24
May

මාලනීගේ හොඳම පෙම්වතා මං

ජීවිතයේ කුඩා කාලයේ මං හරිම සන්තෝෂයෙන් හිටපු කෙනෙක්. හොඳ මවුපියෝ මට හිටියා. ඒ අය අපිට කිසිදෙයකින් අඩුවක් කළේ නෑ. ඒත් මං කුඩා කාලයේ මගේ මව මියගියා. ඊට පස්සෙ අපිට මවු වුණේ පුංචි අම්මා.

ගමේ ඉස්කෝලෙ දෙවැනි පන්තියට පාස් වුණාට පස්සෙ මට ලැබුණා ඩබල් ප්‍රමෝෂන් එකක්. ඒ කියන්නෙ හතරෙ පන්තියට. ආනන්ද ගුරුගේ කියල අපේ ඥාතියෙක් හිටියා. එයා තමයි අ‍පේ තාත්තාට කිව්වෙ මාව බෞද්ධ ඉස්කෝලෙකට දාන්න කියලා. මහනුවර ධර්මරාජ විද්‍යාලයට මාව දැම්මෙ ඊට පස්සෙ. ඒත් ධර්මරාජයේ හතරෙ පන්තියක් නෑ. මට යන්න සිද්ධ වුණේ පහේ පන්තියට. මාව කරකවල අතෑරියා වගේ. විභාගෙනුත් මාව අසාර්ථක වුණා. ෆේල් වෙච්ච ලැජ්ජාවත් හින්දම හොඳටම වැඩ කරන්න ඕනැයි කියල මට හිතුණා. ඊට පස්සෙ හිතුවටත් වඩා ඉහළින් සමත් වුණා.

පිරිමි ඉස්කෝලයක් හින්ද ගෑනු ළමයි දකින්න නෑ. ඒත් එස්. එස්. සී. කරන කාලෙ කිරිබත්කුඹුරෙ ඉඳල බස් එකෙන් ඉස්කෝලෙ එනකොට මං ඒ ළමයව දකිනවා. එයා හිටියෙ අපිට වඩා හුඟක් ඈත. එයාගෙ වෝක් එක හරිම ලස්සනයි. නීට් එකට අඳිනවා. ඒ හින්ද මිනිස්සු එයාට විහිළු කරනවා. කොලුකමට අපිත් විහිළු කරනවා. ඒ ළමයා ගියේ පේරාදෙණියේ සීනියර් ස්කූල් එකට.

දවසක් ඒගොල්ලන්ගෙ ඉස්කෝලෙ එක්ෂිබිෂන් එකක් බලන්න අපිත් ගියා. සංවිධාන කටයුතුවලට මේ ළමයත් හිටියා. හලෝ.. කියල කතා කළා. ටිකක් කතා කරන්න පුළුවන්ද කියල ඇහුවා. එහෙම ඇහුව විතරයි මෙන්න ඒ ළමයා අඩියට දෙකට දුවල යන්න ගියා.

ඉතිං උත්සාහය අතෑරලා දැම්මාද?

අතෑරියෙත් නෑ. ඔහොම ඉඳල ඒගොල්ලන්ගෙ ඉස්කෝලෙ හිටිය ළමයෙක්ගෙ අතේ ලියුම් කෑල්ලක් යැව්වා. ‘ලියුම හම්බ වුණා. බයේ බෑ.’ කියල එයත් ලියුම් කෑල්ලක් එව්වා.

ඊට පස්සේ කතාබහ කරන්න අවස්ථාව ලැබුණද?

එහෙම නෑ. දවසක් යන එන ගමන් කතා කරන්න පුළුවන් වුණා. මං කිව්වා ‘විභාගෙ පාස් වුණා’ කියලා. එයත් කිව්වා ‘සන්තෝසයි.’ කියලා. ඒ ඇරෙන්න වැඩිය කතා කරන්න ලැබිල නෑ. බයයි. දකිනවා විතරයි.

ඉතිං ඊට පස්සෙ?

ඔහොම ඉන්නකොට තමයි තාත්තා නැති වුණේ. එයින් පස්සෙ තාත්තා කරගෙන ගිය ව්‍යාපාරත් අඩපණ වුණා. අපට ඉන්න තැනකුත් නැතිව ගියා. අපි ළමයි හතර දෙනයි. පුංචි අම්මාගේ ළමයි තුන්දෙනයි ඔක්කොම ළමයි හත්දෙනෙක් එක්ක පුංචි අම්මා සෑහෙන්න දුක් වින්දා. මට ඕනෑ වුණේ රස්සාවක් කරන්න. අර දේවල් එහෙම්ම අමතක වෙලා ගියා. මං රස්සාවල් කීපයක්ම කළා.

පටන් ගැන්මම ට්‍රැජඩි එකක්නෙ.

