10
Nov

වීණාව දුකින් ඉකිබිඳියි

”ඔබගෙ සියුමැලි ඇ`ගිලි
තත්වලින් මැදෙන විට
වීණාව
ඒ දුකින් ඉකි බිඳියි” (හෙට ඉරක් පායයි, මහගම සේකර, 2012, 5 වන මුද්‍රණය, ගොඩගේ, 40 පිට)
මහගම සෙකරයෝ හෙට ඉරක් පායයි කෘතියෙහි ගාන්ධර්වයෙකු ගැන මෙසේ සඳහන් කළහ. ඔහු සතුව ඇති අගනා වස්තුව වීණාවයි. ඔහුගේ සියුමැලි ඇගිලි තුඩුවලින් තත් පිරිමදිනවා නොව තත්වලින් ඇගිලි තුඩු පිරිමදින්නේය. එවිට මතුවන්නේ වීණාව ඉකි බිඳිනා බඳු සියුම් වූ නාදයකි.

එය ශ‍්‍රැතිපේශලත්ව ගුණයෙන්ම යුක්ත වන්නේය. තද් කවිය හැඳින්වීමට ඔහු නම් තබන්නේ ”අමරදේවට” යන අභිධානයයි. එනම් ඒ ගාන්ධර්වයෝ අන්කවරෙකු නොව පණ්ඩිත් අමරදේවයෝය. ඔහුගේ වෙණ නද (වයලීනය) හා සුගායනයෙහි ඇති මිහිරි බව සහෘදයාගේ සංවේදී ඉන්ද්‍රියයන් පවා හිරිවැට්ටීමට සමත් වන්නේය. අමරදේවයෝ තමා සතු වූ රන් ස්වරය සතතාභ්‍යාසයෙන් ඔප් නන්වා සත්බුමු පියුමක් සේ සුපුෂ්පිත වූවාහ. මේ ලිපිය දිගහැරෙන්නේ අමරදේවයන්ගේ සුගායනීය හැකියාව හඳුනා ගැනීමට හෝ ඔහුගේ ගීත පිළිබඳව විවරණයක් කිරීමට හෝ නොවේ. මේ වෙන විටත් ඒ සඳහා ප‍්‍රමාණවත් පමණට ලිපි දලූ ලමින් තිබේ.

අමරදේව යන නියමු හැගවුම්කාරකය ඔහුගේ ගීත සමග බැඳී පවතින ආකාරයත් ලාංකීය සමාජය තුළ ස්ථාපනය වීමත් මෙහි දී විමසනු වටී. අමරදේව යන වරපත ඔහු ඓතිහාසිකවම උරුම කරගන්නේ හුදෙක් සරච්චන්ද්‍රයන් විසින් ලබා දුන් නිසාම නොවේ. අමරදේව යන රූපාකාරය ගොඩනගන්නේ සමාජය විසින්මය. ඔහු ඒ සඳහා නේකවිධ කැප කිරීම් කළේය. ආනන්ද සමරකෝන්, සුනිල් ශාන්ත වැනි සිංහල සංගීතය පෝෂණය කළ පූර්වයන්ගේ කඩතොලූ මකා, අලූත් දේ ඇතුළත් කරමින් සිංහල සංගීතයට නව පණක් ලබා දුනි. එනම් අමරදේවයෝ සුභාවිත ගීත ක්ෂේත‍්‍රයේ සිය අධිකාරිය පවත්වාගෙන ගියේ එතෙක් කල් නොවූ විරූ ලෙසටය. දශක ගණනක් පුරාවට තත් අවකාශයට කළ මෙහෙය නිසා ගාන්ධර්වයෝ යන හැගවුම ලබා දෙන්නේ නිරායාසයෙනි. ඔහු භාෂාවේ පවත්නා ජෛව ගුණය නොනැසෙන සේ පවත්වාගෙන විචිත‍්‍රවත් සංගීතයක් මුසු කොට රසිකයා වෙත ගීතය සම්පාදනය කරයි. ඒ තුළින් ඔහු විදග්ධ භාවයේ උත්කෘෂ්ටතම හැගවුම්කාරය හිමි කර නොගන්නේ ද? අමරදේවයන්ගේ කුඩා කල හා සංගීත ජීවිතය ගෙවුණ ආකාරය අපි කොතෙකුත් අසා ඇත්තෙමු. වරක් එක් ප‍්‍රසංගයක දී අමරදේවයන් ප‍්‍රකාශ කරන්නේ ”මගේ ප‍්‍රථම පේ‍්‍රමය වයලීනය” යි යනුවෙනි. විමලා අමරදේවයෝ ද එය ම සනාත කරති. පියාගේ ආභාසය නිසා ඔහු කුඩා කාලයේ දී ම වයලීන් වාදකයකු වන්නේ වේ. මෙසේ ඇරඹි ඔහුගේ ගමන් මෙ`ගහි අවසානය නොබෝදා දිනක අප සිත්හි සටහන් වූයේ ගෞරවාන්විත ශෝකය මුසු හැ`ගීමකිනි.

