20
Sep

මං ඇතුලෙ හිටියෙ ආදරය ඉල්ලා හඩා වැටුණු ගැහැනියක්-අනෝජා වීරසිංහ

දශක කිහිපයක්  තිස්සේ අපි අනෝජා වීරසිංහ ගැන කතා කළේ අපේ ප්‍රවීණ සිනමා නිළියක හැටියටයි. ඒත් දැන් මේ ඇය ගැන කතා කරන්නට සැරසෙන්නේ ඉන් බැහැර වෙච්ච යෝගිනියක් විදිහටයි..  ඇය මේ  භූමිකාව තුළ කරන්නට සැරසෙන අලුත්ම කටයුත්තක ආරංචියක් ගැනයි.

මොකක්ද ඔබේ මේ අලුත්ම ආරංචිය?

සැප්තෑම්බර් 27 වැනි ඉරිදා උදේ 9 ඉඳල දහවල් 12 වෙනකම් කොළඹ පදනම් ආයතනයේ ‘ජාත්‍යන්තර ශිවානන්ද ආශ්‍රමයේ’ ගුරුවරුන් සමග යෝගා සම්මන්ත්‍රණයක් පවත්වනවා. ඒක තමයි අලුත්ම ආරංචිය.

ඇයි මේවාගෙ  දෙයක් කරන්න හිතුනෙ?

එදිනෙදා අපේ රටේ සිද්ධ වෙන දේවල් දිහා බලපුවහම මොකක්ද මේ වෙලා තියෙන්නෙ කියලා හිතෙනවා.බීමත්කම වැඩිවෙලා. ලිංගින ප්‍රචණ්ඩත්වය ඉහළ ගිහිල්ලා. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැඩි වෙලා.ළමා අපචාර ගැන ප්‍රවෘත්තිමයි නිතර දෙවේලෙ අහන්න ලැබෙන්නෙ. සියදිවි නසා ගැනීම්.කෙටි කලකින් දික්කසාද වීම් මේ හැම දෙයකම තියෙන්නෙ වැඩි වීමක්. මේ රටේ මිනිස්සු මේ තරම් මානසිකව පිරිහිලා ඉන්නකොට මේ රටේ දේශපාලඥයන්ට මේක පේන්නැති එකනෙ පුදුමෙ. සිල් රෙදි, ටකරං කෑලි, කණ්නාඩි වගේ බාහිර දේවල් වලටමයි මිනිස්සු අද්දවා ගන්නෙ. මානසික සෞඛ්‍යය නංවන්න වැඩ කරනවා කියලා කොයි දේශපාලඥයාද කියන්නෙ?මිනිස්සුන්ගෙ මානසික සෞඛ්‍යය පැත්ත ගොඩනගා ගන්න අත්වැලක් වෙන්නයි මේ සූදානම.

යෝගා ක්‍රමය වගේ දෙයක් කොහොමද මේ වැඩේට හවුල් කරගනෛ?

යෝගාවල තියෙන පුදුම බලය, ශක්තිය මං අත් දැකපු කෙනෙක්.මං එහෙම කියන්නෙ විශ්වාසයෙන්.2008 වසරේ ඉඳලා මං යෝගා උගන්වන්නෙ. ඉන්දියාවේ ජාත්‍යන්තර ශිවානන්ද යෝගා වේදාන්ත ධන්මන්තරී ආශ්‍රමයේ පුහුණුව ලැබූ ගුරුවරියක් මම. කේරළයේ සහ හිමාලයේ නේපාල ප්‍රදේශයේ තියෙන ආශ්‍රම තුළ තමයි මගේ ගුරු පුහුණුව මං කළේ. මං ඒ අත්දැකපු දේ අභ්‍යන්තරව සිදුවිය යුතු වෙනසක්.

බොහෝ සුරූපී නිළියක හැටියට දිවි ගෙවූ ඔබ ඇයි මේ විදිහට  යෝගා වලට ගියේ?

