06
Feb

කිසිම දේකට වටිනාකමක් නැති එකේ නළුවන්ට විතරක් වටිනාකමක් තියේවිද?-කමල්

කමල් අද්දරආරච්චි කියන නළුවා ආගිය අතක් නෑ... මොකද මේ වෙන්නේ?

වෙලා තියෙන්නෙද? මේ ලංකාවනේ... ඒකයි එහෙම වෙලා තියෙන්නේ.

ලංකාවේ දක්‍ෂ නළුවන්ට වටිනාකමක් නෑ කියලද ඔය කියන්නේ?
කිසිම දේකට වටිනාකමක් නැති එකේ නළුවන්ට විතරක් වටිනාකමක් තියේවිද?

කමල් හොඳටම කලකිරිලා වගේ...?

මේ කතාබහෙන් මට විතරක් නෙවෙයි සිනමාවට, රටට, යහපතක් වෙනවා නම් කොච්චර කතා කළත් ප්‍රශ්නයක් නෑ. ඒත් ඒක එහෙම වෙන්නේ නැති බව මම දන්නවා. ලංකාවේ වර්තමාන පසුබිම අලිය ගිලපු දිවුලක් වගේ. එළියට හොඳට ලස්සනට පේන්න තියෙනවා. ඒත් ඇතුළ හිස්. රටක සම්පත තමයි මිනිස්සු, ගුණවත් බුද්ධිමත් මිනිසුන්ගෙන් රටට වැඩක් තියෙනවා. මුදල් හරි හම්බ කිරීමත් හම්බ කරගත් දෙයින් මොනවා හරි කාලා ජීවත් වීම නෙවෙයි ජීවත් වීම කියන්නේ.
මිනිසුන්ගේ රසාස්වාදය බාල වෙලා. නමුත් අපේ රට කියන්නේ බෞද්ධ සංස්කෘතියක්, කෘෂිකර්මාන්තයත් එක්ක පෝෂණය වෙලා සාහිත්‍යයෙන්
දියුණුවක් දැකපු රටක්. එහෙම රටක් තමයි අද සංස්කෘතික වශයෙන් ගුණධර්මවලින් පිරිහිලා තියෙන්නේ.

එදා එහෙම වෙන්නයි අද මෙහෙම වෙන්නයි හේතුව පාලකයන්ගේ වැරැද්ද නෙවෙයිද?

ඇත්ත. දේශපාලන ව්‍යවස්ථාවලින් බෑ මිනිසුන්ගේ ගුණධර්ම සහ සදාචාරය වර්ධනය කරන්න. අපිට ඕනෑ රටට ආදරය කරන දේශප්‍රේමී මනුසත්වයන් ටිකක්. දේශපාලකයන් වගේම රටේ මිනිස්සුත් මේක තේරුම් ගන්න ඕනෑ.

කෙනෙක්ට සිතෙන්න පුළුවන් කමල්ට හිටිහැටියේ සදාචාරයයි, ගුණධර්මයි මතක් වුණේ ඇයි කියලා... කමල් නළුවෙක් විදියට දකින්න නොලැබීමයි සදාචාරයයි, ගුණධර්මයි අතර සම්බන්ධයක් නෑනේ...?

තියෙනවා. ඇයි නැත්තේ. මිනිසුන්ගේ රසාස්වාදය වැඩිදියුණු වුණොත් තමයි රංගන ශිල්පීන් විදියට අපිට වැඩ තියෙන්නේ. රසාස්වාදයත් තියෙන්න නම් සදාචාර, සංස්කෘතිය, ගුණධර්ම වැඩි දියුණු වෙන්න ඕනෑ. එහෙම නොවී රසාස්වාදයක් නැති මිනිසුන්ව පිනවන්න අපට පුළුවන්කමක් නෑනේ.
හොඳ.... රසාස්වාදයක් තියෙනවා නම් හොඳ නිර්මාණ බිහිවෙනවා. හොඳ පිටපත් ලියැවෙනවා. එතකොට මට විතරක් නෙවේ මං වගේ බොහෝ දෙනෙක්ට වැඩ තියෙනවා.

