26
Feb

ප්‍රේමය පිළිබඳ මගේ හැඟීම් කියා ගන්න හැකිවුණේ වික්ටර්ගේ හඩින්-මහාචාර්ය සුනිල් ආරියරත්න

වික්ටර් රත්නායක ගැයූ ගී අතරින් ප්‍රේමය අරබයා ගැයූ ගීත සුවිශේෂයි.  වික්ටර් රත්නායකට ලියු ඒ ප්‍රේම ගීත  අතරින් මහාචාර්ය සුනිල් ආරියරත්න ලියු ගී සුවිශේෂය.

ඔබ හිතන විදහට වික්ටර් රත්නායකයන් කොහොමද අපේ රටේ අනෙකුත් ගායකයන්ගෙන් වෙනස් වෙන්නෙ?

වික්ටර් ක්ෂේත්‍රයට පිවිසෙන්නෙ අපේ සංගීත ක්ෂේත්‍රය අලුත් හඬක් ප්‍රාර්ථනා කරමින් සිටින යුගයක. ඒක  එච්.ආර්.ජෝතිපාල සහ මිල්ටන් පෙරේරා අතිශය ජනප්‍රියත්වයට පත්වෙච්ච යුගයක්. ඇත්තටම ඒක  ජෝති - මිල්ටන් යුගය හැටියට හැඳින්වූවොත් නිවැරදියි. දශකක ගණනාවක් තිස්සේ ජෝති - මිල්ටන් හඬ ඇසූ රසිකයන් අලුත් හඬක් සොයමින් සිටි යුගයකයි  වික්ටර්ගෙ හඬ බිහිවෙන්නෙ ..

දේවානන්ද වෛද්‍යෙසේකර, නාරද දිසාසේකර වගේ ගායකයොත් හිටියා තමයි. ඒත් වික්ටර් සුවිශේෂත්වයක් වෙනවා.

 මොකක්ද ඒ සුවිශේෂත්වය?

වික්ටර්ට තියෙන්නෙ ආදරණීය - ප්‍රේමණීය හඬක්. නිවැරදි වචන උච්ඡාරණය, නිවැරදි ස්වර උච්ඡාරණය, නිවැරදි තාල භාවිතය වගේම ඔහුටම ආවේනික වූ තනු හා සංගීත සංයෝජන රටාවක් වික්ටර්ට තියෙනවා. ඒක තමයි වෙනස.

ඔහු ගීත ක්ෂේත්‍රයට ආවට පස්සෙ මොනවගේ වෙනසක් ද ඇති වුණේ?

ඒකාලෙ තිබුණු එකම මාධ්‍ය ගුවන්විදුලිය. හැමදාමත් ජෝති - මිල්ටන්ගෙ ගීත ඇහුණා. ඒ ගීත වලින් සියයට අනූවක් විතර අසා පුරුදු හින්දි ගීත අනුකාරක ඒවා.. වික්ටර්ගේ හඬ කිසිකෙනෙකුට අල්පමාත්‍ර බවකින්වත් අනුකාරක බවක්  පෙනුනෙ නෑ. වික්ටර් මුල්ම ගීයේ ඉඳල ආවෙ තමන්ගේම හඬක් අරගෙන. ඔහු සියයට සීයක් නැවුම්. වික්ටර් සහ සනත් නන්දසිරි මේ දෙදෙනාගේ ස්වතන්ත්‍ර ගීත ජනප්‍රියවීම නිසා එදා ජෝති - මිල්ටන් දෙදෙනාත් ස්වතන්ත්‍ර නිර්මාණ කෙරෙහි පෙළඹෙව්වා කියල මට හිතනවා.

ඔබ අතින් වික්ටර් රත්නායකයන්ට කොපමණ ප්‍රේම ගීත ලියැවිලා තියෙනවාද?

සංඛ්‍යාත්මකව නම් විශාල ප්‍රමාණයක් නැහැ. මම ඒ ගැන හිතල බලල නෑ.

ඔහු වෙනුවෙන් ඔබ ලියූ ගීත අතරින් ඔබ වඩාත්ම කැමති ගීතය මොකක්ද ?

‘දෛවයෝගයකින්‘ ගීතයට මම කැමතියි.

ඇයි මේ කැමැත්ත?

වචන වලින් ඉල්ලා සිටින දේ තනුව සහ ගායනයෙන් අප්‍රමාණව මේ ගීතයට ලැබිලා තියෙනවා. වික්ටර්ගේ හඬින් ගීතාර්ථය මෝහණීය බවට පත්වෙලා තියෙනවා. පරිපූර්ණ ගීතයක්. ඒකයි කැමැත්ත.

මේ ගීතය පෞද්ගලිකව ඔබගේ ජීවිතය එක්ක බැඳිච්ච අත්දැකීමක් නේද?

ඔව්. පෞද්ගලිකයි. මේ ගීතය මං මගේ ජීවිතයේ විඳපු අත්දැකීම් යම් ප්‍රමාණයක් තමයි. ගීත වලට මාතෘකා මං ඕනෑ තරම් යොදලා තියෙනවා. ඒත් ‘අරුන්දතී‘ කියන මගේ ගීත පොතේ තියෙන මේ ගීතයට මාතෘකාව යොදලා තියෙන්නේ ඉලක්කම් වලින්.