අපි අමරදේවයන් ශ්‍රේෂ්ඨ ගණයේ ලා සලකන්නෙමු. ඒ සමකාලීන යුගයේ ඓතිහාසික අවශ්‍යතාව නැමැති අන්තර්ගතයේ පීඩනයෙන් තෙරපා චිරාගත සංගීත ආකෘතිය සමතික‍්‍රමණය කළ නිසාවෙනි. ඔහුගේ ගීතයන් භාෂා ප‍්‍රභේදය පවා අමතක කොට දමා රස විඳීමට හැකි වන්නේය. අමරදේව යන හැ`ගවුම්කාරකයෙන් මතුවන හැගවුම් අතර සරල ශාස්තී‍්‍රය ගීතය, සුභාවිත ගීතය, චිත‍්‍රපට ගීතය, ගී තනු නිර්මාණය ආදියෙහි පරිණත බව මතු වී පෙනේ. තදීය විෂයයන් ඔහු හා අත්‍යයන්තයෙන් බැඳී පවතියි. සරල ශාස්තී‍්‍රය සංගීතයේ නිර්මාතෘ වන්නේ එතුමාය. උත්තර භාරතීය සංගීතය සම`ග ජන ගී සහ ජන නාද රටා අඩුවැඩිය දමා හොඳ පදමට තනු නිර්මාණය කළේ ද එතුමාය. සම්භාව්‍යය සාහිත්‍ය හා විචිත‍්‍ර තනු මාධූර්ය එකට එක්කාසු කළෝ අන් කවුරුහු ද? අමරදේවයෝමය. චිත‍්‍රපටි සංගීතයේ ද දන මන පොබයන අවස්ථා දැකිය හැකි බව තද් නිර්මාණයෝම දෙස් දෙති. රන් මුතු දූව, ගම්පෙරළිය, රන්සළු, දෙළොවක් අතරේ, ගැටවරයෝ, ?න ගිරව්, තුන් මං හන්දිය ආදි චිත‍්‍රපටයන් විශේෂ වන්නේ එහෙයිනි. කරදිය, නළ දමයන්ති යන නාට්‍ය හා වෙස්සන්තර ආදි නූර්ති ඔහුගේ ප‍්‍රතිභාවත් නිර්මාණ චමත්කාරයත් මේ මේ යැයි පෙන්වන්නේය.

මහගම සේකරයන්ගේ හා අමරදේවයන්ගේ සුසංයෝගය සිංහල සුභාවිත ගීතයේ නව මං මාවත් විවිර කළ යුගයක් විය. අමරදේව යන නියමු හැගවුම්කාරකය මෝරා පැසීමට මේ මුහුව මහත් බලපෑමක් ඇති කළේය. ඔවුන් ගී පොතයි මීවිතයි යන විරුධාවලියෙන් හඳුන්වන්නේ ද මේ සංයෝජනයේ පලයක් වශයෙනි. ඔවුන් දෙදෙනා එකිනෙකාගෙන් පෝෂණය වන්නට පටන් ගත්තේ්ය. පැරණි සාහිත්‍යයෙන් සන්නද්ධ වූ සේකරයෝ අවැසි තැන දී එය ගීත නිර්මාණයන්ට මුසු කර ගත්හ. තත් භාෂාවට දෙවෙනි නොවන ආකාරයෙන් අමරදේවයෝ ස්වකීය මධුර ස්වරය කාවද්දා කල්පාන්තරයකට එම ගීතයන් විරාජමාන කළහ.

