23
Nov

නිෂ්පාදනය අවදානම්. අත්දැකීම සුන්දරයි

කොහොමද ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටයට ප‍්‍රතිචාර ? සමහරු කියනවා ජැක්සන්ටත් නිෂ්පාදක මාරසිංහටත් ඇඩ‍්‍රස් නැතිවෙයි කියලා.

(සිනාසෙමින්) අපොයි එහෙම නෑ. චිත‍්‍රපටය ගැන පේ‍්‍රක්ෂකයො විචාරකයො විවිධ අදහස් දක්වනවා. කොහොම වුණත් චිත‍්‍රපටය හොඳට දුවනවා.

කොහොමද එහෙම කියන්නෙ ? මොකක්ද ‘ඇඩ‍්‍රස් නෑ’ චිත‍්‍රපටය දුවන්න හේතුව ?

මං හිතන්නෙ මේ චිත‍්‍රපටයෙ අලූත්ම තේමාව පේ‍්‍රක්ෂක ආකර්ශනයට බලපානවා.
මොකක්ද ‘ඇඩ‍්‍රස් නෑ’ ඔබ කියන අලූත්ම තේමාව

ඒකෙ චිත‍්‍රපටයෙ කතාව වෙනස්ම එකක්නෙ. පාතාලය ගැන චිත‍්‍රපට බිහිවුණත් ඒ පාතාලය ඇතුළෙ යාචකයින් විකුණන් කන ව්‍යාපාරිකයො ගැන කතා කරලම නෑ.


චිත‍්‍රපටයට වඩාත් ප‍්‍රතිචාර ලැබෙන්නෙ මොන වගේ පේ‍්‍රක්ෂකයින්ගෙන් ද?

විශේෂයෙන් පවුලේ පේ‍්‍රක්ෂකයන්ට තමයි චිත‍්‍රපටය වඩාත් දැනෙන්න පටන් අරන් තියෙන්නෙ. අපේ රටේ චිත‍්‍රපටවල පැවැත්ම රඳා පවතින්නෙ ඒ පවුලේ පේ‍්‍රක්ෂකයො මතයි.

පසුගිය කාලෙ මේ රටේ නිපදවුණු දැවැන්ත වාණිජ චිත‍්‍රපටත් මුදල් ඉපයීම අතින් සාර්ථක වුණා. ඉතින් එහෙම තත්ත්වයක් යටතේ ඔබට ඔබේ චිත‍්‍රපටයෙන් නිශ්චිත ආදායමක් ගැන බලාපොරොත්තු වෙන්න පුළුවන්ද?

මෙහෙමයි. දැන් අපේ රටේ හැටියට චිත‍්‍රපට නිෂ්පාදනය සඳහා මුදල් යෙදවිය යුත්තේ පරිස්සමින්. එහෙම නොවුණොත් ඔබ කිවූ විදිහට අසාර්ථකත්වයට පත්වෙන්න පුළුවන්.

ඒකෙන් අදහස් වෙන්නෙ ඔබ මේ චිත‍්‍රපටය නිෂ්පාදනය කළේ බොහොම අඩු වියදමකින් කියලද?

නෑ... නෑ... චිත‍්‍රපටයක් සාර්ථක කර ගන්න අවශ්‍ය හැම අංගයක් සඳහාම වියදම් කළ යුතු හැම වියදමක්ම මම දැරුවා. නමුත් ඒ තුළ නිසි කළමනාකරණයක් තිබුණා.
ඔබ චිත‍්‍රපට නිෂ්පාදනයට යොමුවුණේ ඒකෙ අවදානම නොදැන වෙන්න බැහැ.
ඔව්. මේ රටේ චිත‍්‍රපට නිෂ්පාදනයේ තියෙන අවදානම ගැන මම හොඳට දන්නවා. එහෙම දැනගෙන වැඩකළ නිසාම මං මෙතෙක් කල් නිපදවපු හැම චිත‍්‍රපටයක්ම ආදායම් අතින් සාර්ථක වුණා.

අවදානම දැන දැනත් දිගින් දිගටම චිත‍්‍රපට නිෂ්පාදනයේ යෙදෙන්නෙ වෙන ව්‍යාපාරයක් කරන්න අකමැති නිසාද?

වෙන ව්‍යාපාරවලින් මුදල් උපයනවාට වඩා චිත‍්‍රපට නිෂ්පාදනය කිරීම මට තෘප්තියක්. අවදානම වගේම ඒක ඇතුළේ සුන්දරත්වයකුත් තියෙනවා. ඒ නිසා දිගටම චිත‍්‍රපට නිෂ්පාදනයේ නියැළීමට තමයි මගේ අපේක්‍ෂාව.

ඒ වුණත් ලංකාවෙ සිනමා කර්මාන්තය විශාල අනතුරක බව ඔබේ චිත‍්‍රපටය අධ්‍යක්‍ෂණය කළ ජැක්සන් ඇන්තනිම ප‍්‍රකාශ කළා?

අපේ සිනමා කර්මාන්තය තුළ හැමදාමත් අර්බුද තිබුණා. කාලෙන් කලෙට විවිධ ප‍්‍රශ්න බලපෑවා ඒ කොහොම වෙතත් චිත‍්‍රපට නිෂ්පාදකවරුන් වශයෙන් අපි මේ තත්ත්වයට මුහුණ දිය යුතුයි බාධක ජයගත යුතුයි.

