30
Jan

සීතලේ උණුහුමෙන් - පෙම් කළා රෑ පුරා-සාරංග දිසාසේකර

වැඩි සද්ද බද්දයක් නැති වුණාට සාරංග මේ දවස් වල හුඟක් කාර්ය බහුලයි නේද?

කොහොමටත් කවදත් මගේ ලොකු සද්ද බද්ද නැහැනෙ. ලැබෙන වැඩ කරගෙන යනවා.

මොනවගේ වැඩත් එක්කද මේ දවස්වල කාලය ගත වෙන්නෙ?

ටෙලි නාට්‍ය  තුනක් විකාශය වෙනවා. ඒවායේ රූගත කිරීමුත් තියෙනවා.

අපි ඒ ටෙලි නාට්‍ය ගැනත් කතාකරලම ඉමු?

ස්වර්ණවාහිනියේ විකාශය වෙන සිවගුරුනාදන් මහත්මයාගෙ ‘හංස පිහාටු‘ ටෙලි නාට්‍යෙය් මම මැර දේශපාලකයකුගේ චරිතයක් රඟපානවා. ඔහු කිත්තා. (කිත්සිරි) එහෙම චරිතයකින් මීට කලින් මාව දැකල නැති හින්ද ප්‍රේක්ෂකයන් ගෙන් විශාල ප්‍රතිචාරයක් ලැබෙනවා. ඇත්තටම ප්‍රේක්ෂකයො අතර මං මේ දවස්වල වැඩියෙන්ම ජනප්‍රිය වෙලා ඉන්නෙ ‘කිත්තා‘ නමින්.

හිරු ටී.වී. ඔස්සේ විකාශය වෙන සංජය නිර්මාල් මහත්මයාගෙ ‘වස්සානේ ප්‍රේමයේ‘ ආදිත්‍ය කියන  පෙම්වතාගේ චරිතය රපානවා.

ස්වර්ණවාහිනියේ විකාශය වෙන ක්‍රිෂ්ටි ෂෙල්ටන් මහත්මයාගෙ ‘මතු සම්බන්ධයි‘ ටෙලි නාට්‍යෙය් මම වයොවෘද්ධ ගායකයෙක්.

මේ චරිත එකකට එකක් වෙනස් චරිතනෙ. රංගන ශිලපියෙක් විදිහට විවිධාකාර චරිත ලැබෙද්දි ඒක ඔයාට කොහොමද දැනෙන්නෙ?

ඇත්තටම ඒක හොඳයි. විවිධාකාර චරිත වලින් මට මාවම අභියෝගයට ලක් කරන්න හැකියාව ලැබෙනවා. මුල්කාලෙ මට වැඩි වශයෙන් ලැබුණේ එකම විදිහේ පෙම්වතාගේ චරිත. වයසෙන් මුහුකුරා යද්දි මෙහෙම වෙනස් චරිත ලැබීම අර ඒකාකාරීත්වයෙන් මිදෙන්න හොඳ අවස්ථාවක්. එහෙම අවස්ථා ලැබෙන්න අධ්‍යක්ෂවරු තුළ විශ්වසනීයත්වයක් ඇතිවීම සතුටක්.

මේ චරිත වලින් ඔයාට හුඟක්ම  අභියෝගාත්මක වුණේ කවුද?

‘හංස පිහාටු‘ ටෙලි නාට්‍යෙය් කිත්තා.

මැර දේශපාලන චරිත කියන්නෙ අපේ රටේ නිතර අහන්න දකින්න ලැබෙන චරිතනෙ. කොහොමද එහෙම චරිතයක් අභියෝගයක් වුණේ?

