26
Nov

නිල විචාරය අහෝසියි-ගුණසිරි සිල්වා

ගුණසිරි සිල්වා යනු සිනමාව ගැන කතා කරනවා නම් අමතක කළ නොහැකිම තවත් නමකි. දශක හතරකට ආසන්න කාලයක් පුරා ඔහු මාධ්‍යවේදියෙක් සේම, සිනමා ලේඛකයෙක්, විචාරකයෙක් ලෙසින් රටට කළ සේවය බොහෝයි. හැත්තෑව දශකයෙන් සිය කලා ගමනේ ආරම්භය සනිටුහන් කළ ගුණසිරි සිල්වා සකුරාසිනමා සඟරාව ආරම්භ කළේ 1976 වසරේදීයි. ඇත්ත පුවත්පතට සම්බන්ධව කළ මාධ්‍ය කටයුතු අතරේ සිනමා විචාරවලට අමතරව නවකතා, කෙටිකතා, පරිවර්තන මෙන්ම නාට්‍ය නිර්මාණයන්ද ඉදිරිපත් කළේ ඔහු සතු වූ විවිධාකර වූ කලා හැකියා ඉස්මතු කරමින්. මේ වසරේදී ඔහුගේ නිර්මාණ කාර්යය අතරට එක් වූ නවතම කෘතිය ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක්කෘතිය යි.

ඇත්ත වශයෙන්ම විචාරකයා හඬ නැගිය යුත්තේ සුළු පිරිසක් අතරේ දෝලනය වන උසස් චිත්‍රපට බහුතරයක් වෙත ගෙන යෑමේ කාර්යය වෙනුවෙනි. මෙහිදී බහුතරයක් වෙත ගෙන යෑම වෙනුවෙන් අදහස් කෙරෙනුයේ බහුතරයේ විඥානයට ආවැඩිමක් නොව උසස් චිත්‍රපට රස විඳීම සඳහා බහුතරයක් ගොඩනැංවීමකි. මේ සඳහා ද විචාරකයෙකුට කළ හැකි කාර්යය සීමා සහිතය.

චිත්‍රපට කලාව පමණක් නොව මොනම කලාවකවත් උසස් තත්ත්වයක් පොදුජන රසඥතාව අනුව සැකසෙන්නේ නැත.http://www.sarasaviya.lk/2015/11/26/Gunasiri-01.jpg" >

කලාකෘතියක් යනු

අප අවට සමාජයේ ප්‍රතිනිර්මාණයක් වුව ද එය කලාකරුවාගේ පරිකල්පනය ශක්තියේත්, සියුම් සංවේදීතාවයේත් මහඟු ප්‍රතිඵලයකි. එවැන්නක් රස විදීම සඳහා රසඥතාවක් අවශ්‍ය වෙයි. සහෘදයා ලෙස අප හඳුන්වනුයේ එසේ ප්‍රගුණ කළ මනා රසඥතාවක් ඇත්තෙකුටය.” (ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක්)

සිනමා ලේඛකයෙක් විචාරකයෙක් ලෙසින් ඔබ වර්තමාන සිනමාව දකින්නේ කෙසේද?

මේ වන විට අපේ රටේත් ජාත්‍යන්තර මට්ටමේ චිත්‍රපට නිර්මාණය කිරීමට තරම් අධ්‍යක්ෂවරුන් බිහි වී සිටිනවා. ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි සිනමාකරුවන් වර්තමානයේ සිටිනවා මෙන්ම මෑත කාලයේ සිනමාවට පිවිසි තරුණයන් ගත්තම අපේ සිනමාවේ ඉදිරිය තියෙන්නේ ඔවුන්ගේ අතේ. අනාගතවාදී සිනමාවකට දැන් මාර්ගය විවර වෙලා. දක්ෂ නවකයන් සිටියත් ඔවුන්ට විවිධ ප්‍රශ්නවලින් නම් අඩුවක් නැහැ. ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක්කෘතිය සමඟින් බැලීමේදීත් ඇත්තටම ජයවිලාල් සහ ජයලත් දෙනොම එදා සිට දැවැන්න සටනක් ගෙන ගියේ අපේ සිනමාවේ හැඩරුව වෙනස් කරන්නයි. දෙදෙනාම වෙහෙසුනේ ආරම්භයේදී සිංහල සිනමාව සතුව තිබුණු ද්‍රවිඩ භාෂිය ගති ලක්ෂණවලින් මුදා ගෙන දේශීය අනන්‍යතාවයක් ගොඩනැඟීමටයි. ඔවුන් එදා කළ අරගලය දැන් ඵල ලබලා එය විවිධ ඉසව්වලට පැතිරී තියෙනවා.