මානසික විශාදය කියන දෙය තදබල ලෙස තිබුණු කෙනෙක් මම. පීඩාව දරා ගන්න බැරුව මං  හත් වරක්ම දිවි අතහැර දමන්න උත්සාහ කරනවා.දණහිසේ ආබාධයකිනුත් මං දැඩි ලෙස පීඩා වින්දා. බෙහෙත් ගත්තා ගත්තා. ඒත් මට සුවයක් ලැබුනේ නෑ. නිෂානි දිසානායක කියන මාධ්‍ය මිතුරිය දවසක් මට කිව්වා අක්කා ඔයා ගිහින් යෝගා කරන්නකො කියලා. එහෙම කියල එයා මට ලීෆ්ලට් එකකුත් දුන්නා. දින 10 හොලිඩේ එකකටයි මම ශිවානන්ද යෝගාශ්‍රමයට ගියේ. මට පුදුම සුවයක් ලැබුණා. මං සම්පූර්ණයෙන්ම සුවපත් වුණා. මානසිකවත් ශක්තිමත් වුණා. ඒක තමයි මං යෝගා වලට ගිය ඇත්ත.

යෝගා කියන්නෙ අද එක්තරා විදිහකට මෝස්තරයක් වාගෙ දෙයක්ද? මං එහෙම අහන්නෙ යෝගා පංති වශයෙන් අද අපේ රටේ බොහෝ තැන් වල දකින්න ලැබෙන නිසා?

මිනිස්සු ගොඩක් ආසයි බාහිර දේට. යෝගා කිව්වහම ශාරීරික, මානසික, අධ්‍යාත්මික හා සමාජීය වශයෙන් කොටස් හතරකට ගැනෙනවා. වැඩි පිරිසක් ඉන්නෙ ශාරීරික පැත්ත ගැන බලන අය. ඒත් යෝගා වල සත්‍ය හරය ඒක නෙමෙයි. 27 වැනිදා මේ සාකච්ඡාව තුළ විශේෂඥ මනෝ වෛද්‍ය නීල් ප්‍රනාන්දු මහත්මයා පශ්චාත් ව්‍යසන ක්ලමත අක්‍රමිකතාවය (PTFD ) ගැන කතා කරනවා. විශේෂඥ මනෝ වෛද්‍ය කපිල රණසිංහ මහත්මයා මානසික විශාදය, කෝපය මඟහැර ගන්නේ කොහොමද කියන කාරණාව සාකච්ඡා කරනවා.ශ්‍රී නටරාජ් මහත්මයා යෝගා පිළිබඳ පිළිපැදිය යුතු ප්‍රධාන කරුණු 5 ගැන කතා කරනවා.හිටපු යුදහමුදාපති දයා රත්නායක මහත්මයා පුනරුත්තාපනය සහ සංහිඳියාව කොහොමද යෝග වලින් සාර්ථක කරගන්නෙ කියන දේ කතා කරනවා.

ඔබ ජීවිතේ බොහෝ දේවල් ටිකෙන් ටික අතැර දමන බවකුයි අපි දකින්නේ.සුරූපී නිළියක් හැටියට ජීවිතය ගතකරපු ඔබ වර්ණවත් සළු පිළි අරුමෝසම් අභරණ ටිකෙන් ටික අතහැරියා. දිගු කෙස්කළඹ කොට කළා.මේක මේ ජීවිතය ගැන කවරාකාර කලකිරීමක්ද?

කලකිරීමක් නෙමෙයි සැබෑව දැකීමක්. එහෙමයි මම හිතන්නෙ.

එහෙම දැකීමකට ඔබව පොළඹවාලූවෙ මොනවාගෙ කාරනාවක්ද?

200 අවුරුද්දෙ දේශපාලන පළිගැනීමක් මත මගේ ගෙට ගිනි තිබ්බා. මං යනකොට මුළු ගේම දැවිලා අළු වෙලා තියෙන හැටි මං ඈතදීම දැක්කා. ඉතිරි වෙච්ච බිත්ති කෑලි සුංබුං අතරින් මං ගෙට අඩිය තිබ්බෙ ඇත්තටම ගොඩක් දුකකින්.මං ඔලුව උස්සලා බලද්දි  බිත්තියේ එල්ලල තිබුණු බුදු පින්තූරෙ විතරයි ඉතිරිවෙලා තියෙවා දැක්කේ. ඒ වෙලාවෙ මගේ ඔලුවට ලොකු හයියක් ආවා. බුදු හාමුදුරුවෝ දේශනා කළේ මේ අනිත්‍ය නේද කියලා මට හිතුනා. මගේ හිතේ දුක කණගාටුව කොහෙන් ගියාද කියලා නෑ.

