03
Feb

සින්ඩ්‍රෙල්ලා හි තරුණ අත්දැකීම් අපට බොහොම සමීපයි-පුබුදු චතුරංග

ළඟදීම පුබුදුගෙ සිනමා රංගනයක් අපිට දකින්න ලැබෙනවා නේද?

ඔව්. ඉනෝකා සත්‍යාංගනී මහත්මියගෙ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටය පෙබරවාරි 5 වැනිදා තිරගත වෙනවා. මේ චිත්‍රපටයෙ යෝෂිත විදිහට රඟපාන්නෙ මම.

‘සින්ඩ්‍රෙල්ලා‘ පුබුදුගෙ කීවෙනි චිත්‍රපටයද?

තිරගත වෙච්ච චිත්‍රපට වලින් 16 වෙනි චිත්‍රපටය.

කොහොමද සින්ඩ්‍රෙල්ලා අත්දැකීම?

බොහොම සුන්දර අත්දැකීමක්. ප්‍රේක්ෂකයන්ටත් වෙනස් අත්දැකීමක් වෙයි. මම එහෙම කියන්නෙ අපි මෙතෙක් දැකපු තාරුණ්‍යයට වඩා වෙනසක් මේතුළ තියෙනවා.

වෙනසක් කියලා කියන්නෙ?

චිත්‍රපට වල අපි දැකල තියෙන්නෙ පැන්ටසිකරණය කළ තාරුණ්‍යයක්. එහෙම චරිත මමත් රඟපාලා තියෙනවා. නමුත් සින්ඩ්‍රෙල්ලා ඊට වඩා වෙනස්. මේ තරුණයො අතර සිද්ධ වෙන දේවල් අපේ ජීවිතවල සිද්ධ වෙච්ච ,සිද්ධ වෙන, සිදුවිය හැකි දේවල් කියලයි මට හිතෙන්නෙ.ධනපති හෝ නිර්ධනපංතික තාරුණ්‍යය නෙමෙයි මේ චිත්‍රපටයේ කතා කරන්නෙ. මධ්‍යමපංතික තාරුණයයේ අපිට බොහෝ ගෝචරවෙන සිද්ධියි තියෙන්නෙ.ඒ හින්ද මේ අත්දැකීම් බොහොම සමීප වෙයි.

ඔබ , අකලංක සහ ඉන්ද්‍රචාප, මේ මිත්‍ර සංධානය ගැන මොකද හිතෙන්නෙ?

මාරයි. මේ මිත්‍ර සංධානයට ඉතිහාසයක් තියෙනවා. අපේ මේ යාළුකම බොහොම පරණ යාළුකමක්. රඟපෑමෙදි අපි එකට එකතු වුණේ පළමු වතාවටයි. ඒක බොහොම සුන්දර හමුවක්. අපි සමීප විදිහට හිතන පතන උදවිය. අකලංක මට මුණගැහෙන්නෙ ඩාන්සින් ස්ටාර් එකෙන්. ඉන්ද්‍රචාප අඳුන ගන්නෙ මම ‘මචං‘ චිත්‍රපටයේ රඟපාද්දි. ඒ චිත්‍රපටයේ ඉන්ද්‍රචාපගෙ අයියා සෞම්‍යත් හිටියා. ඔහුව හමුවෙන්න ඉන්ද්‍රචාප ආව වෙලාවක මං අඳුන ගන්නවා. ක්ෂේත්‍ර තුනක හිටපු අපි තුන්දෙනා එකම ක්ෂේත්‍රයක  එකට හමුවෙන්නෙ ‘සින්ඩ්‍රෙල්ලා ‘ චිත්‍රපටයෙන්.අපි මේ තරම් යාළුවෝ කියලා ඉනෝකාවත් දැනගෙන හිටියෙ නෑ.

චිත්‍රපටය තුළ මිතුරු හමුව ඔයාට කොහොමද දැනුනෙ?

නිදහසේ සැරි සරන්න පුළුවන් වුණා. බොහොම ස්වභාවික රංග රීතියක් තියෙන්නෙ. අපි බොහෝවිට උත්සාහ කළේ රඟපෑම රඟපෑමක් නොවී ඉදිරිපත් කරන්නටයි. මම සිනමාවේදිනියකගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නෙ ප්‍රථම වතාවටයි. ඉනෝකා වැඩිම ජාත්‍යන්තර සම්මාන ගණනක් ගෙනාව අධ්‍යක්ෂවරිය.ඇයටම ආවේනික බොහොම නිදහස් රංග රීතියක් මේ චිත්‍රපටය පුරාම තියෙන්නෙ.ඒක හින්ද ප්‍රේක්ෂකයින්ට ‘සින්ඩ්‍රෙල්ලා‘ වෙනස් අත්දැකීමක් වෙයි.

රූගත කිරීම්  වලදි මොනවගේ අත්දැකීම් වලටද මුහුණ දුන්නෙ?