ජයවිලාල් සහ ජයලත් දෙදෙනා මේ කෘතිය සඳහා යොදා ගන්න විශේෂ හේතුවක් තිබුණාද?

මේ කෘතිය සංස්කරණය කර නැවත මුද්‍රණය කළ කෘතියක්. මුලින්ම එය මුද්‍රණය කළේ 1986 වසරේදීයි. එවිට මෙහි ඇතුළත් වුණේ ජයවිලාල් පිළිබඳ පමණයි. කරුණාසේන ජයලත් ද දේශීය සිනමා කලාවක් වෙනුවෙන් අප්‍රමාණව වෙහෙසුනු විචාරකයෙක්. ඒ නිසා මෙම නව සංස්කරණය ජයවිලාල් - ජයලත් සිනමා විචාර විමසීමක්ලෙසින් එළිදැක්වූවා. ජයවිලාල් කියන්නේ අපේ සිනමාව දේශීය මුහුණුවරක් සඳහා විශාල සටනක් ගෙන ගිය සිනමා විචාරකයෙක්. ඔහුගේ විචාර එතෙක් සිනමාව සතු වූ හැඩරුව වෙනස් කිරීමට ලොකු අරගලයක් ගෙන ගියා. දෙමළ, හින්දි චිත්‍රපට ආභාෂයෙන් සිංහල චිත්‍රපට නිර්මාණය කිරීමට විරුද්ධව ඔහු සිය පෑන මෙහෙය වූවා. එවැනි සිනමා නිර්මාණ ඔහු අතින් නිර්දය ලෙසින් විවේචනයට ලක් වුණා. ඒවා හෙළා දුටුවා. මේ විවේචන කෙතරම් ප්‍රබල වූවාදැයි කිවහොත් ඔහු සිනමා නිර්මාණකරුවන්ට විශාල අභියෝගයක් බවට පත් වුණා. නිර්මාණකරුවන්ට කෙතරම් රිදුනාදැයි කිව්වොත් ඇතැමුන් ඔහු මර්ධනය කරන්න පවා උත්සාහ දැරූ අවස්ථා තිබුණා. ඔහුට  පහරදීමට ඔවුගේ චරිතය සිනමා නිර්මාණවලට පවා එක් කරන්න ඇතැම් නිර්මාණකරුවන් කටයුතු කළා.

කරුණාසේන ජයලත් මෙරට සිනමාව වෙනුවෙන් ලිපි හා විචාර ඉදිරිපත් කිරීම වෙනුවෙන් විශේෂ ස්ථානයක් හිමි වෙනවා. නමුත් ඔහු වඩාත් ප්‍රසිද්ධව සිටින්නේ නවකතාකරුවකු ලෙසින් පමණයි. කරුණාසේන ජයලත්ද ලාංකේය සිනමාව දකුණු ඉන්දීය මුහුණුවරින් ගලවා ගැනීමේ දැවැන්ත සටනට උරදුන්නේ සෑබෑම දේශීය සිනමාවක අනන්‍යතාවය වෙනුවෙන්. සිනමාවේ කලාත්මක හැඩරුව නිර්මාණය කර ගැනීම වෙනුවෙන් ජයවිලාල් විලේගොඩ මෙන්ම කරුණාසේන ජයලත් ද දැවැන්ත සටනක් ගෙන ගියා.

එනිසාම මේ දෙදෙනා පිළිබඳ විමසීම වර්තමානය සිනමාවේ ගමන් මඟට ඉතාම වැදගත් වෙනවා. අද වනවිට සිනමා විචාරයේ තියෙන අර්බුද වැනි මේ සියල්ලම සොයා බැලිය යුතු වන්නේ අතීතය තුළට කිඳා බැසීමෙන් පමණයි. ඔවුන් එදා මොනවාද ලිව්වේ, එදා තිබූ ඌණතා මොනවාද? සක්‍යතා මොනවාද යන මේ සියල්ල වග විභාග කිරීම මේ ඔස්සේ සිදු කෙරෙනවා.

සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිනමා ලේඛකයෙකුට විචාරකයෙකුට කළ හැකි දේ?

