21
Nov

'අම්මාගේ ලයාන්විත ගීතවලට වඩා තාත්තා කියන පිච් අවුට් සින්දුවලට පුතා නැළවෙනවලු...-ඉන්දිකා උපමාලි

ඉන්දිකා උපමාලිගෙ ගෙදර කිරි හිනාවෙන් පිරිලා කියලා ආරංචියි?

ආරංචිය ඇත්ත. ඒ වාසනාව උදාවෙලා දැන් මාස පහක් වෙනවා.

ඒ කියන්නේ දැන් ඉන්දිකාත් අම්මා කෙනෙක්?

ඔව්. මැයි 28 තමයි අපේ පුංචි පුතා මාව අම්මා කෙනෙක් වගේම රොහාන්ව තාත්තා කෙනෙක් කළේ.


අම්මා කෙනෙක් වෙන හීනය හැබෑ කර ගන්න ඔබට අවුරුදු හතක්ම බලාගෙන ඉන්න වුණා?
කවදා හරි අපේ ඒ හීනය හැබෑ වෙයි කියන විශ්වාසය අපි දෙන්නාගෙම හිත්වල තිබුණා. ඒ නිසා අපි ඒ හීනය දකින එක නැවැත්තුවෙ නෑ... අපි බලාගෙන හිටියා පුංචි පුතෙක් අපේ ලෝකෙට එනකන්. කොච්චර මං ඒ වෙනුවෙන් විශ්වාසයක් ගොඩනඟා ගත්තාද කිව්වොත් මං අපේ නූපන් පුතා වෙනුවෙන් දින පොතක් පවා ලිව්වා. අපි දෙන්නාගේ හිතේ තියෙන ආදරය, අපි එයාව සතුටින් තියන්න හදන විදිය ගැන ලියපු දින පොත් එකතුවක්ම මං ළඟ තියෙනවා. පහුගිය කාලෙ පුරාවට දරුවෙක් නැති පාළුව, කාංසිය මම මඟහරවා ගන්න උත්සාහ කළේ ඒ විදියට.

හීන හැබෑ කරමින් අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා දැන ගත්තම සතුට නිමක් නැති වෙන්න ඇති?

ඔව්... මට විතරක් නෙවෙයි රොහාන්ටත්, සතුට දරා ගන්න බැරි වුණා. විශේෂයෙන්ම කියන්න ඕනෑ අද අපි ලබන මේ සතුටට දායක වුණු කොටස්කාරයො කීපදෙනෙක්ම ඉන්නවා. ඒ අතරින් චරිතා අක්කා (චරිතා ප්‍රියදර්ශනී) හුඟාක් වැදගත්. චරිතා අක්කා තමයි නීල් සෙනෙවිරත්න වෛද්‍යතුමා ළඟට යන්න අපිට පාර පෙන්නුවේ. එතැන ඉඳන් වෛද්‍ය නීල් වගේම එයාගෙ බිරිය චතුරිකා ගීතාලි සමීප හිතවතුන් වෙලා මගේ හීන හැබෑ කරන්න උදවු වුණා. චතුරිකා සහෝදරියක් වගේ පුතා ලැබෙන මොහොත දක්වාම කරපු උදවු මට කවදාවත් අමතක වෙන්නෙ නෑ.

බලාපොරොත්තු වුණේ පුතෙක්?

ඔව්... අපි බලාපොරොත්තු වුණු දේ ඒ විදියටම ඉටු වුණා.

පුතාගෙ මූණ දැක්කම තාත්තාගෙ ප්‍රතිචාර මතකද?

සතුට වැඩිකමට හොස්පිට්ල් එක දෙක කළා. රොහාන්ගේ කම්මුල්වල ඩිම්පල්ස් තියෙනවා. පුතාගෙ කම්මුලෙත් ඩිම්පල්ස් දැකලා එයාට හරිම සතුටුයි. 'බබා පුතාගෙත් 'ඩිම්පල්ස්' තියෙනවා කිව්වෙ හරි සතුටින්.

ඒ කියන්නෙ පුතා පෙනුමෙන් තාත්තා වගේ...?

තාම හරියටම කියන්න බෑ. ඒත් පෙනුමෙ වැඩි වාසි තියෙන්නෙ තාත්තාගෙ පැත්තට.
මොකක්ද පුංචි පුතාගෙ නම...?

නටාල් ජූනියර්. එයාගෙ තාත්තා තමයි ඔය නම දැම්මෙ. රොහාන් ඔය නම හදනකොට පුතා අපේ ලෝකෙට එන්න හිතලවත් නැතිව ඇති. රොහාන් මගෙන් එක දෙයයි ඉල්ලුවේ. ඒ පුතාට නම දැමීමේ අයිතිය එයාට දෙන්න කියලා. ඉතින් මම ඒ අයිතිය එයාට දුන්නා.