පටන් ගත්තෙම අමතකවෙන්නෙම නැති අත්දැකීමකින්. ප්‍රථම රූගත කිරීමට ජීප් එකකුත් යොදා ගන්න ඕනෑ වුණා. කොළඹ ඉඳල ගාල්ලෙ තිබුණු රූගත කිරීම් වලට ජීප් එක ගෙන යන්න බාර ගත්තෙ මමත් ඉන්ද්‍රචාපත්. ගාල්ලෙ ෂූටිං තිබුණත් ජීප් එකත් අරගෙන අපි මුලින්ම යන්න ඕනෑ හම්බන්තොටට. අදා‍ල දවසෙ අපි ජීප් එක අයිතිකරු හමුවෙන්න ගියා. ඒක වහලක් නැති ජීප් එකක්. බලනකොට ඒකෙ පෙට්ට්‍රල් ලීක් එකකුත්. පදවන්න ඕනැත් වමෙන්. ජීප් එක අපිට බාරදෙද්දි අයිතිකරු කිව්වෙ වංගු ගනිද්දි 30 ට වැඩියෙන් ගන්න එපා පෙරළෙනවා කියලයි. 30ට අඩුවෙන් ගියොත් දවස් දෙකක් විතර යයි හම්බන්තොටට යන්න. ඉතිං අපි ජීප් එක ඉන්ද්‍රචාපලගෙ ගෙදර දාලා ඉන්ද්‍රචාපගෙ කාර් එකේ හම්බන්තොට යන්න පිටත් වුණා. බලාගෙන යනකොට මට වගේම ඉන්ද්‍රචාපටත් තියෙන ලෙඩක් තමයි පාරවල් මතක නැති එක. කොහොම හරි අතර මඟදි  call කරල ඉන්ද්‍රචාපගෙ තාත්තාගෙනුත් පාරවල් අහගෙන ගියා කියමු. ඒ යන ගමන් වැඩි විශ්වාසෙට බස්වල නගින්න පාර අයිනෙ හිටපු මාමලා අයියලා ගෙනුත් හරි පාර ඇහුවා. ඒ ගොල්ලන්වත් කාර් එකේ දමාගෙන අපි යනවා. සමහරු බහින්න ඕනැ තැනුත් පහුවෙලා. ඉතිං කාරෙක ආපහු හරවාගෙන ඒගොල්ලන්ගේ තැන් වලින් ඒගොල්ලන්ව බස්සවලා අපි දෙන්නා හම්බන්තොටට යනකොට පාන්දර තුන විතර වෙලා. අපේ ගමනට පැය 18ක් විතර ගිහිල්ලා. පහුවදා ෂූටිං තිබුණෙ ගාල්ලේ. ඉතිං හම්බන්තොට ඉඳලා ආයෙ ගාල්ලට ආවා.

අකලංකව ප්‍රේක්ෂකයො හඳුනන්නෙ ක්‍රිකට් ක්‍රීඩකයෙක් හා නර්ථන ශිල්පියෙක් විදිහට. රංගනයේදී ඔයා ඔහුව දැක්කෙ මොන විදිහටද?

රංගන ශිල්පියෙක් විදිහට අකලංක ඉතාම උත්සාහවන්ත කෙනෙක්. මේ ඔහුගේ පළමු චිත්‍රපටය. ඔහු මෙහිදී විශාල කැපකිරීම් කළා. මං දන්න විදිහට ක්‍රිකට් වලදි වගේම ඔහු නර්නයේදීත් එහෙමයි. ඕනෑම අභියෝගයක් අභියෝගයක් විදිහට බාර අරගෙන කරන කෙනෙක් අකලංක.අනාගත සිනමාවට තවත් තරුවක් පෑව්වා කියල මට හිතෙනවා.  ක්‍රිකට් කිව්වහම මට තවත් කතාවක් මතක් වෙනවා. චිත්‍රපටයේ එක් දර්ශනයක අපි ක්‍රිකට් සෙල්ලම් කරනවා. ඒ වෙලාවෙ අපි අතරෙ ඇත්තටම තිබුණෙ තරඟයක්.අපි මේච්චර ගහනවා කිය කියා ඔට්ටු ඇල්ලුවා. ඒ වෙලාවෙ ඉන්ද්‍රචාප පළවැනි බෝලෙන්ම අකලංකව අවුට් කළා. අකලංක දාපු බෝල් වලට ඉන්ද්‍රචාප හයේ පාරවල් තුනක්ම ගැහුවා.

මේ අවුරුද්ද පුබුදු වැඩිපුරම සිනමාවත් එක්ක ගත කරන අවුරුද්දක්ද?

ඔව්. පෙබරවාරි 5 වැනිදා ‘සින්ඩ්‍රෙල්ලා‘ තිරගත වෙනවා. අප්‍රේල් මාසයේ විතර ‘ප්‍රවේගය කණ්ඩායමේ අලුත්ම චිත්‍රපටය ‘මායා‘ තිරගතවෙන්න නියමිතව තියෙනවා. ධර්මසේන පතිරාජ මහත්මයාගෙ ‘සක්කාරං‘ චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙනවා.ඊට අමතරව ‘තනි අතට යන පාර‘ (වන් වේ)  ප්‍රේක්ෂකයන්ගේ විශාල ප්‍රසාදයකට ලක්වෙලා තියෙනවා.

ගෙදර දොර ජීවිතය ගැනත් කියන්නකො?

ගෙදර දොර ජීවිතයද? ගෙදර‍ දොර ජීවිතයත් ඉතිං රපෑමම තමයි.

රංගන ජීවිතය ගැන අපි කතා කළානෙ. හංගන ජීවිතය ගැන කියන්නෙ නැද්ද?

හංගන ජීවිතයත් යථාර්තවාදීව කරගෙන යනවා.

-ධම්මිකා අක්මීමන

            

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday220
mod_vvisit_counterYesterday194
mod_vvisit_counterThis week1705
mod_vvisit_counterLast week1996
mod_vvisit_counterThis month12543
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2030612

Follow us on Facebook

Online Users

We have 81 guests online