වතා වෙනුවෙන් ජීවිතය කැප කළ අපූරු ගැහැනියක්. වාදීශ පුණ්‍යා දකින්නේ පරමාදර්ශී ආදරයක සංකේතයක් විදියට. ඔහුට මවගේ සෙනෙහස අහිමියි. පුණ්‍යා රේවතට ලියූ ලිපිය යළි ඇය අතටම පත් කරන්න නොලැබීම ගැන වාදීශ මුළු ජීවිත කාලය පුරාම පශ්චාත්තාපයට පත්වෙනවා. වාදීශ වැඩිහිටියෙක් වුණාට ඔහුට දැනෙන්නේ ආදරයේ සැබෑ පරමාදර්ශය තියන්නේ පුණ්‍යාගේ ආදරය තුළයි කියලයි.

මගේම නොවන මගේම ආදරයක්" ගැන ඔබ දරන්නේ මොන වගේ ආකල්පයක්ද?

සැබෑ ආදරය කියල මං විශ්වාස කරන්නේ ඒ ආදරය තුළ සෙනෙහස, දයාව, මුදිතාව, උපේක්‍ෂාව වගේම පරිත්‍යාගය තියෙන්නෙ ඕනෑ. ඒත් ආදරය කරන කෙනා තමන් සතු කරගන්න ඕනේ කියල මං විශ්වාස කරන්නේ නෑ. ඒක ආත්මාර්ථකාමීත්වයක්.

ආදරය ගැන ඔබ දරන ඔය ආකල්පය පුණ්‍යාගේ චරිතයට සාධාරණය ඉටු කරන්න පිටුබලයක් ලැබුණා කියල විශ්වාස කරනවද?

ඇත්තෙන්ම ඔව්. පුණ්‍යාගේ චරිතය ගැන අධ්‍යක්‍ෂවරයා මට විස්තර කරද්දි ඒ චරිතයේ මනෝභාවය හඳුනා ගන්නත් ඒ මනෝභාවය ඔසවා තබන්නත් ආදරය පිළිබඳ මගේ ආකල්පය වැදගත් වුණා කියලා මං විශ්වාස කරනවා.

Lanka live Film Awards උළෙල ගැන ඔබ මොකද හිතන්නේ?

සම්මාන උළෙල දෙකක් නතර වෙලා තියන කාලෙක හරිම වැදගත් මේ වගේ සම්මාන උළෙලක් පැවැත්වීමට ඉදිරිපත් වීම ගැන. මොකද සෑම ශිල්පියකුටම වටිනවා තමන්ගේ කුසලතා අගය කිරීම. ඒක ඒ ශිල්පීන්ට කරන ගෞරවයක්. ඔවුන් තවදුරටත් ක්‍ෂේත්‍රයේ රඳවා ගන්නට දෙන දිරියක්.

ඔබට ජනප්‍රිය නිළි සම්මානය හිමිවෙයිද?

සම්මානයක් ලැබීම වැදගත් වගේම සම්මානයක් සඳහා නිර්දේශ වීමත් සම්මානයට පාත්‍රවීමක්. තමන්ට පමණක් සම්මාන හිමිවීමක් බලාගෙන සම්මාන උළෙලවලට යනවාට වඩා කවුරුහරි ශිල්පියකු නිසි ලෙස අගය කිරීමකට ලක්වෙලා සම්මානයට පාත්‍රවීම පොදුවේ ක්‍ෂේත්‍රයේ දියුණුවට රුකුලක් කියල සද්භාවයෙන් යෑම තමයි වැදගත්. අනෙක් එක සම්මානයක් නොලැබුණා කියල අධෛර්යට පත්වෙනවට වඩා ඉදිරියේදී තමන්ගේ කාර්ය හරියට ඉටු කර ගැනීමට අධිෂ්ඨාන කරගන්න ලැබීමත් මේ සම්මාන උළෙලවලට සහභාගි වීමෙන් ලැබෙන එක වැදගත් අත්දැකීමක්.

ධම්මිකා අක්මීමන
මව්බිම 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday196
mod_vvisit_counterYesterday140
mod_vvisit_counterThis week600
mod_vvisit_counterLast week2296
mod_vvisit_counterThis month6444
mod_vvisit_counterLast month10711
mod_vvisit_counterAll days2000120

Follow us on Facebook

Online Users

We have 76 guests online