හැදෙන නිර්මාණ අතළොස්සෙවත් කමල් පේන්න නැත්තේ නිර්මාණකරුවො ආරාධනා නොකරන නිසාද, නැත්නම් ඒ වගේ නිර්මාණවල රඟපාන එක තත්ත්වයට මදිකමක් නිසාද?

කමල් අද්දරආරච්චි කියන නළුවා අවුරුදු 15, 16කින් ටෙලි නාට්‍යයක රඟපාලා නෑ. පසුගිය අවුරුදු 6, 7ට සිනමා නිර්මාණ හය හතක්වත් කරලා නෑ. වැඩ කරනවා කියලා කුලීකාරයො වගේ වැඩ කරන්නත් බෑ. කුලීකාරයෙක් වෙලා රඟපානවට වඩා නොකර නිකන් ඉන්න එක නම්බුයි.

සිනමාවෙ හැමදාම අර්බුද. පුංචි තිරයටත් දැන් ඒ වසංගතය බෝවෙලා. ආනයනික නිර්මාණ නිසා කර්මාන්තය බිඳවැටෙනවා කියලා කාලයකට පස්සේ නිර්මාණකරුවො පොලු මුගුරු අතට අරගෙන....?

එහෙම පොලු මුගුරු අතට ගන්න කලින් ඔය කෑ ගහන අය තමන්ගේම හිතට තට්ටු කරලා අහන්න ඕනෑ කරපු නිර්මාණවලින් රටටත්, රසිකයන්ටත් වැඩක් ඇති වැඩක් කළාද කියලා. කිසිම වැදගැම්මකට නැති හරසුන් නිර්මාණ කරනකොට තමන් ඒ කරන වැඩෙන්ම කර්මාන්තය කඩා වැටෙනවා කියලා ඒ අයට හිතුණා නම් අද ඔය වගේ තත්ත්වයක් උදාවෙන්නෙ නෑ.

එතකොට විදෙස් නිර්මාණ ලංකාවට ගෙන්වීම ගැන වගකියන්න ඕනෑ මාධ්‍ය නෙවෙයි නිර්මාණකරුවෝ?
ඔව්. කවුරු වුණත් කරන්නේ ව්‍යාපාරයක්. ඒ විතරක් නෙවෙයි හරසුන් බාල නිර්මාණ කරද්දී ඒ අයත් හිතන්න ඕනෑ වෙන රටවල හොඳට වියදම් කරලා නිර්මාණ කරන බව. ඒ නිර්මාණ ගෙනත් මෙහෙ පෙන්නනකොට බොරුවට කෑ ගහලා, දඟලලා වැඩක් නෑ. තමන් ඒ අයට එන්න පාර කපලා ‍ෙදාරවල් ඇරලා ආවට පස්සේ බොරුවට කෑ ගහලා වැඩක් නෑනේ.

පසුගිය කාලේ දියවන්නාවේ අසුනකට හිමිකම් කියන්න බොහොම ආසාවෙන් හිටියනේ. ඇස් පනාපිටම නොසිතූ විදියට ඒ බලාපොරොත්තුව බිඳ නොවැටුණා නම් ඔය කියන කාරණය ගැන කමල්ට හඬක් නඟන්න තිබුණා...?

නෑ... වැඩක් නෑ... ඒක එහෙම සිදුවුණු එක ගැන මට සතුටුයි.

නරියා මිදි තිත්තයි කිව්වා වගේද? නැත්නම් වර්තමානයේ රට යන අත ගැන කමල්ටත් කලකිරිල?

වැඩක් නෑ කිව්වේ පාර්ලිමේන්තු ගියත් මට කරන්න දෙයක් නැති නිසා. ගිය අය වගේ මට කතා කරන්නත් බෑ. මං කිව්වත් දෙයක් අහන එකකුත් නෑ. වර්තමාන පාර්ලිමේන්තුව හරියට වෙළෙඳපොළක් වගේ. තමන්ගේ බඩුව විකුණන්න පොරකන මුදලාලිලා වගේ. විනය උපරිමයෙන් පිරිහිලා. කොහොමද එහෙම පසුබිමක අපේ හඬකට කන් දෙනේනේ.

ඒ නිසාද දන්නා දේ කරගෙන පැත්තකට වෙන්න හිතුවේ...?

ඔව්... එහෙම හොඳයි කියලා හිතෙනවා.

