16
Feb

විජයට වෙඩි තැබූ පුවතින් මට සිහි එළවාගන්න බැරිවුණා - මාලිනී

Malanai-Fonseka

සිංහල සිමාවේ ස්වර්ණමය යුගය හැටියට සැලකෙන 70 දශකයේ ජනප්‍රිය සිනමා රැල්ලේ පිනුම් ගැසු අසහාය පෙම් යුවළ විජය-මාලනී විය.  ජනප්‍රියත්වයත් රංග කුසලතාවත් එක සේ ප්‍රකට කළ විජය කුමාරණතුංගයන් ගැන කතා කරන්නට වෙනත් නිළියක් අපේ සිනමාවේ නැති තරම්ය.  නිළි රැජින මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා අද අප සිනෙ-ගැලරියට එකකර ගන්නෙ එබැවිනි.

  • ඔයා මුලින්ම විජයත් එක්ක රංගනයට එක්වුණ අවස්ථාව මතකද ?

 ඔව්.  මට ඒ දවස එදා වගේම අදත් මතකයි.  විජය මුලින්ම මාත් එක්ක රංගනයට එක් වුණේ තිමති වීරරත්නගේ “ මේ දැස කුමටද ? ” චිත්‍රපටයෙන් ඒ චිත්‍රපටයේ මුල්ම රූපගත කිරීම් තිබුණේ තිමති වීරරත්නගේ ගෙදර.  තිමති අයියා අපට ඒ වෙලාවෙ  විජය හදුන්වා දුන්නා “  ඒ වෙනකොට විජය “හන්තානේ කතාව  ” චිත්‍රපටයේ රඟපාලා.  ඉන් පස්සේ තවත් චිත්‍රපට හතරක පහක රඟපාලා නමක් හදාගෙනයි හිටියේ.

 “ හන්තානේ කතාව  ” චිත්‍රපටයේ රඟපාන්න මටත් ඇරයුමක් තිබුණා.  ඒත් ඒ ඇරයුම අනුව මට ඒ චිත්‍රපටයට එක්වෙන්න ලැබුණේ නෑ.  එහෙම වුණානම් මට මුලින්ම විජය හමුවෙන්නේ ඔහුගේ පළමු  චිත්‍රපටය වුණු  “ හන්තානේ කතා‍ෙව  ” නුයි.  

  • මාලනී වගේ ප්‍රවීණ නිළියක් එක්ක රඟපාන්න මුලින්ම එක්වෙනකොට විජයගේ රඟපෑමේ නුහුරු බවක් තිබුණද ? 

 

එහෙම නුහුරුකමක් තිබ්බේ නෑ. මමත් ඒ වෙනකොට රඟපාලා තිබුණේ චිත්‍රපට 5 ක විතර තමයි. කොහොම වුණත් එදා නම් විජය කතා කළේ බොහොම අඩුවෙන්. නමුත් හැමෝම එක්ක ඉක්මනින් සුහදවීමේ හැකියාවක් එයාට තිබුණා. විශේෂයෙන් විජයගේ රූපය කාගේත් සිත් ඇදගත්තා. ඒ කාලේ වෙනකොට විජය වගේ ලස්සන හැඩරුව ඇති රංගන ශිල්පියකුගේ අවශ්‍යතාවයකුත් තිබුණා. විජයගේ රූපයත් හැකියාවත් ඒකට හොඳ පිළිතුරක් වුණා.Vijaya Kumaranatunga

 

  • විජයට ඉල්ලුම වැඩිවීමත් එක්ක ජනප්‍රිය රැල්ලේ පිනුම් ගැසිමේ ආසාව වැඩිවුණ නිසා සංකීර්ණ චරිත රඟපාන්න තියෙන අවස්ථාව විජයට අහිමි වුණා නේද ?

 