මොකක්ද ඒ ඉලක්කම් මාතෘකාව?

1970.09.25.  දෛවයෝගයකින් ගීතය ඉපදුනේ එදා.

මුලින්ම ලියැවුනේ මොන පද පේලි ටිකද?

‘දෛවයෝගයකින් නොවේදෝ හමුවුණේ ඔබ හමුවුණේ. කියන පද ටික.

ප්‍රථම ප්‍රේමය ගැන?

ඔව්. ප්‍රථම ප්‍රේමය ගීත රාශියක තියෙනවා.මෙතෙන්දි කියන්නෙ වෙනත් ආකාරයකින්. ‘ඇදුරුතුමියයි ප්‍රේමයේ ඔබ ... ඇදුරුතුමියයි යෞවනේ....‘ වචන වලින් කියැවෙන්නෙ ප්‍රේමය ඉගෙන ගත්තෙ ඇයගෙන්. යෞවනය ඇරඹෙන්නෙත් ඇයගෙන් කියන එක.

ඔබ කැමති මේ ගීතය, පටිගත වුණුච දවස මතකද?

මේ ගීතය වික්ටර් ගායනා කළේ ගුවන්විදුලියේ සරල ගී වැඩසටහනකට. තනුව නිර්මාණය වෙද්දී සජීවීව මට ඒ අත්දැකීම විඳින්න ලැබුණා.වික්ටර් විශිෂ්ට ශ්‍රේණියේ සරල ගී ගායකයෙක්. ඒකාලෙ වික්ටර්ගෙ සරල ගී වැඩ සටහනක් පටිගත කිරීම ගුවන් විදුලියේ විශේෂ සිද්ධියක්.  පටිගත කිරීම් දවසෙදි නිවේදක නිවේදිකාවො , නිෂ්පාදකවරු ගුවන් විදුලියේ බොහෝ දෙනා පටිගත කිරීම් මැදිරියේ පිරෙනවා. ගුවන් විදුලි වාදක මණ්ඩලයට අමතරව වික්ටර් විශාල වාද්‍ය වෘන්දයක් පිටතින් ගෙනෙනවා. ඒක විශේෂ අත්දැකීමක්. මේ බොහෝ ගීත තැටි කපන්නත් කලින් පහුවදා උදේම පටියෙන් විකාශය කරනවා. අපි තමයි මුලින්ම ප්‍රචාරය කළේ කියල කියන්න ඒතරමට උනන්දුවක් තිබුණා.

එදා සජීවීව ලබපු ආශ්වාදය අදටත් එහෙම්මමද?

ප්‍රථම වරට අහනකොට තමයි ආශ්වාදය ලැබුවේ. රස විඳින්නෙ එකතොටයි.  කිසිම ගීතයක් මම නැවත නැවත අහන්න කැමැත්තක් නෑ. මට වුණු වාසිය වික්ටර්ගේ හඬින්අහන්න ලැබීම.  මට මගේ අදහස් ,හැඟීම් ගීත වලින් කියාගන්න ලැබුණෙ වික්ටර්ගේ හඬින්. ස්ත්‍රී හැඟීම් නන්දා ගේ කටහඬින්. ඒක භාග්‍යයක්.

ඔබ ලියූ වික්ටර් රත්නායකයන් ගයන වඩාත් ජනප්‍රිය වුණු වෙනත් ප්‍රේම ගීත මොනවාද?

තොටුපල අයිනේ, පොඩි කුමාරි හාමිනේ ඇතුළු සියළුම ගී ජනප්‍රිය වුණා. ගුවන් විදුලි වැඩසටහනකට ගීත හයක් කළොත් ඒ ගී හයම ඉතා ජනප්‍රිය වුණා.

අද වෙනකොට ඔබට ඔහු ගැන මොකද හිතෙන්නෙ?

මේ රටේ සංගීත ක්ෂේත්‍රෙයේ වරින්වර බො‍හෝ වානිජ රැළි ඇතිවුණා. ඉතාම සම්භාව්‍ය ගායකයෝ පවා තමන්ගෙ ගීත රැප් කරලා විනාශ කරගත්තා. නව සංගීතය යොදන්න ගිහිල්ල හානි කරගත්තා. ඒත් ඒ කිසිම රැල්ලකට නොනැමී ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී සිටි ගායකයෙක් තමයි වික්ටර්. ගායනයේදී වගේම සංගීතය සම්බන්ධයෙනුත් ඔහු ඒ රැළි වලට ගසාගෙන නොගිය තැනැත්තෙක්. අදත් ඔහු එදා වගේම ජනප්‍රියත්වය රඳවාගෙන සිටිනවා. ඒ නිසා ඔහු ගෘහස්ථ සංගීත ප්‍රසංගවල අදත් ප්‍රමුඛ ගායකයෙක්.

  

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday128
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week961
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8365
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991154

Follow us on Facebook

Online Users

We have 23 guests online