2004 සුනාමි ආවා. අපිත් ඒ වෙලාවෙ බොහෝ උදව් කළා.අපි දැක්කා එකම ඉස්කෝලෙක, එකම පන්සලක පල්ලියක හුඟක්ම සල්ලි තිබුණු මිනිස්සුත්, මොනවත්ම නැති මිනිස්සුත් එකට වැටිලා හිටපු හැටි. මේ අනිත්‍ය එදා ආපහු මගේ ඔලුවට ආවා. ඇත්තටම මට ‍ලොකු අවබෝධයක් ආවා. බුදු දහම ගැඹුරින් හදාරන්න ඕනෑ කියන හැඟීම ඇති වුණා.

එහෙම හැදෑරීමකට යොමු වුණාද?

ඇත්තටම එහෙම හැදෑරීමකට කාන්තාවන්ට පහසුකම් අඩුයි. පිරිමින්ට නම් පිරිවෙන් තියෙනවා.ඒත් යෝගා වලට ගියහම මූලික අවධියේදී බුදු දහමේ ලොකු සමානකම් තියෙනවා කියලා වඩාත් සමීප වෙන්න පුළුවන් වුණා. යෝගාශ්‍රමයකට ගිහිල්ලා බුදු දහමේ සත්‍ය සමීප කරගන්න ඉගෙන ගන්න පුළුවන්.

මම නැවතත් අහන්නෙ ඔබ විසිතුරු ලෝකයක ජීවත් වුණු කෙනෙක්. ඒ විසිතුරු ලෝකය ඉවතට විසි කරන්න හිත නම්මාගන්න පහසු වුණාද?

ඇත්තටම නංගී ඔයා ආයෙත් අහනවා. මටම හිතා ගන්න බෑ මමම  මගෙන්ම අහපු දේවල් ඔයා කොහොමද අහන්නෙ කියලා.ඔයා ලියන්න. ඔය හැමෝම දැකලා තියෙන්නෙ පිට පැත්ත.හැබැයි ඇතුල දැක්කෙ නෑ. ඇතුලෙ හිටියෙ විඳවන අඬාවැටෙන ගැහැණියක්.ජීවිතය, ආදරය, ආරක්ෂාව හොය හොයා විඳවපු ගැහැණියක්.ඒ වෙනකොට මම මා තුළ තිබුණු ශක්තිය . සත්‍ය ස්වරූපය අවබෝධ කරගෙන තිබුණෙ නෑ. මං ඔහේ එළියෙන් හොය හොයා යනවා.ඒ හොය හොයා යන දේ නොලැබෙනකොට කඩා වැටෙනවා.විශාධිය උපන්නෙ එතැනින්. ලෝකයට ඔයගොල්ලන්ට හිනාවෙලා ඉන්න කෙනෙක් සිය දිවි නසා ගන්න හදනවා.  මේ ළඟදි දවසක මං පාරෙ ඇවිදගෙන යනකොට දෙයක් සිද්ධ වුණා.