විශේෂයෙන්ම සිනමා ලේඛකයෙකුට සිනමාව පිළිබඳ විචිතවත්‍්‍ර සංස්කෘතියක් බිහි කරන්න පුළුවන්. සිනමා විචාරකයා කරන්නේ සිනමා නිර්මාණයක් පිළිබඳ සහෘදයා දැනුවත් කිරීමයි. සිනමා කෘතිය ඇතුළත තිබෙන දේ නිර්වචනය කරමින් කෘතිය සමඟින් සහසම්බන්ධයක් ඇති කරන්නේ විචාරකයා. සහෘදයා තුළ සහඅනුභූතිය ඇති කරන්නේ විචාරකයා විසින්. ජයවිලාල් ගත්තාම ඔහුගේ කාර්යය මීට වඩා වෙනස් වුණා. අපේ සිනමාව සිංහල සිනමාවක් බවට පත් කිරීමේ වගකීම ගෙන සිටීම එයට හේතුවක් වුණා. වර්තමානයේ අපි ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ හදනවා. නමුත් එදා ජයවිලාල් තම පෑන හැසිරවූයේ සිංහල අපේම නිර්මාණ බිහි කිරීම වෙනුවෙන්. මේ අරගලය ඇතුළේ අපට දෘෂ්ටික ඌණතා තියෙනවා. ඒ නිසා තමයි මම මේ කෘතිය නැවත ලියන්නේ. ඔවුන්ගේ දේ සමතික්‍රමණය කරමින් අපි ඔවුන්ගේ විචාරවල ඌණතා සාකච්ඡා කරනවා. වර්තමාන විචාරකයන්ට මෙය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ටත් මහඟු උපකාරයක් වේවි. අපේ සිනමාවට තිබූ ස්ථානය, ඔවුන් භාෂාව පාවිච්චි කළ අකාරය, සිනමාව පිළිබඳ තිබූ දැනුම අදී බොහෝ දේ මේ තුළ සාකච්ඡා කෙරෙනවා.

මේ දක්වා ඔබ කළ මෙහෙවරෙන් බලාපොරොත්තු වූ ප්‍රතිලාභය ලැබුණාද?

වර්තමාන පරපුර ඒ ප්‍රතිලාභය භුක්ති විඳින බව මම හිතනවා. මම බොහොම නිහතමානීව ඒ ගැන සන්තෝෂ වෙනවා. විශ්වවිද්‍යාලයන්හි ජනසන්නිවේදනය හදාරණ සිසු සිසුවියන්ට බොහෝවිට පරිශීලනය කරන්න නිශ්චිත පොත් ඇත්තේ නැහැ. වර්තමානයේ ඇතැම් පැරණි සිනමා නිර්මාණ සොයා ගැනීමත් ඉතාම අපහසු දෙයක්. ඇතැම් නිර්මාණයන් පවා විනාශ වෙලා. මම මෙතෙක් ලියූ කෘතිවල පැරණි සිනමාව පිළිබඳ විචාර ලිපි ආදිය පරිශිලනය කිරීමෙන් තොරතුරු රාශියක් සොයාගත හැකියි. අපේ පරපුරේ බොහෝ දෙනාගේ අනෙක් කෘති තුළිනුත් එම දැනුම සොයන්නන්ට මහඟු උපකාරයක් වෙලා තියෙනවා. ඕනෑම දෙයකට සාහිත්‍යයක් අවශ්‍ය වන්නාසේම සිනමාවටත් සාහිත්‍යයක් අවශ්‍යයයි. මේ අනුව අපේ සිනමා සාහිත්‍ය පෝෂණය කිරීමටත් මගේ කෘතිවලින් යම් උපකාරයක් වී ඇතැයි සිතනවා.

වර්තමානයේ නිසියාකාර විචාරක කලාවක් නොමැති බවට චෝදනාවක් තියෙනවා?

