10
Mar

රැලිවලට මං අහුවෙලා නෑ -ශෂිකා නිසංසලා

මේ දවස්වල ‘ආදරෙයි‘ ‘ඇස් දෙකයි‘ ඔක්කොම පටලවාගෙන නේද?

‘ඇස්‘ නිසා වැඩියෙන් ජනප්‍රිය වුණා කියලා දැනෙනවා. ‘ඇස් පිය නොහෙලා බැලුවා‘ ගීතයේ මුල වෙන්නේ ‘ඔබ මා හමුවුනදා‘ ප්‍රියන්ත මාවලගේ පද මාලාවක් රිපීට් කරන එක ඔහු ළඟ තියෙන අනන්‍යතාවයක්. විරහ ගීත පෝළිම අතරේ ‘ඇස්පිය නොහෙලා‘ ගීතය නැවුම් කමක් තිබුණා. මගේ රසික පිරිස වැඩි වුණා. ගීතය ගායනා කරලා අවුරුද්දක් වුණත් ජනප්‍රියත්වය තවමත් එහෙම්මමයි.

මම හිතවා මම එය හැඟීම්බරව ගායනා කළා කියලා. ඒ ගීතයේ රූප රචනයත් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා. ඒ වීඩියෝ එක ළහිරු මුදලිගේ කළේ. අනුජ් රණසිංහගෙ නිරූපණයත් ඒ ජනප්‍රියත්වයට හේතුවක් වුණා. බලද්දි හරි සරළ දෙයක් තියෙන‍්නේ. ඒකට මම කැමතියි.

එතකොට ‘ඇස්දෙක පුරා‘ ගීතය ගැන ඇතිවෙන කතාබහ ගැන මාකද කියන්නේ?

තිළිණ රුහුණගේ සංගීතවත් කළ ‘ඇස් දෙක පුරා‘ ගීතය ජනප්‍රියත්වයට පත් වුණා. බංග්ලාදේශ ගීතය කොපි කළා කිව්වත් මම අලුත් ගීතයක් හැටියට එය ගායනා කළේ. මම ඒ ගීතයේ විස්තර දැන ගත්තේ පස්සෙ. ඔහු හොඳ නිර්මාණ කළ කෙනෙක්. ජගත් වික්‍රමසිංහටත් ඔහු නිර්මාණ කරලා තියෙනවා. තනුවෙ යම් යම් කොටස් කොපි කර තිබෙන බව කිව්වත් මම මුල් ගීතය අහලා නෑ. ඔහු එය ප්‍රතිනිර්මාණයක් බව කිව්වෙ නැහැ. කොහොමත් ඒක තනු නිර්මාපකයා අතේ තියෙන්නේ . මම ඒ ගැන දැනගෙන හිටියේ නැහැ. මම අවුරුද්දකට එක ගීතයයි ගායනා කරන්නේ. ඒ ගායනා කිරීමේදිත් තෝරාබේරා ගැනීමක් සිද්ධ වෙනවා.

වැඩිපුරම ගීත ගායනා කරලා තියෙන්නේ මොනවාටද?

මට ටෙලි නාට්‍ය ලැබෙනවා වැඩියි. මාව රසිකයෝ හඳුනාගත්තේ ‘තුරුණු ශක්ති‘ තුළින්. එවිට රෝහණ වීරසිංහ, නවරත්න ගමගේ වැනි සංගීතවේදීන් සමග  සම්බන්ධ වී කටයුතු කරන්න ලැබුණා. ඔවුන් නිසා තමයි මට වැඩිපුර ටෙලි නාට්‍ය ලැබුණේ. කේමදාස මාස්ටර් සංගීතවත් කළ ‘සෙදෝනා‘ ටෙලි නාට්‍යයට සම්මානයක් ලැබුණා. මේ වන විට හොඳම ගායිකාක් හැටියට සම්මාන දහයක් ලැබී තියෙනවා.

සාමාන්‍ය සරල ගීයයි පසුබිම් ගායනයයි අතරෙ වෙනස දකින්නෙ කොහොමද?

මට හොඳ නිර්මාණ වලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබී තියෙනවා. සාමාන්‍ය සරල ගීතයකට එහා ගිය දෙයක් ටෙලි නාට්‍ය හා චිත්‍රපටවලදි තියෙනවා. ඒ අදාළ පරිසරයට අනුකූලව හා අදාල චරිතයේ හැඟීමට අනුව ගත්තම සරල ගීයට වඩා යමක් කරන්න තියෙනවා කියලා දැනෙනවා. ඒව තුළ වචනවලට පණක් දෙන්න පුළුවන්.