අමරදේව පෙරදිගින් ආභාසය ලැබූ බව සත්‍යයකි. එනිසා බෙහෙවින් ඔහු තුළ ගැබ් ගත්තේ පෙරදිග සභ්‍යත්වයයි. නමුත් ඔහු ඒ සභ්‍යත්වය එසේ තිබිය දී අපට දැනෙන සහ අපට ආවේණික වූ සභ්‍යත්වයක් ගොඩනගා ගත්තේය. අර්ථයෙන් අනතිපෝෂ නොවන සෙත් ගීතයේ කෝමලත්වය නොනැසෙන සේත් නිර්මාණකරණයේ යෙදීම අමිලය. උක්ත නියමු හැගවුම්කාරකය ගොඩනැගීමේ දී මේ තතු ද මැනවින් බලපෑවේය. අමරදේවයන්ගේ නිර්මාණයන්ගේ රස භාව මතු කිරීමට විචාරකයෝ ගත් මග හඳුනා ගත යුතුය. ඕනෑම කලා නිර්මාණයක රස නිෂ්පත්තිය සිදු වන්නේ විභාව අනුභාව හා ව්‍යභිචාරිභාවයන්ගේ සංයෝගයෙනි. රසිකයා කිියම් ආවේගයක් කලා නිර්මාණයකින් ලබයි. එනම් රසිකයා තුළ ජනිත වන ආවේගමය ප‍්‍රතිඵලයේ ස්වභාවය මේ රස නිෂ්පත්තියයි. තතු එසේ වුවත් අමරදේවයන්ගේ නිර්මාණයෝ හුදෙක් භාව ප‍්‍රකාශනයටම සීමා නොවන්නෝය. අවට ලෝකයේ වාස්තවිකත්වය පිළිගැනීම මෙන්ම එම ලෝකය අවබෝධ කර ගැනීමට ඔහු ගත් උත්සාහයේ ප‍්‍රතිඵලයන් සිය නිර්මාණයන්ගෙන් ධ්වනිත වේ. ජන ගී, ජන නාද, තොවිල් පවිල්, ජන නැටුම්, බයිලා, විරිදු ආදි නොයෙක් අංශයන්ගෙන් ලත් දැනුමින් සිය නිර්මාණයන් ජනනය විය. ”පිළේ පැදුර”, ”කැලේ ගහක මල් පිපිලා”, ”රන්වන් කරල් පැහෙන”, ”පිපී පිපී රේණු නටන”, ”ආරිච්චි බෝරිච්චි” ආදිය ඊට නිදසුනි. විටෙක උත්තර භාරතීය සංගීතය මුසු කර ගැනීම, විටෙක දක්ෂිණ භාරතීය සංගීතය මුසු කර ගැනීම හා විටෙක යුරෝපීය සංගීතය මුසු කර ගැනීම ද ඔහුගේ නිර්මාණවල දැකගත හැකිය. අනෙක් අතින් ඔහු ගේය කාව්‍ය රචකයෙක් ද වෙයි. ”ශාන්ත මේ ? යාමේ”, ”පීනමුකෝ කළු ගගේ”, ”වඳිමු සුගත ශාක්‍ය සිංහ” යනාදිය නිදර්ශන වන්නේය. ඔහුගේ භාෂාව සකස්වීමට කුමරතු`ගුවන්ගේ මෙන්ම හෙළ හවුලේ බලපෑම ද සුවිශේෂිතය. කෙසේ වෙතත් අමරදේවයන්ගේ ගීත අතර අර්ථ ශුන්‍ය වන ගීතයන් නැත්තේ නොවේ.

සිංහල සංගීතය පෝෂණයට අමරදේවගෙන් ලද මෙහෙවර ඔහුගෙන් පසු පරපුර ලබා ගත්තේ ද යන්න පිළිබඳ යම් ගැටලූ පවතී. මේ සම්බන්ධව සුචරිත ගම්ලතුන් පවසන්නේ මෙවැන්නකි. ”ඔහුගෙන් පසු පරම්පරාව ඔහු දැමූ ශක්තිමත් අඩිතාලම එක්තරා දුරකට පෝෂණය කළා. නමුත් නොයෙක් සමාජ, දේශපාලන, ආර්ථික මත පසු පරම්පරාව විවිධ න්‍යාය පත‍්‍රයන්ට අනුව ක‍්‍රියාත්මක වීම නිසා එහි පසුබෑමක් ද ඇති වුණා. එහි ප‍්‍රතිඵලය වූයේ ගීතයේ සාධනීය ලක්ෂණ ඉන් බැහැර වීමයි”(සිළුමිණ, පුන්කලස, 2012-12-02 වන ඉරිදාෙ). තතු මෙසේ හෙයින් පසු පරම්පරාව සහ පසුම පරම්පරාවට කළ යුත්තක් ඇත. අමරදේවයන් ලූ පාදම පෝෂණය කිරීමට ඇරඹීමයි. එය මනුෂ්‍ය සංහතියේ අවශ්‍යතාව ප‍්‍රකාශ කිරීමේ අරමුණින් සිදු කළ යුතු වන්නේය. මේ තත්වයන් මුල් කොට ඇටුවන් බැස ඇති පාලක පන්තියේ අදහස් උදහස් මුලිනුපුටා දැමිය යුතු නොවන්නේ ද? ගීතයම එයට එක් අවියක් වෙනු ඇත.

