26
Sep

‘ඔබ නැතුව ඔබ එක්ක‘මම ඉලක්ක කරගෙන හදපු චිත්‍රපටයක්-ප්‍රසන්න විතානගේ

ඔබ නැතුව ඔබ එක්ක' ලංකාවේ ප්‍රේක්‍ෂකාගාරය ඉලක්ක කරගෙන හදපු චිත්‍රපටයක්ද?

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය මම ඉලක්ක කරගෙන හදපු චිත්‍රපටයක්

. මම චිත්‍රපටයක් කරන්න පෙලඹෙන්නේ පළමුව මම සතුටුවෙන්න සහ මට දැනෙන කිසියම් දෙයක් ප්‍රේක්‍ෂකයාට සන්නිවේදනය කරන්න.

මගේ බස සිනමා බස සිනමාවේ බස රූප භාෂාව. රූපය මේ ලෝකයටම පොදුයි. ඒ වගේම රූප දෙකක් ගැටීමෙන් ඇතිවන සංවේදනයත් ලෝකයටම පොදුයි. ඒ නිසා 'ඔබ නැතුව ඔබ එක්ක' කියන්නේ මම සතුටුවෙන ගමන් පොදුවේ ප්‍රේක්‍ෂකයාව සතුටු කරන්න හදපු චිත්‍රපටයක්. එතනදී ඔවුන් ඉන්දියාවේද ලංකාවේද එංගලන්තයේද කියා මට වෙනසක් නෑ.

තමන් සතුටුවෙන්න හදපු නිර්මාණයකින් නිෂ්පාදකයාව සතුටු කරන්නේ කොහොමද?
නිෂ්පාදකයාව සතුටු කරන්න නම් අධ්‍යක්‍ෂවරයාට තම චිත්‍රපටය බොහෝ දුරක් කර තබාගෙන යන්න සිදුවනවා. අධ්‍යක්‍ෂණය කිරීමෙන් පසුව ඔන්න මගේ කාර්යය ඉවරයි කියලා ඉවත බලාගන්නේ නැතිව චිත්‍රපටයට උපරිම ප්‍රේක්‍ෂක සංඛ්‍යාවක් එකතුකර
ගැනීමට අධ්‍යක්‍ෂවරයාට සිදු වනවා.

දොස්තොවුස්කිගේ කෙටි කතාවක් ලංකාවේ සමාජ දේශපාලන කතිකාවකට ගැළපුවේ කොහොමද?
අපි කතා ශරීරයේ කිසිදු වෙනස්කමක් කළේ නැහැ. නමුත් ‍ෙදාස්තොවුස්කිගේ කතාවේ මානයන් කීපයක් තියෙන බව මම දැක්කා. ලංකාවේ පශ්චාත් යුද සමය පිළිබඳ මානය විවර කර ගැනීමට මේ කතාවේ ඉඩක් ඇති බව මම දැක්කා. නමුත් තිර රචනයේදී එය රූපකයක් ලෙස දකින්න අපි ප්‍රවේසම් වුණා. ඒ නිසා මෙහි තිබෙන මානව සම්බන්ධතාව මතුපිටින් රස විඳින අතරේ දේශපාලනික කාරණය රූපකයක් ලෙස තිර රචනයේ වර්ධනය වීමට ඉඩ හැරියා.

පශ්චාත් යුද තත්ත්වය තල්ගසක්වත් නොපෙන්වා ඉදිරිපත් කිරීමට දැරූ උත්සාහය සාර්ථකයි කියලා හිතනවද?
එවැනි තේමාවක් ගැන කතා කරන්න තල්ගසක් අවශ්‍ය වන්නේ නැහැ. මොකද පශ්චාත් යුද සමය කියන්නේ ලංකාවේ සෑම අස්සක් මුල්ලක් නෑරම විහිදුණු දෙයක්. ඒ පිළිබඳ වැටහීමෙන් මේ නිර්මාණය කළා මිසක මෙහි අධ්‍යක්‍ෂවරයාගේ අමුතු විස්කමක් නැහැ.

යුද්ධයට මැදිවූ සියලු පාර්ශ්ව දෙස සානුකම්පිතව බලනවා කියන හැඟීම හමුදා නිලධාරියාගේ පාර්ශ්වයේ තුලනය වුණාද...?
යුද්ධයකට පස්සේ ඕනෑම කෙනෙක් කිසියම් කම්පනයකින් පසුවෙනවා. බාහිර සමාජය ඔවුන්ව රණවිරුවන් ලෙස අගය කළත් ඔවුන්ගේ මානසික තත්ත්වය පිළිබඳ සැබැවින්ම සොයා බලන්නේ නැහැ. මට ඕනෑ වුණේ තව දුරටත් මනුෂ්‍ය ස්පර්ශයන් අෑත් කිරීමට නෙමෙයි. ජාතීන් හැටියට අවසානයේ වැදගත්ම වන්නේ මනුෂ්‍ය ස්පර්ශය බව කියන්න තමයි මට අවශ්‍ය වුණේ. මම හිතන්නේ මේ චරිතය ළඟාවෙන්නෙත් එතනටමයි. නමුත් අවාසනාවට ඔහු ප්‍රමාද වැඩියි. නමුත් ඒ ප්‍රමාදය සිදුවන්නේ ඔවුන් දෙදෙනාගෙන්ම පරිබාහිර වූ දේශපාලනික කාරණයක් නිසා. මම කියන්න උත්සාහ ගන්නේ යළිත් අප එලෙස ප්‍රමාද නොවිය යුතුයි කියලයි.

