14
Dec

තමන්ට අයිති නැති ආදරයක සුවඳ...

samanala sandawaniya2

ගෙවෙන හැම නිමේෂයක්, නොසිතා කියන වදනක්, හෙලූ බැල්මක්, නොදැනෙන සේ ගැහෙන මිනිස් හදගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටලු රේණුවක්, උදෑසන විලෙක දිලිසෙන තරු කිරණ කණිකාවක් මේ සියල්ල රන්සුනුයි. ලේඛකයන් වන අපි චිරාත් කාලයක් යටි සිතෙන් මෙවැනි අනන්ත අප්‍රමාණ රන්සුනු අවුලමු. අවුලා දිනෙක ඒවා ගෙන එකට තළා අපේම රන් රෝස මලක් නිමවන තෙක් තැන්පත් කොට තබාගෙන සිටිමු. ඒ රන් රෝස මල කතාන්දරයක්, නවකතාවක් හෝ කවියක් වෙන්න පුළුවන්. සාහිත්‍ය නිර්මාණ උපදින්නේ මේ අගය නොමිණිය හැකි රන්සුනුවලින්" පවුස්තොව්ස්කි කොන්ස්ටාන්ටික් නම් ලේඛකයාගේ අපූරු කතාව මට මතක් කළේ ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා...

කියන සංවේදී තැනක සිට රසික හදවත්වලට ආදරයෙන් සමීප වුණ සමනල සංධ්වනිය සිනමා පටය පිළිබඳ සිහින මතකයන්. ලිපිය දිගේ කියවගෙන පහළට යන්න කලින් මට සමාවෙලා ආයෙත් වරක් ලිපිය දිගේ ඉහළටම ගිහින් පවුස්තොව්ස්කි කියපු ඒ කතාව සමනල සංධ්වනිය සමඟ සමපාත කරලා බලන්න. සිනමා පටය තුළින් එහි අධ්‍යක්‍ෂවරයා වන ජයන්ත චන්ද්‍රසිරි නම් අපූරු නිර්මාණකරුවා සමාජගත කරන්න උත්සාහ කළ මුඛ්‍ය අර්ථය ලිපියේ ආරම්භක වැකියේම තියෙනව. එනම් සිනමා පටයෙන් රසිකයන් හමුවන වාදීෂ නම් ජනප්‍රිය කලාකරුවා බිහිවෙන්නේ කුඩා කල සිට සිය හද තුළ පිළිසඳ ගත් ශූන්‍ය ආදරයක මතක සටහන් ඔස්සේ. සිනමාපටය නැරැඹූ බොහෝ පිරිස් එය ආදරයෙන් වැලඳගත්තේ ඔවුන් නැවැත වරක් ප්‍රශ්න කරන්නේ වාදීෂ පුණ්‍යාට ආදරේ කළේ ඇයි? එහෙම ආදරය කරලාද? කියලා. ඔහුත් සමඟ හරියට වචන හතර පහකවත් හුවමාරු කර ගත්තේ නැති ගැහැනියක් සිය පෙම්වතාට යවන ලිපියක් තුළ අන්තර්ගත කරුණු කාරණාවන්ට සංවේදී වන තෙවැනි පාර්ශ්වයන් වන වාදීෂ නම් යෞවනයා ඇයි එහෙම ආදරයක් ජීවිතය කාලය පුරාම හදවතේ දරාගෙන විඳවන්නේ. ඊට ඉතාම කෙටිම සහ නිවැරැදිම පිළිතුර ලිපියේ ආරම්භක වැකියේ තියෙනවා.