ඒත් ගිලෙන නැවක් බේරගන්න යාන්තමින් හරි උත්සාහයක් ගන්න තියෙද්දී අත බැඳගෙන පැත්තකට වෙන එක සාධාරණ නෑ නේද?
උත්සාහයක් නොකරන්නෙමත් නෑ. සිනමාව, කලාව වෙනුවෙන්වත් මොනව හරි කරන්න ඕනෑ.

කට්ටියට පේන්නත් එක්ක කමල් නිෂ්පාදනයට හරි අධ්‍යක්‍ෂණයට හරි අතගහන්නද හදන්නේ...?

අපෝ නෑ... මේ වෙලාවේ කරනවා නම් ඒ තරම් මෝඩ වැඩක් තවත් නෑ. කර්මාන්තයම වෙනුවෙන් යමක් කරන්න ඕනෑ. ඒකට මේ දවස්වල පිඹුරුපත් හදනවා.
තනියමද? නැත්නම් රජයේ උදවු උපකාර ඇතිවද?

රජයේ උදවු උපකාර එක්ක තමයි එහෙම නැතිව තනියම කරන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ.

අවංකව කතා කරමු කමල් යහපාලනය ගැන කලකිරිලද?
නෑ.. ආණ්ඩුව මාරු වුණා කියලා හැමදේම ආණ්ඩුව කරනකන් බලන් ඉන්න බෑ. පුරවැසියෝ විදියට අපිටත් යුතුකම් තියෙනවා. ඒ යුතුකම මට පුළුවන් විදියට කරනවා.

ටින් මාළු ව්‍යාපාරය සාර්ථකයිද?

ව්‍යාපාරයක් විදියට සාර්ථකයි. ධීවර කර්මාන්තයේ දියුණුවට මටත් දායක වෙන්න හැකිවීම ගැන සතුටුයි. ඒත් මේක මම මහා සතුටකින් ආත්ම තෘප්තියකින් කරන දෙයක් නෙවෙයි. ඒත් රඟපාන්න බෑ කියලා හැට් කලෙක්ෂන් එකකට ගිහින් දරු පවුල නඩත්තු කරන්න බෑනේ. අනෙක් එක මම හම්බ කළේ රඟපෑමෙන් නෙවෙයි. රඟපෑම නැති නිසා මේ දවස්වල කමල් කියන ව්‍යාපාරිකයට වැඩි තැනක් හිමිවෙලා තියෙනවා.

ඇත්තටම දැන් කමල්ගේ රඟපෑම ඉවරද...?
පසුගිය කාලේ රඟපෑම ඉවරයි කියලා වේදිකා නාට්‍යයක රඟපාලම රඟපෑම ඉවර කළා. යහපාලන ආණ්ඩුවත් එක්ක රඟපෑම ඇරැඹුණා කියලා කියන්න පුළුවන් වෙයිද කියලා බලමු.

ගාණ බස්සලා නම්‍යශීලී වුණොත් වැඩ නැති වෙන එකක්ම නෑ...?

ඉතාමත් උසස් නිර්මාණයකදී ඇත්තටම මුදල් ඉස්සර කරගන්නේ නෑ. ඒත් කුලීකරුවෙක් වෙන්නෙත් නෑ. දවසේ පඩියට වැඩ කරන කුලීකාරයෝ වගේ නළු නිළියන්ට වඩා මගේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ ගෞරවාන්විත විදියට වැටුප් ගන්නවා. ඒ වගේම කීය දෙනවා කිව්වත් මටත් වැඩක් නැති ප්‍රේක්‍ෂකයන්ටත් වැඩක් නැති නිර්මාණයක රඟපාන්නේ නෑ. රඟනොපා ඉන්න එක ඊට වඩා නම්බුයි.

හිමේෂා සවන්ති රාජපක්‍ෂ

(හදගැස්ම)
    Share

    THUNDENEK - HER. HIM. THE OTHER

    Find us on Facebook

    mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
    mod_vvisit_counterToday120
    mod_vvisit_counterYesterday334
    mod_vvisit_counterThis week953
    mod_vvisit_counterLast week3649
    mod_vvisit_counterThis month8357
    mod_vvisit_counterLast month11185
    mod_vvisit_counterAll days1991146

    Follow us on Facebook

    Online Users

    We have 15 guests online