මෙහි එන ප්‍රධාන චරිත ද්විත්වයම බාහිර ලෝකයට සංවෘතයි. එවැනි චරිත නිරූපණයක් අධ්‍යක්‍ෂණය කිරීම කොයිතරම් අභියෝගයක් වුණාද...?
ඔව්... මේ දෙදෙනාටම අතීතයක් තියෙනවා. දෙදෙනාම අතීතයෙන් පීඩා විඳිනවා. ඒ අතීතය ප්‍රේක්‍ෂකයා නොදන්න අතීතයක්. එනිසා ඔවුන්ගේ මුහුණුවල ඒ කතන්දරය තිබිය යුතුයි. මමත් කැමරා අධ්‍යක්‍ෂ එම්.ඩී. මහින්දපාලත් අභියෝගයක් ලෙස සැලකුවේ රූප රාමු සකස් කිරීම සහ රූප සංස්කරණය කිරීම ඔවුන්ගේ අභ්‍යන්තරය හෙළිවන ආකාරයට සිදු කිරීමයි. එහිදී දක්‍ෂ නළු නිළි දෙපළක් සිටි නිසාත් අපේ අරමුණ ජයග්‍රහණය කරන්න වාසියක් වුණා.

වේදිකා නළුවෙක් වූ ශ්‍යාම්ගෙන් ලැබුණු සහයෝගය විග්‍රහ කළොත්...?
ශ්‍යාම් තෝරා ගත්තෙත් අංජලී තෝරගත්ත විදියටමයි. ශ්‍යාම්ගේ ඇස් දෙකේ කිසියම් විදියක ශෝකී බවක් සහ කාන්සාවක් තියෙනවා. ශ්‍යාම් දිහා බැලුවම ඔහු කිසියම් අතීතයක් පිළිබඳ තැවෙන ස්වරූපයක් පේනවා. ශ්‍යාම් දර්ශනතලයේදී වේදිකාවේදී ඔහු ලැබූ පන්නරය අත්දැකීමක් කරගත්තා මිසක වේදිකා රංගනයක් කරන්න උත්සාහ ගත්තේ නැහැ. ඔහු ඉතා සියුම් ඉඟි මගින් චරිත නිරූපණයක යෙදුණා. ශ්‍යාම්ව අධ්‍යක්‍ෂණය කරද්දී ඔහු කිසියම් ඉරියව්වක් ප්‍රකාශ කරන්න ගත කරන කාලය දැක්කම මට හිතුණේ ඔහු ඉතාම පළපුරුදු සිනමා නළුවෙක් කියලා.


ඔබ විටෙක ඒකාධිපතියෙක් වගේ නළු නිළියන්ගෙන් රංගනය උදුරා ගන්නවා. ඒ මැදිහත්වීම ඔවුන්ගේ තාත්වික රංගනයට බලපෑමක් නේද...?
නළු නිළියන්ගේ රංගනය දකින්නේ අධ්‍යක්‍ෂවරයා මිසක නළු නිළියන් නෙමෙයි. ඒ වගේම ඔවුන් සිටින්නේ සමීප රූපයකද දුර රූපයකද කියලත් ඔවුන් දන්නේ නෑ. මේ චිත්‍රපටයේ සමීප රූප බහුලව භාවිත වන නිසා ඔවුන්ගේ ඇහිපිල්ලමේ සිට පාලනය කරන්න සිදු වුණා. වැදගත් වන්නේ අවසන් ප්‍රතිඵලය. අංජලී පවා පසුව තේරුම් ගත්තා මෙය ඇයගේ හොඳම රංගනයක් කියලා.


කැමරා අධ්‍යක්‍ෂ එම්.ඩී. මහින්දපාල නිර්මාණය තුළ ඇතැම් විට ඔබව අබිබවා යනවා...?
මහින්දගෙයි මගෙයි සම්බන්ධය සාර්ථක විවාහයක් වගෙයි. අධ්‍යක්‍ෂවරයා ලෙස මම කිසියම් ආවේණික ලෝකයක් ඔහුගෙන් ඉල්ලා සිටිනවා. ඔහු මා සමඟ චිත්‍රපට 05ක වැඩ කළා. අප බොහෝවිට දර්ශන තලයේදී හිතන්නේ එකමයි. මම මහින්දගේ අදහස ඡායාරූපකරණයේදී පමණක් නෙවෙයි රංගනයේදී පවා විමසන අවස්ථා තිබෙනවා. අපි අතර එවැනි ආත්ම ගනුදෙනුවක් මිසක පංගුපේරුව පිළිබඳ ප්‍රශ්නයක් නෑ.

වාසනා සුරංගිකා විතානගේ

Share

Privious Articles

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday167
mod_vvisit_counterYesterday269
mod_vvisit_counterThis week436
mod_vvisit_counterLast week10118
mod_vvisit_counterThis month11859
mod_vvisit_counterLast month7172
mod_vvisit_counterAll days2125362

Follow us on Facebook

Online Users

We have 16 guests online