මට මගේ නොවන මගේම ආදරය ශූන්‍යයි. නමුත් ඒ වගේ අත්දැකීම් සමහර අයගේ ජීවිතවල තියෙන්න පුළුවන්. බොහෝ දෙනෙක් උත්සාහ කරන්නේ මට මගේම වන මගේම ආදරයක් අත්පත් කරගන්න මිසක් මට මගේ නොවෙන මගේ ආදරයක මතක ඔස්සේ ජීවත් වෙන්න නෙවෙය. මන්දයත් එවැනි ආදරයක් තුළ අයිති වෙන්න දෙයක් නැති නිසා. නමුත් සිනමා පටයේ ප්‍රධාන චරිතය වන වාදීෂ වාසනාවකට හෝ අවාසනාවකට කලාකාමී හිතක් තියෙන අංකුර සංගීතඥයෙක් වීම නිසා ඔහුට ඒ ශූන්‍ය ආදරය දැඩිව දැනෙනවා. එය විටින් විට ඔහුගේ හදවත සංවේදීව ස්පර්ශ කරනවා. ඔහුට හිමිව නොතිබුණ ඔහුගේ නොවන ශූන්‍ය ආදරයට ඔහු එතරම්ම ආදරය කිරීම ගැන එතරම් පුදුම වෙන්න දෙයකුත් නැහැ. මන්ද යත් පවුස්තොව්ස්කි කියන විදියට ගෙවෙන සෑම නිමේෂයක්, නොසිතා කියන වදනක්, හෙළු බැල්මක් නොදැනෙන සේ හැඟෙන මිනිස් හදගැස්මක්, පොප්ලර් ගසකින් පතිත වන මටලු රේණුවක්, උදෑසන විලක දිලිසෙන තරු කිරණ කණිකාවක් යන මේ සියලුම සියුම් සංසිද්ධීන්ට කලාකරුවාගේ සිත දැඩිව සසල කරන්න පුළුවන්. ඒ නිසයි ඔහු ඒවා රත්තරන් කුඩුවලට සමාන කරන්නේ. සමහර විට එවැනි සිදුවීමක මතකයන් සමඟ ඔහුගේ ලෝකයට ඔහුට හෝ ඇයට විඳවමින් හෝ විඳිමින් මියයන තුරුම ජීවත් වෙන්න පුළුවන්. නමුත් සාමාන්‍ය පුද්ගලයාගෙන් කලාකරුවා තවත් වෙනස් වෙන්නේ ඔහු හෝ ඇය විඳීමෙන් හෝ විඳවීමෙන් සෑහීමකට පත්වෙන්නෙ නැතිව සිය හද තුළ පැන නැඟෙන සිතුවිලි දැහැන නිර්මාණයකට කැටි කරනවා. ඒක නිසා තමයි ලියෝ තෝල්ස්තෝයි කලාව යනු එකම අත්දැකීමක් මඟින් මිනිසුන් සුසංයෝග කරන මාධ්‍යයක් කියලා කිව්වේ. වාදීෂ සිය ශූන්‍ය ප්‍රේමය නිසා තමා විඳි වේදනාව තුළ වූ සංවේදී සුන්දරත්වය සංගීතය තුළ දියකර හරිනවා. ඒ තුළ ජනහද බැඳගත් කලාකරුවෙක් බිහි වෙනවා. ඒක නිසා තමයි වාදීෂගේ වේදනාව සිනමාපටය නරඹලා එළියට එන ප්‍රේක්‍ෂකයන්ද විඳින්නේ. ගොඩක් වෙලාවට රසිකයන්ට කවිය රසවිඳිනවා මිසක කවිය, රස විඳින්න අවශ්‍යතාවක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා තමයි මහගමසේකර සිය හෙට ඉරක් පායයි කියන පොතේ මෙහෙම ලිව්වේ.

ඔබ මගේ නම හඳුනයි
මම ඔබේ නම හඳුනමි
ඔබ මගේ මම නොහඳුනයි
මම ඔබේ මම නොහඳුනමි

අන්න ඒ වගේ සමහර වෙලාවට කවියාගේ සමීප දර්ශනය ඉතා දුක්බර වෙන්න පුළුවන්. සමනල සංධ්වනිය තුළ ජීවත් වන තටු සිදුරු වුණ සමනලයා වන වාදීෂගේ සමීප දර්ශනයත් ඉතා දුක්බර වෙන්නේ එම නිසයි.