ටී.වී එකේ රිදී නිම්නයේ අපේ පරණ ෆිල්ම හරියට යනවානෙ. ඒවා දැකපු අම්මෙකුයි පුතෙකුයි මාව නවත්තගෙන මෙහෙම කියනවා. ‘පුතේ මේ අර චිත්‍රපටිවල හිටපු නැන්දා තමයි. අනේ ඔයා ඒ කාලෙ කොච්චර ලස්සනද?’ අම්මා මෙහෙම කියද්දි දරුවා මං දිහා කටත් ඇරගෙන බලා ඉන්නවා. අම්මාට නම් පිස්සු කියලා දරුවාට හිතෙන්න ඇති. ‘එපා කරදර කරන්න. ඔයා මාව දැන ගත්තාට මේ දරුවාට මාව දැන ගන්න බැරුව ඇතිනෙ’ මම කිව්වා.’ඒක නේන්නම්. ඔයා කොච්චර ලස්සනට සුන්දරව හිටියද?’ අම්මා ආයෙත් කියනවා. ‘එදා නෙමෙයි. මම දැනුයි ලස්සන’ කියලා මට ඇතුලෙන් හිතෙනවා.මම මගේ ඇතුලත හුඟක් ලස්සන කර ගනිමින් ඉන්නවා. සියයට සියයක්ම නෙමෙයි. සෑහෙන දුරකට. කඩා වැටිම් නෑ. දුක හිතෙන ඒවා අඩුයි. මටම මා තුළට කනෙක්ට් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ කාලෙ ජීවත් වුණේ බොරුවත් එක්ක. සත්‍ය නොවන දේ එක්ක.ඒත් සත්‍ය නොවන ජීවිතය අද මට පෙනෙනවා. මං දකිනවා. සත්‍ය එක්ක ගනු දෙනු කරමින් ඉන්නවා.ඒකට බුදු දහම, යෝගා ගුරුවරු, කළ්‍යාණ මිත්‍රයො උදව් කළා. මට දැන් ඔනෑ මේ රටේ මිනිස්සුන්ට කළ්‍යාණ මිතුරියක් වෙන්න.

අන්තිමට කියපු වචනවල තියෙන්නෙ අනිත් අයට වගේ ඔබටත් දේශපාලනයට යන්න තියෙන උවමනාවද?

දේශපාලඥයා බාහිර දේවල් වලට එල්ලෙන මනුස්සයෙක්. බලයත් ඒ වගේනෙ. බලය ගන්න නොකරන දෙයක් නැහැනෙ. රාග, ද්වේශ, මෝහ කියන මේ තුනම වඩන තැනක් දේශපාලනය කියන්නෙ. සංසාරය කොට කර ගන්නවා මිසක් ඕකට ගිහිල්ල සංසාරය දික් කරගන්න   තරම් මෝඩයෙක් නෙමෙයි මම. මිනිස්සුන්ට යම්කිසි සේවයක් කරන්න දේශපාලනයටම යන්න ඕනෙ නැහැනෙ.

මනස තුළ කැකෑරෙන දේවල් එළියට දාලා පවිත්‍ර කරගන්න තරම් මිනිස්සු එඩිතරයිද?

අවමානය නිසා හංගනවා. පිට රටවලත් එහෙම තමයි. ඒත් මේ අවමානය කියන දෙය නැති කරන්න හුඟක් වැඩ කරන්න ඕනෑ.ප්‍රෙෂර්, හා(ර්)ට්, ෂුගර් වාගෙ ලෙඩ ගැන කතා කරන්නෙ බෙහොම උජාරුවෙන්නෙ.ඒත් ඔලුවෙ ලෙඩේ ගැන කියන්න කැමති නෑ.දැන් මෙහෙම මේ අ‍නෝජා කියන කොට අපි කිව්වහම මොකද කියල කෙනෙක්ට හිතෙන්න පුළුවන්.ඇත්තටම එහෙම එක මනුස්සයෙක්ගෙ ජීවිතය බේරා ගත්තත් ලොකු දෙයක්. ලබන මාසෙ නම් කරලා තියෙන්නෙ මානසික සෞඛ්‍ය මාසය විදිහට. ඒ ගැන රට කරවන ඇත්තන්ගේ අස් පෑදේවා.

ඔබට කතා කරලා උපදෙස් පතන්න.එහෙමත් නැත්නම්  27 දා වැඩසටහනට සහභාගි වෙන්න කැමති කෙනෙකුට කොහොමද තොරතුරු ලබා ගන්න පුලුවන්?

0772292662 දුරකථන අංකයෙනුත්,   අන්තර්ජාල ලිපිනයෙනුත් විමසන්න පුළුවන්.

 Dammika akmeemana               

Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday248
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week517
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11940
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125443

Follow us on Facebook

Online Users

We have 30 guests online