විජයයි මායි රඟපෑ  “ තුෂාරා”  චිත්‍රපටයෙන් පස්සේ අපි දෙන්නගෙම ජනප්‍රියත්වය ඉහළ ගියා.  අපි දෙන්නටම වැල නොකැඩී රඟපාන්න ආරාධනා ලැබුණා.  ඒවා වැඩිපුරම ජනප්‍රිය රැල්ලේ ඒවා තමයි.  හැබැයි මාත් විජයත් ජනප්‍රිය චිත්‍රපට, කලාත්මක චිත්‍රපට කියල වෙන්කරගෙන රඟපැවේ නෑ. ඒ ප්‍රවණතාවයන් දෙකට අපි අපේ උපරිම දායකත්වය ලබා දුන්නා.  ජනප්‍රිය චිත්‍රපටවල රඟපානව වගේම කලාත්මක චිත්‍රපටවල සංකීර්ණ චරිත නිරූපණය කිරීමේ විශ්වාසයක් විජයට තිබුණා.  ධර්මසේන පතිරාජ, සුගතපාල සෙනරත් යාපා, දයා තෙන්නකෝන් , ඩබ්ලිව්.ජයසිරි වගේ යාළුවෝ තමයි විජය ඇසුරු කළේ.  ඒ අසුර විජයගේ දැනුම වගේම හොඳ රංගනයන් සදහා දායකවීම කෙරෙහි බලපෑවා.

 

  • විජය තමන්ගේ රූපය ගැන බොහොම සැලැකිලිමත් වුණා නේද ?

 

විජය හැම තිස්සේම පිළිවෙළට ලස්සනට ඇන්දා.  එයා තෝරා‍ගත් ඇඳුම්වලින් එයාට හරි Smart පෙනුමක් ලැබුණා. විජය ඒ තරම් ලස්සනට ඇන්දා. ඔහුට තරම් ලස්සන ඇඳුම් තිබුණ කිසිම නළුවෙක් මට සිනමාවේදි හමුවෙලා නෑ.

 

  • විජය නමැති දේශපාලනඥයා ගැන මොකද හ‍ිතෙන්නේ.

 

එදා විජයගේ හොඳම යාළුවෝ වෙලා හිටියේ පතී, තෙන්නේ, ජයසිරි වගේ අය වමේ දේශපාලනය වෙනුවෙන් පෙනි සිටියා. ඒ අයගේ ඇසුරේ ඉඳිමින් විජය එදත් විවිධ දේශපාලන ක්‍රියාකාරකම්වල නියැලුණා.  විජය දුක් විදින ජනතාව වෙනුවෙන් කැපවෙලා වැඩ කළා. පීඩිත පන්තිය ගැන විජයට විශාල කැක්කුමක් තිබුණා.  සමාජ ආසාධාරණය නැති කිරීමේ උවමනාව විජයට හැමදාමත් තිබුණා.

 

  • විජයට වෙඩි වැදුණු පුවත ඇසු සැණින් ඔයාට දැනුණු කම්පනය මොන වගේද ?

 

ඇත්තටම මට ඒ වෙලාවෙ ඒක අදහාගන්න බැරි වුණා.  ඔහු මිය ගිය බවත් මට කොහෙත්ම විශ්වාස කරන්න බැරිවුණා.  සිනමා භාෂාවෙන් කියනවා නම්  ඒ මොහොතේ Freeze වුණා.  විජයට වෙඩි තැබු ස්ථානයට ගිය වෙලාවෙ මට කැගහලා විලාප තියල හැඩුණේ නෑ.  මට ඒ වෙලාවෙ සිහි එළවා ගන්න බැරි වුණා

 

  • විජය මිය ගිහින් 25 වසරක් ගෙවිලත් අදත් ඔහු ජනප්‍රිය වෙන්න හේතුව මොකක්ද ?
     

විජයගේ රූපය වගේම එයාගේ අසීමිත මනුස්සකම් , මානව භක්තිය මේ රටේ ජනතාව හොද හැටි හදුනාගෙන හිටියා.  ඒ නිසා ජනතාවට තවදුරටත් විජය අමතක වෙන්නේ නැ. ඔහු දන්න නොදන්න හැමෝටම උදව් කළා.  චිත්‍රපටවල රගපානකොටත් විජය මුදල් ඉස්සර කරගන්නේ නෑ. තමන් කරන දේ කැපවිමෙන් ඉටු කළා. විජය නොමිලේ රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව විශාලයි.  සමහර නිෂ්පාදකයෝ ඒ චිත්‍රපට ආදායම් ඉපැයුවට පස්සෙවත් විජයට මුදල් දෙන්න උනන්දු වුණේ නෑ.  විජය ඒවා ඒ තරම් ලොකු දේවල් විදියට ගණන් ගන්නේ නෑ.  කොහොම වුණත් විජයගේ අසිමිත මනුස්සකමින් අයුතු ප්‍රයෝජන ගන්න අයත් හිටියා.

 

  • ඔයා අධ්‍යක්ෂණය කළ චිත්‍රපට එකකවත් විජය රඟපෑවේ නෑ.  ඒකට විශේෂ හේතුවක් තිබෙනවද ?