ඔබ පදමාලාව ගැනත් හිතනවාද?

ගෙදර අයත් එක්ක එකතුවෙලා ගීත තෝරා ගන්නවා. ගිත රචකයා අපි මතක කරන්න හොඳ නෑ. ඔවුන් නැත්නම් අපිට ගීත නැහැනෙ ගායනා කරන්න. මගේ එකවර ජනප්‍රිය වුණු ගීත තුනක් මේ වෙලාවෙ මතකයට එනවා. වසන්ත රචනා කළ ජයසිරි අමරසේකර සංගීතවත් කළ ‘පාරමිතා නොපුරමු ගීතය, හේමසිරි හල්පිට රචනා කළ සංගීත් විජේසූරිය සංගීතවත් කළ ‘සඳ රෑට රෑට‘ ගීතය. රත්න ශ්‍රී විජේසිංහ රචනා කළ රෝහණ වීරසිංහ සංගීතවත් කළ ‘තොල් පෙති විතරක් ‘ ගීතය. අපි වැඩසටහනකට සහභාගි වෙද්දිත් පද රචකයා , සංගීතඥයා ගැන සිහිපත් කිරීම යුතුකමක් කියලා මට හිතෙනවා.

සංගීත ක්ෂේත්‍රයට කාලෙන් කාලෙට එන රැලි ගැන මොනවගේ අදහසක් ද තියෙන්නේ?

‘රැලි‘ කියන ඒවා කොහොමටත් එනවා යනවා. දැන් මල් රැල්ල ගියානෙ. මම නම් රැලිවලට අහුවෙලා නැහැ. විවිධ රසික පිරිස් වෙනුවෙන් මම ගීත ගායනා කරලා තියෙනවා. මොකද ජනප්‍රිය රැල්ලේ ගීත ගායනා කරන එක පහසු දෙයක් නෙමේ. දැන් සංගීත ක්ෂේත්‍රෙය් පිරිස වැඩියිනෙ.

ගීත වලට රූප රචනා එකතු කිරීම ගැන මොකද කියන්නේ?

ගීතයට හානියක් නොවන රූප රචනාවලට මම කරමතියි. ඒකෙන් ගීතයට සාධාරණයක් වගේම ජනප්‍රියත්වයක් එනවා. ගීතයේ රසයත් වැඩි කරන්න පුළුවන්. අපේ රටේ ආර්ථිකයත් එක්ක කරන්න පුළුවන් මට්ටමක් තියෙනවා. ලක්ෂ තුනකට වැඩි මුදලක් යනවා රූප රචනයක් වෙනුවෙන්.

ඔබේ අතීත ගමන ගැන සිහිපත් කළොත් මොනවද දැන් හිතෙන්නේ?

‘තුරුණු ශක්ති‘ සංගීත චාරිකාව තමයි මාව මෙතනට ගෙනාවේ. එහි විනිශ්චය මණ්ඩලය ලෙස කටයුතු කළේ වික්ටර් රත්නායක, නන්දා මාලිනී, රෝහණ වීරසිංහ වැනි ප්‍රවීණයන්. ඒ ජයග්‍රාහී දිනය මට අමතක වෙන්නේ නැහැ. 1999 අවුරුද්දේ ඔවුන් මගේ හැකියාවන් නිවැරදිව තේරුම් ගත් නිසා තමයි අද මම මෙතැන ඉන්නේ.

ආදර ගීත ගයන ඔබ ආදරය දකින්නේ කොහොමද?

ආදරය කියන දෙය අපේ ජීවිත කාලය පුරාවටම තියෙනවා නම් හෙඳයි. විරහවත් එක්තරා රසයක් තමයි. ආදරය හැමෝටම අවශ්‍යයි. ජීවිතයට බලාපොරොත්තු එක් කරන්නෙ ආදරය. අපේ ආදරය බලාපොරොත්තුවෙනුත් කොටසක් ඉනනවා. අපි ඒ අයට ආදරය දෙන්න ඕනෑ. අපි මේ සසර ගමන යන්නේ ඒ නිසා කියලා මට හිතෙනවා. තවත් ආදරණීය ගීයකින් ඔබ හමුවෙන්න මම බලා සිටිනවා. 

-ෂෙරීන් පීරිස්        

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday175
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week1008
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8412
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991201

Follow us on Facebook

Online Users

We have 69 guests online