26
Mar

අලුත් විවාහය හරිම නැවුම්-උපේක්ෂා

Written by Administrator on 26 March 2016.

උපේක්‍ෂා අලුත් ජීවිතයක් පටන්ගත්තා.
ඒ වෙනස දැනෙන්නේ කොහොමද?
ඒක ලොකු වෙනසක්. මේක මගේ දෙවැනි විවාහය වුණාට පුදුම නැවුම් බවක් දැනෙන්නේ. ඒ ගැන ලොකු සතුටකින් ඉන්නේ.


දුර ගමනක් යන්න ජීවිතයට එකතු වුණ සහකාරයා ගැන දැන්වත් කියමු නේද?
එයා සමන්ත පෙරේරා. ව්‍යාපාරිකයෙක්. මගේ පළමුවැනි විවාහය ප්‍රේම සම්බන්ධයක් මත වුණේ. හැබැයි මේ විවාහය යෝජිත විවාහයක්.

ඒ දැන හඳුනාගැනීම වුණේ කොහොමද?

2011 ඉඳන් අපි හඳුනනවා. එයා මගේ දේශපාලන කටයුතුවලට උදවු කළා. එයාගේ හිතේ මං ගැන අදහසක් තියෙනවා කියලා මට තේරුණා. එයාගේ යෝජනාවට මම කැමැත්ත දුන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් 3 වැනිදා. පවුලේ අයගේ ආශීර්වාදය අරගෙන තමයි ආදර සම්බන්ධය පටන්ගත්තේ.

* මේ සැරේ විවාහය ගැන තීරණය ගනිද්දි ගොඩක් සැලකිලිමත් වෙන්න ඇති නේද?
මම කලින් විවාහයෙන් අයින් වුණේ 2011දි. ජීවිතේ අමුතු අමුතු සන්ධිස්ථානවලට මම මුහුණදුන්නා. සිද්ධවුණ දේවල් එක්ක ඇත්තටම ආදර සම්බන්ධයක් ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බේ නැහැ. හැබැයි මට හොඳ පවුල් ජීවිතයක් ගතකරන්න බලාපොරොත්තුවක් තිබ්බා. මම ඒක සමන්තට කිව්වා. අපි පවුලේ ආශීර්වාදයත් අරන් කේන්දරත් ගළපලා මේ තීරණය ගත්තේ. ගරුත්වය, විශ්වාසය, කැපවීම, වගකීම් දැරීම කියන කාරණා එක්ක ආදරය ඉබේම ඇතිවෙනවා. කොච්චර ආදරය තිබ්බත් ගරුත්වය, විශ්වාසය නැත්නම් ආදරය ඉවරෙටම ඉවරයි.


හැලහැප්පීම් එක්ක ජීවිතය ගැන ලොකු අවබෝධයක් අරගෙන වගේ?
ඔව්. පසුගිය සිදුවීම් එක්ක මගේ ජීවිතය පුදුමාකාර පීඩනයකට, නාස්තියකට පත්වුණා. මගේ ජීවිතය මට හරි බැරෑරුම්. විවාහ වෙලා වෙච්ච දේවල් එක්ක මම ගොඩක් ඇදවැටුණා. හැබැයි මට ඒ දේවල්වලින් ලොකු පන්නරයක් ලැබුණා. එදාට වඩා අද මම ශක්තිමත්. අවබෝධය වැඩිකම එක්ක මම සිහියෙන් ඉන්නවා වැඩියි. මම ඉස්සර හරිම නම්‍යශීලියි. අනිත් අය කියන දේවල්වලට ගොඩක් නම්‍යශීලී වුණා. හැබැයි අද මම උපේක්‍ෂා ස්වර්ණමාලි කියන දේ හරි කියලා හිතන තැනක ඉන්නවා. මට මගේ වටිනාකම පැහැදිලිව තේරුණේ මේ සිදුවීම්වලින් පස්සේ. මම එදාට වඩා අද වගකීමෙන් වැඩ කරනවා.

ගිනිපෙනෙල්ලෙන් බැටකාපු නිසා උපේක්‍ෂා කණාමැදිරි එළියටත් බයයි වගේ?