ඇත්තටම ඔව්. දැන් මෙහෙම කිව්වට ඒක ජීවිතේ හරිම අමාරු කාලයක්. ජීවිතේ ගැටගහගන්න ලව් එකකයි මං හිටියෙ. පොඩි පොඩි රස්සාවල් කීපයක්ම කරල අතෑරලා දාල ඔය කාලෙ ලිපිකාර විභාගෙටත් පෙනී හිටියා. අම්පාරෙ කච්‍චේරියෙ ලිපිකරුවෙක් විදියට රැකියාවකුත් ලැබුණා. ඒකත් එපා වුණා. ඊට පස්සෙයි හමුදාවට ගියේ. සුදුසුකම් ඔක්කොම තිබුණත් එතැනදි උස ප්‍රශ්ණයක් මතු වුණා. නියමිත උසට වඩා මං අඟලක් උසින් අඩුයි. ඒත් ධර්මරාජයේ කැඩෙට් පුහුණුකරු හින්ද මට ඒ අවස්ථාව ලැබුණා. විසිර යෑමේ දිනයේ හොඳම සොල්දාදුවා වුණෙත් මම. හොඳම වෙඩික්කාරයා වුණෙත් මම. උත්සවයට හැමෝගෙම මවුපියෝ ඇවිත් හිටියා. ඒත් ඒ වෙනකොට මගේ අම්මයි, තාත්තයි දෙන්නම ජීවතුන් අතර හිටියෙ නෑ. ඒ වෙලාවෙ මං හිටියෙ කෑගහල අඬන තරම් දුකක් හිතේ හිරකරගෙන.

ඊට පස්සෙ ජීවිතේ වෙනසක් වුණාද?

වෙනසක් වුණා. මං හමුදා රාජකාරියෙන් හුඟක් දේවල් ඉගෙන ගත්තා. ඒත් මට ඒකත් අතෑරලා දාන්න සිද්ධ වුණා.

ඒ ඇයි?

එතකොට මගෙ ඩියුටි තිබුණෙ පලාලි කෑම්ප් එකේ. මට අවුරුදු 19ක් විතර ඇති. මං නීට් එකට අඳිනවා. එදා ඩියුටි කරද්දි මං ඉන්න තැනට එකපාරටම උඩින් අඹ ගෙඩියක් වැටුණා. මං වටපිට බලද්දි තවත් අඹ ගෙඩි කීපයක්ම වැටුණා. ඒ එක අඹ ගෙඩියක ‘නීලාම් රාති’ කියල ලියපු පුංචි කොළ කෑල්ලක් ඇල්පෙනිත්තකින් අමුණල තිබුණා. තවත් වටපිට බලද්දි තමයි මං දැක්කෙ ඒ ගෑනු ළමයව. එයා හින්දු ළමයෙක්. මට හිතුණේ අවුරුදු 17ක් විතර ඇති කියලයි.

ඇල්පෙනිත්තකින් අමුණල එව්වෙ ආදරයක්ද?

එහෙම තමයි.

ඒ ආදරය දුරදිග ගියාද?

දුරදිග කියන්නෙ පලාලි වල හිටපු මට නාගර්කෝවිල්වලටම යන්න වුණා.

ඒ මොකද?

ආයෙ දවසක් ඇයව මට මඟදි හමුවුණා. මට කතා කරන්න හිතුණා. මං ඇහුවා ‘ඔයාගෙ වයස කීයද’ කියලා.  එයා කිව්වා ‘16යි’ කියලා. ඉතිං ඕක  ආරංචි වෙලා නාගර්කෝවිල්වලට මට පනිෂ්මන්ට් ට්‍රාන්සර් එකක් ලැබෙනවා. ඒක හරිම අමාරුයි. මට ඒකෙන් ගැලවෙන්න ඕනෑ වෙනවා.

මොනවාද කළේ?

මං දත් කැක්කුමක් හදාගන්නවා. වෛද්‍යවරයාට කියනවා මගේ දත ගලවන්න කියලා. වෛද්‍යවරයා පරීක්ෂා කරල බලල දත ගලවන එක ප්‍රතික්ෂේප කරනවා. මං ආයෙ ආයෙත් කියනවා. බේරෙන්නම බැරි තැන වෛද්‍යවරයා දත ගලවල ‘අපරාදෙනෙ හොඳ දතක්නෙ’ කියල කියනවා.

චිත්‍රපටයක රූපරාමු කීපයක් වගේනෙ.

හහ්..හහ්...හා...

ඊට පස්සෙ මොකද වුණේ?

ඊට පස්සෙ ආයෙත් මට පලාලි කෑම්ප් එකට එන්න පුළුවන් වෙනවා. ඒත් ඇ‍‍ඳෙන්වත් බහින්න එපා කියලයි තිබුණෙ. මට ඒකත් එපා වෙනවා. පඩි රහිත නිවාඩුවක් බොහොම අමාරුවෙන් මං ඉල්ලා ගන්නවා. ඉතිං එහෙම පඩි රහිත නිවාඩු අරං එදා ආව ගමන තමයි මේ. මං ඊට පස්සෙ ආපහු ගියේ නෑ.