එක පැත්තකින් ඒකමත් අභියෝගයක්. තවත් පැත්තකින් ඒ චරිත අභ්‍යන්තරය අල්ලාගන්න එකයි අභියෝගය. එතෙන්දි කිත්තා තුළ මේ විදිහේ හැඩතල තියෙන්න ඕනෑ කියනදේ අධ්‍යක්ෂවරයා තුළ තිබුණා. ඔහුගේ එකඟතාවය මත යම් යම් දේවල් මා තුළිනුත් එකතු වුණා. අනෙත් එක කිත්තාට පිටපතෙන් ලොකු තල්ලුවක් ලැබුණා. මේ පිටපත සද්ධා මංගල සූරියබණ්ඩාරගෙ. මට වුණත් කිත්තාට අනුගත වෙලා යම් දෙයක් එකතු කරන්න පිටපත විශාල ලෙස ඉඟි සැපයූවා.

කිත්තා කියන්නෙ වර්තමානයේ මේ සමාජයේ සැරිසරන චරිතයක කාබන් කොපියක්ද?

නැහැ. චරිත කීපයක එකතුවක්.මේක මේ එක පුද්ගලයෙක්ගෙ අනුකරණයක් නෙමෙයි.

එහෙම චරිත වලින් කිත්තාට නිර්නාමික ඇමතුම් ලැබුණේ නැද්ද?

ඔහොම කෙනෙක් අපේ ගමෙත් ඉන්නවා කියල සමහරු කියනවා. සමහර පළාත් සභා මන්ත්‍රීවරුත් කතා කරලා කියනවා. ‘හොඳයි හොඳයි අපි ගැනත් තියෙනවා නේද?‘ කියලා.

අලුත් සිනමා නිර්මාණ වලටත් සම්බන්ධ වුණාද?

ඔව්. ඉදිරියේදී තිරගත වීමට නියමිත සුගත් සමරකෝන් මහත්මයාගෙ ‘අපේ කාලේ පටාචාරා‘ චිත්‍රපටයේ පටාචාරාගේ සැමියා ජීවන්ත විදිහට ප්‍රධාන චරිතයත්, සංජය නිර්මාල් මහත්මයාගෙ ‘ජූලි හතයි‘ චිත්‍රපටයේ ටෝනි කියන ප්‍රහසන චරිතයත් රඟපෑවා.මේ දවස්වල රෝයි ද සිල්වා මහත්මයාගෙ අලුත්ම චිත්‍රපටයේ කවීෂ කියන හීරෝ කොමඩි චරිතයේ රඟපෑම් ඉවර කළා. මේ චිත්‍රපටය සම්පූර්ණයෙන්ම රූපගත කළේ ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් වල.සාමාන්‍යෙයන් මුලු චිත්‍රපටයක්ම පිටරටක රූගත කෙරෙවා අඩුයි. ඇත්තටම මේ චිත්‍රපටය සුන්දර අත්දැකීමක් වුණා. නලීන් මාපිටියගෙ ‘තානාපතිලගෙ ගෙදර‘ චිත්‍රපටයේත් මුබාරක් කියන මුස්ලිම් තරුණයාගෙ චරිතය රඟපෑවා.

පුංචි තිරයේ සුන්දර පෙම්වතා දැන් කොමඩි චරිතවල. මේ වෙනස මොකක්ද?

මම සාමාන්‍ය ජීවිතේත් විහිළු තහළු කරලා සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක්.සංජය නිර්මාල් මහත්මයලා එක්ක වැඩ කරද්දි මගේ ඒ හැසිරීම් දැකල කිව්වා ඔයාට හොඳ කොමඩි ඇක්ටර් කෙනෙක් වෙන්න පුළුවන්නෙ කියලා. ඔහුගේ ‘ජූලි හතයි‘ චිත්‍රපටයේ ටෝනි ගෙ චරිතය මට ලැබෙන්න ඇත්තෙ ඒ හින්ද වෙන්නැති.

ප්‍රහසනය ඔයාගෙ රංගන රටාවෙ වෙනම මානයක් නෙ. කොහොමද ඒක ඔයාට දැනෙන්නෙ?