මෙම සිනමාපටය තුළ පෙම් හසුන ප්‍රධාන තැනක් ගන්න නිසා ඒ ඔස්සේ අෑත අතීතයට ගියොත් බිතෝවන්ගේ නව වැනි සංධ්වනිය එතෙක් මෙතෙක් බිහිවූ ශේ්‍රෂ්ඨ කලා නිර්මාණයක් විදියට සලකනවා. බිතෝවන් වයස අවුරුදු 28දී පූර්ණ බිහිරි බවට පත්වන්නේ සිය ප්‍රථම සංධ්වනිය නිර්මාණය කරන්නත් පෙරාතුව. කන් පිනවන සංගීතයක් බිහිරකුගේ මනසින් බිහිවෙන්නේ බිතෝවන් තුළ වූ ශෝකය දැඩි ප්‍රතිඵලයක් නිසා නොවෙන්නෙ කෙසේද? බිතෝවන් සිය 57 වැනි වයසට පැමිණෙත්ම සදාකාලික නිර්මාණ රැසක් ලොවට දායාද කර අකාලයේ මිය යනවා. නමුත් ඔහු මිය යන අවස්ථාවේ බිතෝවන් විසින් ගැහැනියකට ලියූ ආදරණීය ලිපියක් ඔහුගේ මේසය මත තියෙනවා. මගේ දෙවඟන ලෙස පෙම් හසුනේ ආරම්භය සටහන් වන නමුත් ලිපිය ලබන කාන්තාවගේ නම නම් මෙහි සඳහන් වෙන්නේ නැහැ. එසේම ලිපියේ වර්ෂය සඳහන් නොවන අතර ජූලි 6 ලෙස දිනය පමණක් එහි සඳහන් වෙනවා. බිතෝවන් විසින් ලියා තිබූ ඒ අපූරු පෙම් හසුන බිතෝවන් ලිව්වේ කාටද? ඒක ඇයට නොදුන්නේ ඇයි? කොපමණ කලක් ඔහු ඒ ලියුම ඔහුගේ ළඟ තියාගෙන හිටියාද? අදටත් එය නොවිසඳුණ ප්‍රශ්නයක්. කෙසේ වෙතත් ඔහුට අයිති නැති ආදරයක් ඔහුට තිබුණා කියලා බිතෝවන්ද කියලා තියෙනවා. (ධ් ජ්ධභදඤ ධදතර ධදඥ ඹඩධථ ත ඵඩචතත ඤධභඡබතඥඵඵ දඥමඥප නධඵඵඥඵඵ) අජිත් තිලකසේන නම් විශිෂ්ට කවියාද ඔහුගේ මාරියාව නම් කවි පොතේ පෙම් හසුනක් ගැන මෙහෙම කවක් ලියනවා. එම කවියේ මුල් පද පෙළ මෙම ලිපිය සමඟ කෙසේ ගැළපෙයිද කියලා මම දන්නේ නැහැ. නමුත් එය අපූරුයි. සමහර විට හිතුවොත් මොනවා හරි සබඳතාවක් හදාගන්නත් පුළුවන්.

වලාකුළකත් ගැහැනියකගේ රුව දකින
වැලි කඳු යායකත් ගැහැනියකගේ හැඩ දකින
බොළඳ වියේ කඩඉම
පන්නන්න පෙරාතුව
සීතා එව්ව ලියුම නැතිවෙලා
මම තැපැල් කන්තෝරුවෙත් හෙව්වා
අරුතක් තිබුණත් නැතත්
පැතුවා හිත සනහන වදන්