චිත‍්‍රපට නිෂ්පාදකවරුන් හැටියට ප‍්‍රදර්ශන මණ්ඩලවල චිත‍්‍රපට බෙදාහැරීම සම්බන්ධයෙන් මතුවී ඇති ගැටලූ මොනවාද?

ප‍්‍රධාන ප‍්‍රශ්නය තමයි මේ රටේ චිත‍්‍රපට ප‍්‍රදර්ශනය කෙරෙන දින වකවානු තීරණය කරන්නේ ප‍්‍රදර්ශන මණ්ඩල මගින්. ඒ වුණත් ඉන්දියාවේ නිෂ්පාදකවරුන් චිත‍්‍රපටය තිරගත වන දිනය පිළිබඳ කලින්ම ප‍්‍රසිද්ධ කරනවා. එතැනදි සිනමාශාලා හිමියන්ට වඩා නිෂ්පාදකවරුන් ප‍්‍රබලයි. හොඳම උදාහරණය ෂාරුක් ඛාන් චිත‍්‍රපටයක් හදනකොට එය තිරගත වන කාල වකවානුත් කළින්ම ප‍්‍රකාශ කරනවා. ලංකාවේ එහෙම තත්ත්වයක් නැති නිසා ප‍්‍රදර්ශක මණ්ඩල වල අභිමතය මත කටයුතු කරන්නට නිෂ්පාදකවරුන්ට සිදුවෙලා තියෙනවා.

ප‍්‍රදර්ශක මණ්ඩල වල හිතුවක්කාරී ක‍්‍රියාවන් නිෂ්පාදකවරයාට බලපා තිබෙන්නෙ කොයි ආකාරයටද?

අපේ රටේ දැන් චිත‍්‍රපට නරඹන්නේ එක්තරා පිරිසක් පමණයි. ඒ පිරිස 70 දශකයේදි චිත‍්‍රපට නැරඹූ පේ‍්‍රක්‍ෂකයන්ගෙන් 1/10ක් පමණයි. ඉතින් එකම වෙලාවක ආදායම් ඉපයිය හැකි මට්ටමේ ජනප‍්‍රිය චිත‍්‍රපට දෙකක් ප‍්‍රදර්ශනය කළොත් ඒක චිත‍්‍රපට දෙකේම ආදායම දෙකට බෙදෙනවා. ඒ නිසා නිෂ්පාදකයන් සහ සිනමාශාලා හිමියන් අන්‍යෝන්‍ය අවබෝධයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා.
අපි දන්න ආකාරයට අද මේ රටේ තරුණ පරම්පරාව චිත‍්‍රපට බලන්න සිනමාශාලාවට එන්නෙ නෑ. ඔවුන් එසේ ගෙන්වා ගැනීමට අනාගතයේදි මේ සිනමාකරුවන් ට හැකිවෙයිද?

ඒ කතාව ඇත්ත. අද අලූත් පරපුර අන්තර්ජාලය හරහා චිත‍්‍රපට නරඹනවා. ඔවුන් දිනා ගැනීමට නම් ඔවුන්ගේ සිතුම් පැතුම් ගැන අවබෝධයක් ඇතුව චිත‍්‍රපට නිපදවන්න සිදුවෙනවා. අද අපේ රටේ තවමත් චිත‍්‍රපට නිපදවෙන්නෙ පරණ පේ‍්‍රක්‍ෂකාගාරය ගැන හිතාගෙනයි.

ඔබ මෙතෙක් කල් හැදුවේ වාණිජත්වයට නැඹුරු වූ චිත‍්‍රපට ඉදිරියෙදිවත් අන්තර්ජාතික මට්ටමේ චිත‍්‍රපට නිපදවීමේ අදහසක් නැද්ද?
ඉදිරියටත් මං වාණිජ්‍ය මට්ටමේ චිත‍්‍රපට කරන්න තමයි සූදානම. හැබැයි එකම අච්චුවේ චිත‍්‍රපට කරනවාට වඩා වෙනස් විවිධ තේමාවන් සහිත චිත‍්‍රපට කරන්නත් කැමතියි.

චිත‍්‍රපට නිෂ්පාදනයට යොමු වීමට ඔබට ඔබේ පියාගේ සහෝදරයා, සුගතදාස මාරසිංහගේ හෙවනැල්ල බලපෑවා ද?

ඔව් ඒකත් වෙන්න පුළුවන්. මගේ පියාත් පවුලේ අනෙකුත් ඥාතීනුත් සිංහල සිනමාවට බොහොම ලැදියි.

දිගින් දිගටම චිත‍්‍රපට නිෂ්පාදනයෙ යෙදෙනවාට වඩා චිත‍්‍රපටයක් අධ්‍යක්‍ෂණය කිරීමේ බලාරොත්තුවක් නැද්ද?

නෑ. එහෙම ආශාවකුත් මට නෑ. නිෂ්පාදකවරයෙක් හැටියට මට ලැබෙන තෘප්තිය හොඳටම ප‍්‍රමාණවත්.

-ෂෙරින් පීරිස්

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday63
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3367
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7467
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990256

Follow us on Facebook

Online Users

We have 61 guests online