ටෝනි කියන්නෙ සරළ ප්‍රහසනය ඉක්මවා ගිය චරිතයක්. ප්‍රහසනයේදී මූලිකම දේ තමයි කාලය. ඒක ඉතා වැදගත්. අවශ්‍ය වෙලාවටම හාස්‍යය නොදුන්නොත් පන්ච් වෙන්නෑ. මිනිස්සු හිනස්සනවා කියන එක ලේසි නෑ. චරිතය තුළ අපේ පටලවා ගැනීම් තමයි හාස්‍යය මතු කරන්නෙ.ඒ ‍වගේ හය දෙනෙක් පටලැවෙන පටලැවිල්ල තමයි ජූලි හතේ තියෙන්නෙ.

කොහොමද ගෙදර දොර ජීවිතේ. උමාලිගෙන් ලැබෙන සහාය.ඇයත් මේ දවස්වල වැඩිය දකින්න ලැබෙන්නෙ නැහැනෙ?

අපේ ජීවිතේ හොඳයි. සතුටුයි.ඇයගෙන් ලැබෙන සහාය කියල නිම කරන්න බෑ. සංගීතයට ඇය මට වඩා දක්ෂයි. සංගීතය පැත්තෙන් මට වැඩි දියුණු වෙන්නට ඇයගෙන් ලැබෙන්නෙ විශාල සහායක්. අලුත් නිර්මාණයක් ලැබුණහම වුණත් අපි සාකච්ඡා කරලා ඒවා පෝෂණය කර ගන්නවා. උමාලි ජැක්සන් අයියාගෙ ‘සී රජ‘ රූගත කිරීම් එක්ක ඉන්නවා. උමාලි රඟපාන ‘බොහීනියානුවා‘ ටෙලිනාට්‍යයත් විකාශය වෙනවා. ඇය මං තරම්ම කාර්ය බහුල වෙන්න කැමති නෑ. මගේ වැඩත් එක්ක නිතරම ගෙදර රැඳෙන්න ඉඩකඩ අඩු වුණත් විවේකයක් ලැබුණ හැටියෙ අපි කොළඹින් පිටට යන්න උත්සාහ කරනවා.

ඔය දෙන්න එකට රඟපාන චරිතයක් ළඟදි දකින්න ලැබෙන්නෙ නැද්ද?

‘මහ රජ ගැමුණු‘ චිත්‍රපටයේ අපි දෙන්නම රඟපෑවත් එක රූප රාමුවෙ ඉන්න ලැබුනෙ නෑ. ඒත් ‘තානාපතිලගෙ ගෙදර‘ චිත්‍රපටයේ අපිට එහෙම අවස්ථාවක් ලැබුණා. ඇය රඟපාන්නෙ දමිළ චරිතයක්. මම මුබාරක් කියන මුස්ලිම් තරුණයා.

ඉදිරියේදී මොනවගේ අලුත් වැඩකටයුතු වලටද සූදානම් වෙන්නෙ?

සංගීතයට වැඩි බරක් දෙන්නයි හිතාගෙන ඉන්නෙ.ඒකල ගායනයක් කරන්නත් හිතාගෙන ඉන්නවා. උමාලිත් එක්ක ගායනා කළ ගීතයක් ආදර වන්තයින්ගේ දිනයට  නිකුත් කරන්නත් ලෑස්ති වෙනවා.

මොකක්ද ඒ ගීතය?

‘මේ තරම් සෙනෙහසින් - ලංවෙලා සෑමදා

සීතලේ උනුහුමෙන් - පෙම් කළා රෑ පුරා‘

මේ ගීතය ලිව්වෙ සජිත් චතුරංග. මියුසික් කළේ රාජ් තිලයාපලම්. රූප රචනය කළේ කසුන් කාවින්ද. මැලේසියාවේ සුන්දර පසුතල වලයි මේ ගීතයේ රූපගත කිරීම් සිදු කළේ.උමාලිටත් මටත් ඒක ලොකු අත්දැකීමක්. ආදරවන්තයින්ගේ දිනයට මේ ගීතය සුන්දර සිහිවටනයක් වෙයි කියලා හිතෙනවා.

 

 

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday607
mod_vvisit_counterYesterday230
mod_vvisit_counterThis week607
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12170
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099261

Follow us on Facebook

Online Users

We have 192 guests online