එතකොට නීලාම් රාති?

එයා ගැන මොනම ආරංචියක්වත් දැනගන්න බැරි වෙනවා.

ඔවැනි චරිත රංගනයේදීත් හමුවුණාද?

අතීතයේ අර මුල්ම සිද්ධියට ලං වෙච්ච චරිතයක් ‘රැජන’ චිත්‍රපටයේ මෝනා ගෙන් හමුවුණා. මෝනා විදියට රඟපෑවෙ ශිරානි නුගේරා. ඊටම කිට්ටුකමක් ‘අහස් මාලිගා’ චිත්‍රපටයේදිත් හමුවුණා. ඒ චරිතය රඟපෑවෙත් ශිරානිමයි.

අතීතය මතක් වෙන්නත් ඇතිනෙ?

අතීතය මතක් වුණා. එක්තරා විදියක පහසුවකුත් දැනුණා. චරිතය ඇතුළට ගියහම   චරිතය ඇතුලේ ජීවත් වෙනවානෙ.

නීලාම් රාතිලත් ඔය අතරෙ හිටියාද?

රංගනයේදි ඒවගේ චරිතයක් ගැන මට මතක නෑ. හ්ම්... ඊට සමානකම් තියෙන චරිත මට සිනමාවෙදි හමුවෙලා නෑ.

‘පරිත්‍යාග’, ‘අනුපමා’, ‘වජිරා’, ‘යස ඉසුරු’, චිත්‍රපටවල ඔබ අපූරු පෙම්වතානෙ?

මාලනීත් දවසක් කියල තිබුණා එයාට හම්බ වෙච්ච හොඳම පෙම්වතා කලං කියලා. මට හොඳ නමක් ලබා දීපු නිළියො ඉන්නවා.

ජීවිතේ දේවල් මුසු නොවී එච්චර අපූරුවට පෙම්වතෙක් වුණේ කොහොමද?

මගේ බිරියත් ඉස්සර ඔය කතාව මගෙන් අහනවා. ‘ඔයා කොහොමද අනේ ඕවා කරන්නෙ’ කියල නිතරම අහනවා. ‘රඟපෑම කියන්නෙ ඒක තමයි.’ මං එයාට කිව්වෙ එහෙම. ඔයාට කියන්නෙත් ඒකමයි.

චිත්‍රපටවල කලංගෙ තරුණ දාංගලේට අපිත් පෙම්බැන්දනෙ.

හහ්..හහ්..හා.. ඇත්තද?

ඒත් එච්චරටම සියුම් හැඟීම් දැනෙව්වෙ කොහොමද කියන එක ඔහොම හිනාවෙන් මගඅරින්න දෙන්න බෑ.

මං ඇත්තම කියන්නම්. මං මගේ ජීවිතේ හොඳම වයසෙදි තනිවුණා. පුදුම විදිහට තනිවුණා. මං අනේක විධ දුක්වින්දා. පැත්තකට වෙලා මං නොයෙකුත් දේවල් හිතන්න ගත්තා. මං ගැන, මිනිසුන් ගැහැනුන්ගේ චර්යාවන්.. ජීවිතේ අත්විඳින හැටි ගැන...එතෙන්දි  මට මාවම දැනෙන්න ගත්තා. මං මගේ ඇතුළට ඒ සියළු දේවල් දාගත්තා. එතකොට මේ ලෝකෙ කලං කියල එක්කෙනයි ඉන්නෙ. කලංගෙ ගමන බිමන, අංගවිලාස ඒකෙන් මං පිට පැන්නෙ නෑ. ඒ ටික තමයි මං කලං කියන නළුවාට ප්‍රයෝජනයට ගන්නෙ. අර දැනවෙන්නෙ ඒ දේවල්.

බිරියයි ඔබයි අතර තියෙන්නේ බොහොම දැඩි බැඳීමක් නේද?

පුදුම වැඩක් . ඇය වගේ තවත් කෙනෙක් චරිතයකින්වත් හමුවෙලා නැහැනෙ. අපිට ආදරේ කරන්න ලැබුණෙ ටික කාලයයි. ඒත් අපේ විවාහය තුළ , බැඳීම තුළ ඕනෑතරම් ප්‍රේමය තියෙනවා. ඇයගෙ ප්‍රේමය ගෞරවනීයයි. ඇය නැතිව මං කොහොමද ඉන්නෙ. මං නැතිව ඇය කොහොමද ඉන්නෙ කියලයි දැන් මට හිතෙන්නෙ. ඇය මාව රැකබලා ගන්නා හැටි මං දන්නවා. මං දිහා බලන හැටි. මට ඇඳුම් තෝරන හැටි මට දැනෙනවා. ඒ ප්‍රේමය තියෙන්නෙ ඇය තුළ විතරමයි.

-Dhammika Akmeemana

Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday71
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3375
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7475
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990264

Follow us on Facebook

Online Users

We have 69 guests online