 

එහෙම විශේෂ හේතුවක් නෑ. විජය මං අධ්‍යක්ෂණය කරන චිත්‍රපටයක රගපාන්න බොහොම ආසාවෙන් හිටියා.  කිහිප වතාවක්ම විජය මට විහිළු කළා.  “ ඔයාගෙ චිත්‍රපටවලට ඉතින් මාව ගන්නේ නෑ” කියලා කොහොම හරි විජයගේ ආසාවන් ඉටුකර ගනිමින් අලුත් චිත්‍රපටයක වැඩ පටන් ගන්න හිටිය දවසේ තමයි විජයගේ මරණය සිදු‍වුණේ.

 

  • ඒක මීට කලින් මාධ්‍යයට හෙළි නොවුණු පුවතක් නේද ?

 

ඔව්, මම තාමත් ඒ චිත්‍රපටය කරන්න ආසාවෙන් ඉන්නවා. විජය මියගිය පෙබ. 16  දා උදේ තමයි සුබ මොහොතින් ඒ චිත්‍රපටයේ තිර නාටකය ලියන්න යොදාගෙන තිබුණේ.  ශිව දෙවියන් හා සම්බන්ධ පුවතක් පදනම් කරගෙන ඒ තිර නාටකය ලියන්න කැමැත්තෙන් හිටියේ සෝමපාල ලීලානන්දයි.

 

  • එදා මෙදාතුර විජය වගේ යාළුවෙක් සිනමාවට බිහි නොවීම ගැන මොකද හිතෙන්නේ ?

 

එක් එක් යුගවල සාහිත්‍යයේ, සිනමාවේ, නාට්‍යයේ, දේශපාලනයේ යුග පුරුෂයන් බිහිවෙනවා.  ඒ වගේම ඒ යුග පුරුෂයන්ගෙන් පස්සේ ඒ තැන ගන්න අලුතින් ඒ වගේම යුග පුරුෂයෝ බිහි නොවෙනවා වගේ වැඩක් ඒක. අපේ සිනමාවෙත් එහෙමයි. රුක්මනි දේවියගෙන් පස්සේ ඒ තැන ගන්න, ගාමිණී ෆොන්සේකාගෙන් පස්සේ ඒ තැන ගන්න, ජෝතිපාලගෙන් පස්සෙ ඒ තැන ගන්න කෙනෙක් බිහි නොවුනා වගේ තමයි විජය වගේ කෙනෙකුත් නැවතත් බිහි නොවිමත්.

විජය ඝාතනය කොට අදට 25 වසරක් සපිරේ . විජය වෙඩි තබා ඝාතනය කිරිමට දින කිහිපයකට  ඉහත මහජන රැස්විමක් අමතා කළ සංවේදි කථාව ඔහුගේ මරණය පිළිබඳ ඔහු කලින් දුටු පෙරනිමිත්තක් වැන්න. 

“මම කිසිසේත් මරණයට බිය නොවෙමි .  එහෙත් ඇතැම් විට මරණය ගැන බියක්ද දැනේ.  යම් හෙයකින් මා මළ දවසක  “ ඔබගේ පියා මළේ කුමකින්  ”  දැයි පාසලේ සහෝදර ශිෂ්‍යයෙකු මගේ පුත්‍රයාගෙන් විමසු කළෙක  “ මගේ පියා මළේ  බයිස්කෝප් එකක තරුණියක් සමග මල් ගස් වටා නටමින් ගීයක් ගයද්දී හැදුන පපුවේ අමාරුවෙකිනැයි ”  පිළිතුරු දීමට මගේ පුත්‍රයාට සිදුවේ දැයි මම අද බියෙන් පසු    වෙමි.  මට ඕනැ එවැනි මරණයක් නොවේ.  එක්සත් ජාතික පක්ෂයේ කොළ කොටියෙකුගේ හෝ ජනතා විමුක්ති පෙරමුණේ ගිණි අවියකින් හෝ මගේ හිස කුඩු පට්ටම් වි මිය යැමට ලැබුණොත් මට ඊට වඩා සතුටක් නැත.”

 

 (මව්බිම - 2013.02 15)

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday276
mod_vvisit_counterYesterday323
mod_vvisit_counterThis week1926
mod_vvisit_counterLast week2027
mod_vvisit_counterThis month4172
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2149725

Follow us on Facebook

Online Users

We have 24 guests online