'නටාල් ජූනියර්' ඒක ටිකක් වෙනස් නමක්...?
තාත්තාගේ කැමැත්තනේ. රොහාන් රගර් ක්‍රීඩකයෙක්. ඔය ජූනියර් කියන නම ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ හොඳ තැනක් තියෙන නමක්ලු.

එහෙනම් තාත්තාගේ හීනෙ පුතා කවදා හරි තාත්තාගෙම අඩිපාරෙ යවලා රගර් ක්‍රීඩකයෙක් කරන්න...?
නෑ... නෑ... එයා ක්‍රීඩාවට නැඹුරු වෙයිද සංගීතයට යොමු වෙයිද කියලා අපි දන්නෙ නෑනේ. කිසිම දේකට අපි බලෙන් යොමු කරන්නෙ නෑ. ඒක කවදා හරි තීරණය කරන්න ඕනෑ පුතාමයි.

හුඟාක් ජනප්‍රිය අම්මලාට කාර්යබහුල ජීවිතයෙදි දරුවන්ව මඟ හැරෙනවා...?

මම නම් නොදැනුවත්ව හරි ඒ වැරැද්ද වෙන්න ඉඩ දෙන්නෙ නෑ... මම දැන් මං ගැන තීන්දු තීරණ ගන්නේ 'නටාල් ගේ අම්මා' විදියට මිසක් ඉන්දිකා උපමාලි විදියට නෙවෙයි. හැම දේටම වඩා දැන් මට වටින්නේ 'නටාල්ගේ අම්මා' වීම. කවදත් මම කලාව නිසා ඕනෑවට වඩා කාර්යබහුල වුණු කෙනෙක් නෙවෙයි. කලාව අතහරින්නෙත් නෑ. මගේ රැකියාව අත හරින්නත් බෑ... පුතාට ප්‍රධාන තැන දෙන ගමන් ඒ දෙකත් කාලය කළමනාකරණය කරගෙන කරනවා.

තාම රැකියාවට යන්නෙ නැතිව ඇති...?

ගිය සතියෙ ඉඳන් විශ්වවිද්‍යාලයට යන්න පටන් ගත්තා.

පුතා තනි කරලා යන්න ලෝබ හිතෙන්න ඇති...?
පැය දෙකකට වඩා පුතා මම නැතිව හිටියේ නෑ. ගෙදර තියෙන්නේ කැම්පස් එක ළඟමයි. විනාඩි දහයේ දුර. ලෙක්චර් එක ඉවර වුණු ගමන්ම ගෙදර එනවා.

ඔයා ගෙදර නැති වෙලාවට කවුද පුතා බලාගන්නේ...?
මුල් කාලෙ මගේ අම්මායි, මගේ සහෝදරියොයි උදව්වට ආවා. දැන් රොහාන්ගෙ අක්කයි, තව හිතවත් අක්කා කෙනකුයි ඉන්නවා.

එහෙනම් පුංචි නටාල්ට පිරිවර සම්පත්තියෙන් අඩුවක් නෑ...?

අපෝ ඔව්... ඉස්සර රොහානුයි මමයි විතරයි මේ බිත්ති හතර ඇතුළෙ හිටියේ. පුතා ආවට පස්සේ මේ හැමදේම වෙනස් වුණා. දැන් අපේ ගෙදර පිරිවරින් අඩුවක් නෑ... ඒක එයාගෙ වාසනාව. ඒ විතරක් නෙවෙයි. එයා මගේ කුසේ ඉඳිද්දි මගේ දුක සැප බැලුවේ ගෙදර අවට ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් අසල්වැසියෝ. ඒ අය පුතා වෙනුවෙන් මට කන්න බොන්න ගෙනත් දීලා ආදරයෙන් බලා ගත්තා. ඒ ආදරයට ජාතිය, ආගම හරස් වුණේ නෑ. මේ හැමෝම එක්ක අපේ දරුවො ආදරෙන් ඉන්න අය කවදාවත් ජාතිවාදය නම් ඇති වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා.


රටක් වසඟ වුණා වගේ අම්මාගේ හඬට පුතත් සංවේදී වෙලා ඇති...?

ඔව්... මම එයාව නළවන්න එයාටම විශේෂ දරු නැළවිලි ගීත හදලා තියෙන්නේ. ඒත් එයාගෙ තාත්තා නම් කියන්නේ 'අම්මාගේ ලයාන්විත ගීතවලට වඩා තාත්තා කියන පිච් අවුට් සින්දුවලට පුතා නැළවෙනවලු...'

පුංචි පුතා වෙනුවෙන් අම්මයි, තාත්තයි දකින හීන ගැනත් කියමු...?
මහා ලොකු හීන නෑ... නටාල් ව ගුණ යහපත්කමින් පිරුණු දැහැමි දරුවෙක් කරන එක තමයි අපේ ලොකුම බලාපොරොත්තුව.

හිමේෂා සවන්ති රාජපක්‍ෂ

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday279
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1519
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10361
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028430

Follow us on Facebook

Online Users

We have 65 guests online