ඉෂ්රාත් අෆ්රීන් කියන කවියා කවියකින්ම කියලා තිබෙන විදියට විරාගය සහ ආදරය අතර මැද තිබෙනවාලු එක ඍතුවක්. නමුත් සමනල සංධ්වනියේ වාදීෂගේ චරිතය හෙළයේ මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ලියූ විරාගයේ එන අරවින්ද ජයසේන නොවන අතරම ලතින් ඇමෙරිකානු මහා ලේඛකයා වන මාර්කේෂ් ලියූ කොලරා කාලේ ආලේ නවකතාවේ එන ප්‍රධාන චරිතය වන ෆ්ලොරොන්තීනෝ අරීෂාද නොවේ. අරවින්ද සහ අරීෂා යන දෙදෙනාම අර කලින් කිව්ව ආදරය සහ විරාගය අතර මැද ඍතුවක ජීවත් වුණ පෙම්වතුන් වෙනවා. නමුත් බෞද්ධ දර්ශනයෙන් පන්නරය ලැබූ අරවින්ද ජයසේන ලතින් ඇමෙරිකාවේ ෆ්ලොරොන්තීනෝ අරීෂා ඉක්මවා ගිහින් ආශාවන් තුනී කරගෙන මිය යන විට අරීසා ඔහුගේ ආලවන්ත සටන අත නොහැර වයෝවෘද්ධ වෙලා හරි ප්‍රේමය ජයගෙන ජීවත් වෙනවා. "අසීමිත වන්නේ මරණයට වඩා ජීවිතයයි" අරීසා වයස අවුරුදු 75දී සිය පෙම්වතියට එහෙම කියන අතර මැදි වියට පා තබන අරවින්ද පවසන්නේ "මා වඩාත් කලකිරුණේ බතී නිසාය. අෑ නිසාම මගේ කලකිරීම තුනී විය" කියලා. ඒ දෙදෙනාටම වඩා වාදීෂ ආදරයට වඩා සංවේදී යැයි වෙලාවකට හිතෙන්නේ ඔහු ජීවත් වුණේ විරාගය සහ ආදරය අතර ඍතුවක නොව සදාකාලික ආදරණීය නිද්‍රාවක නිසයි.

ජයන්ත චන්ද්‍රසිරි ශ්‍රී ලංකාවේ සිට කවුරු කවුරුත් ස්පර්ශ කළ යුතු ප්‍රේමයේ සොඳුරු හරයක් මතුකරන විට හොලිවුඩය ද ඊඩඥ ට්පඥචබ ට්චඵබඡර නම් නවකතාව ලියනාඩෝ ඩිකැප්රියෝ යොදාගෙන දැවැන්ත සිනමාපටයකට නඟන්නේ ප්‍රේමයේ තවත් අපූරු කියැවීමක් ලොව පුරා වෙසෙන රසිකයන්ට ළං කරන්න. ඇමෙරිකානු නවකතාවේ කතා නායකයා වන ජේ. ගැස්ට්බිට තියෙන්නේ ඔහුට හිමිවූ ආදරය අහිමිකර ගැනීමක්. එසේම ඔහු ඉකිගසා හඬන අතීතයක කඳුළු එක්ක ගනුදෙනු කරනා මතක සමඟ වැලපෙන්නේ නැතිව සියල්ල සිත සිතිත් දරාගෙන ආදරය අහිමි වීමට හේතු සාධකය ලෙස ඔහු සැලකූ භෞතික සම්පත් වන මුදල් සහ ධනය රැස් කර ගැනීමට දැවැන්ත සටනක යෙදෙනවා. සියල්ල පරිපූර්ණ වූ පසුව ඔහු ධනවාදී සිහිනයක හිඳිමින් අතීතය වෙනස් කරන්න උත්සාහ ගන්නවා. ඔහු ධනවතෙක් වුණත් ආදරය අහිමි කර ගැනීමේ ඇරියස් එක ගන්න සල්ලාලයෙක් ලෙස කාන්තා ජීවිත සමඟ සෙල්ලම් කරන්නේ නැහැ. ඔහු නිව්යෝර්ක් නගරයේ පවත්වන ලොකුම සාද පවත්වමින් ජනතාවට සිය මුදල්වලින් නොමිලේ සතුටු වෙන්න ඉඩ සලසනවා. ඒ ඔහු තුළ වූ ශෝකය මඟහරින්න ඔහු භාවිත කරනා ක්‍රමය. නමුත් කිසිම දේකින් අතීත දුක නැවත වෙනස් කරන්න බැරි බව ඔහුට වැටහෙන කොට ඔහු පමාවෙලා ඉවරයි.

කැලුම් වැලිගම

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday224
mod_vvisit_counterYesterday263
mod_vvisit_counterThis week1168
mod_vvisit_counterLast week3371
mod_vvisit_counterThis month12731
mod_vvisit_counterLast month15460
mod_vvisit_counterAll days2099822

Follow us on Facebook

Online Users

We have 20 guests online