අමරදේවයන් වැනි ගාන්ධර්වයෙකුගේ නික්මයාම කෙතරම් ශෝකජනක ද යන්න නොකිව මනාය. වෙනදා ඔහුගේ ස්පර්ශයෙන් ඉකිබිඳින වීණාව (වයලීනය) අද දින ඔහු නොමැති සොවින් ඉකිබිඳියි. ඔහුගේ වියෝවත් සමගම සෑම විද්‍යුත් මාධ්‍යයකම ප‍්‍රධාන තේමාව වූයේ ඔහුය. ඔහුගේ ගීත පැය භාගයෙන් භාගයට, විනාඩි දහයෙන් දහයට විකාශනය වූවා පමණක් නොව ගුණ ගායනය ද ඇරඹීය. නමුත් ශෝකයට කරුණ නම් මේ අනුකාරකයෝ ඉන් පසුුව ඔහුගේ ගීත විකාශනය කරනවා ද යන්නයි. යළිත් ඔවුහු පාලක පන්තියේ අදහස් සපත කර ගැනීමටම කත් අදින්නෝය. මුහුණු පොතේ කිසිවෙකුගේ සටහනක මෙසේ සඳහන්ව තිබිණ. ”අමරදේව මහත්තයා හරියටම මියයන්නේ ආදාහනෙන් පසුවයි. ඉන් පසුව මාධ්‍යකාරයන්ට ඔහුව අමතක වෙනවා” මෙහි යම්බඳු තර්කයක් තිබුණ ද සරලව හෙතෙම අදහස් කරන ලද්දේ යථෝක්ත කාරණයමය.

දිනක් අමරදේවයන්ගේ පුත් රංජන අමරදේව සමග දුරකථනයෙන් සම්බන්ධ වූයේ ඔහුගේ පර්යේෂණ කටයුත්තකටය. අපගේ ශාස්ත‍්‍රීය සාකච්ඡාවෙන් පසුව ඔහු ස්තූති කරන විට මා පෙරලා පැවසුවේ අමරදේවගේ පුතු හා දෙඞීම මට සතුටක් බවය. තරුණයෙකු වශයෙන් මා අමරදේවයන්ගේ ගී අසනවායැයි කී කල ඔහු පුදුම වීය. ”මං හිතන් හිටියේ තාත්තට ඉන්නේ එයාගෙ වයසෙ රසිකයො විතරයි කියලා” යයි ඔහු පැවසුවේය. නමුත් කිවයුත්තේ අමරදේවයන්ගේ ගීත රසවිඳින යෞවන යෞවනියන් තවමත් තන්හි තන්හි කොතෙකුත් වෙසෙන බවයි. භාෂාවත්, සාහිත්‍යයත්, සංගීතයත්, මනාසේ සංකලනය නොකොට නන්දොඩන්නන් මාධ්‍යවල කරණම් ගසන කල අහෝ ! නම් නොකියවේ ද? කිසිදු සාහිත්‍යමය ගුණයක් අන්තර්ගත නොවන පල් හෑලි ගීත සේ රචනා කොට අඩහැර පාන්නන්ට අමරදේවයන්ගෙන් ලබා ගත යුතු දේ බොහෝය. අමරදේවයන්ගේ ගී සේවනය නොකොට සංගීතය හදාරන්නේ වීණාවක තත් ගලවා වීණා ගහන්නා සේය. නූතන පරම්පරාවට අමරදේවයන්ගේ ගීත ඇසීමට සැලැස්විය යුතු වන්නේ ද එබැවිනි.

සුදේශ් කවීශ්වර
කැලණිය සරසවිය

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday3
mod_vvisit_counterYesterday175
mod_vvisit_counterThis week892
mod_vvisit_counterLast week11212
mod_vvisit_counterThis month20990
mod_vvisit_counterLast month13826
mod_vvisit_counterAll days2054125

Follow us on Facebook

Online Users

We have 3 guests online