දැන් කණාමැදිරි එළියටත් බය වෙන එක හොඳයි. අපි කොච්චර ශක්තිමත් වුණත් මේ කුරිරු සමාජයේ ජීවත් වෙද්දි එහෙම ජීවත් වෙන එක හොඳයි.
ජනවාරි මාසේ විවාහ වෙන්න හිටියත් විවාහය කල්ගියානේ. ගොඩක් අය හිතුවේ උපේක්ෂාට මෙදා සැරෙත් වැරැදුණා කියලා. එහෙම කටකතා යද්දි මොකද හිතුණේ?
ඇත්තටම එහෙම කසුකුසුවක් ක්‍ෂේත්‍රයේත් තිබ්බා. ඒක හරි විහිළුවක්. අම්මා අසනීප වුණ නිසා විවාහය කල් දැම්මේ. ඇත්ත තත්ත්වය මගේ ළඟ ඉන්න අය දැනගෙන හිටියා. සමාජ ආකල්ප ගැන මට අදාළ වුණේ නැහැ. මම කාටවත් කන්න දෙන්නෙත් නෑ. මට කවුරුවත් කන්න දෙන්නෙත් නෑ. ඒ නිසා මට දෙයක් වුණාම කාටවත් මොකද. මට බොහෝ අය ආදරය කරන එක සතුටුයි. හැබැයි ඊට එහා ගිහින් ජනප්‍රිය අයගේ ජීවිතවල ප්‍රශ්න අනිත් අය සමීප කරගන්න අවශ්‍ය නැහැ.

උපේක්‍ෂාට ඕන තරම් තරුණයෝ මුණගැහිලා ඇති. ඒත් සමන්තව ඉදිරි ජීවිතය වෙනුවෙන් තෝරාගන්න
විශේෂත්වයක් තියෙන්න ඇති නේද?


සමන්තට කැමැති වෙද්දි මූලිකව බැලුවේ අම්මගේ කැමැත්ත. අම්මා කැමැත්ත දුන්න වෙලාවේ මම පුදුම වුණා. අපි අතරේ ගොඩක් සමානකම් තියෙනවා. අපි එකම ආගමේ. ඒ වගේම සමන්ත මට වඩා අවුරුදු නවයක් වැඩිමල්. ඒක මට වටිනවා. මොකද මම ගොඩක් පිරිමි අය එක්ක ගනුදෙනු කරන කෙනෙක්. ඒ නිසා පරිණත බුද්ධිමත් කෙනෙක් ජීවිතයට අවශ්‍ය වුණා. එයා මට උදවු කරනවා. ඒ වගේම මම උස අයටත් ආසයි.

සමන්ත ව්‍යාපාරිකයෙක්. ඒ වැඩවලට උපේක්‍ෂත් සම්බන්ධ වෙනවද?
මටත් ව්‍යාපාරයකට යොමුවෙන්න අදහසක් තියෙනවා. එතැනදි සමන්ත මට ලොකු ශක්තියක් වෙනවා. මටත් එයාට ශක්තියක් වෙන්න පුළුවන්.

දැන් දේශපාලනය එපා වෙලාද?

දේශපාලනය එපා වෙලා නැහැ. මම දේශපාලනයට ආවට මට ඒ ගැන දැනුමක් පසුබිමක් තිබ්බේ නැහැ. හැබැයි මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරියක් විදියට ඉඳලා ප්‍රායෝගික අත්දැකීම් ගත්තා. කොහොම වුණත් මම ආයෙම දේශපාලනයට එනවා නම් එන්නේ අවුරුදු 55ක් 65ක් විතර වුණාම. එතකොට මම තව අත්දැකීම් එකතු කරගෙන තියේවි.

උපේක්‍ෂා කලා කටයුතුවලට සම්බන්ධ වෙනවට සමන්ත කැමැතිද?

ඔව්. එයා මට ඒ වෙනුවෙන් උපරිම සහාය දෙනවා. මගේ නිදහස මට දෙනවා. කලාවෙන් නම් මැරෙනකල් අයින් වෙන්නේ නෑ.
පුංචි පැටියෙක් ගැන දැන්මම හීන දකින්නේ නැද්ද?

ඒ බලාපොරොත්තු ඉක්මනින්ම ඉෂ්ට කරගන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කරගන්න අපිට ආශීර්වාද කරන්න කියලා ඉල්ලනවා. රටට හොඳ පුරවැසියෝ දෙන්නෙක් බිහිකරන්න බලාපොරොත්තුවක් තියෙනවා.

-තිලිණි කෞෂල්‍යා 

(hadagasma)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday180
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week1013
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8417
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991206

Follow us on Facebook

Online Users

We have 74 guests online