මේ තත්ත්වය වලංගු වන්නේ අදට පමණක් නොවෙයි. ඇත්තටම විචාරකයෙක් සැමවිටම අදීන විය යුතුයි. ජයලත් සහ ජයවිලාල් තුළ පැහැදිළිවම මේ අදීනකම තිබුණා. විශේෂයෙන්ම ජයවිලාල් තුළින් එය වඩාත් හොඳින් කැපී පෙනුණා. ඔහු කිසිසේත්ම නැමුණේ නැහැ. අද වන විට නිල විචාරය පේ‍්‍රක්ෂකයා පිළිගන්නේ නැති තත්ත්වයට ඇවිත් තියෙනවා. අදීනකම, විචාරකයාගේ කොන්ද පණ නැති වීම විචාරවල අර්බුදයක් ඇති වෙන්න හේතුවක්. අද චිත්‍රපටයක් විවේචනය කරලා හෙට අධ්‍යක්ෂවරයා සමඟ කතා කරන්න විචාරකයාට ශක්තිය තිබිය යුතුයි. අපි ඒ අදීනකම හදා ගත්තා. මම හොඳ සිනමා කෘති ඉතා හොඳින් ඇගයුවා වගේම දුර්වල කෘති අතිශය නිර්දය ලෙස හෙළා දුටුවා. නමුත් මට ඒ හැම නිර්මාණකරුවෙක් දෙසම කෙළින් බලන්න පුළුවන්. හැම විචාරයකුටම තමන්ගේ භූමිකාවේ ගරුත්වය රැක ගැනීමෙන් ඔහුට නොබියව මුහුණ දෙන්න පුළුවන්. නමුත් බොහෝවිට සිදු වන්නේ ඇතැම් විචාරකයන්ට එසේ කිරීමට නොහැකි වීමයි.

ඒ විතරක් නොවෙයි විචාරකයෙකුට සිනමා නිර්මාණයක් ඇතුළේ කැමරාකරණය, සංස්කරණය ආදි අන්තර්ගතය වගවිභාග කරන්න ඕනි. ඉන් පසුව කිසියම් සාකච්ඡාවක යෙදෙන්න නම් ඔහුට හොඳ දැක්මක් තිබිය යුතුයි. මේ දැක්ම නැති වුණාම සිනමා විචාරයේ බර හෑල්ලු වෙනවා. එවිට අහවල් නළුාගේ රඟපෑම් හොදයි, කැමරාකරණය හොඳයි, සංස්කරණය හොඳයි වැනි දේ කීමෙන් සහෘදයා සෑහිමකට පත් වෙන්නේ නැහැ. වර්තමාන විචාරයේ තියෙන්නේ මේ අඩු ලුහුඩුකම තමයි. මේ අතර නිර්භයව තමන්ගේ අදහස් ප්‍රකාශ කරන අලුත් තරුණ පරපුරකුත් බිහිවෙලා සිටිනවා. අනාගත සිනමා විචාරය පවතින්නේ ඔවුන් අතේ.

විචාර කලාව කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න විශේෂ වූ කාරණාව සඳහන් කළොත්?

මම ඇත්තටම කුඩා කාලයේ ලේඛකයෙක්, සිනමා විචාරකයෙක් හෝ පුවත්පත් කලාවේදියෙක් වෙන්නවත් හිතුවේ නැහැ. සිනමාව ඇසුරු කිරීමෙන් මා ලද ආශ්වාදය සමඟ අද මම ජයවිලාල් වගවිභාග කළත් විශේෂයෙන්ම මේ තැනට එන්න ජයවිලාල් විලේගොඩගේ විචාරයන් ප්‍රබල හේතුවක් වුණා. මම පාසල් වියේදී ඔහුගේ විචාර කියවන්න පුරුදු වෙලා හිටියා. මගේ පාසල් මිතුරා වූ මනෝ වීරසේකර තමයි මට මේ විචාර ගෙනත් දුන්නේ. පසු කලෙක මී හරකා චිත්‍රපටය නිෂ්පාදනය කළේ ඔහු විසින්. අපි මේ විචාර කියවලා ඉස්කෝලේ කට් කරලා ගිහින් චිත්‍රපට බලනවා. ඒ නිසා අපට හොඳ සිනමාවක් ඇසුරු කිරීමේ පෙරහුරුවක් ලැබුණා. කසිකබල් වාණිජ රැල්ලේ චිත්‍රපට අප අතින් ප්‍රතික්ෂේප වුණා. ඉන් පසුව චිත්‍රපටයක් නරඹලා විචාරයක් ලියන පුරුද්දක් මට ඇති වුණා. එය චිත්‍රපටයට පමණක් සීමා වුණේ නැහැ.

පාසල් සමයෙන් පසුව මම අසීමිතව පොත් කියවන්න පටන් ගත්තා. එක විෂය පථයක් නොව චිත්‍ර කලාවද, දර්ශනයද, දේශපාලනයද ආදි වශයෙන් අතට හසුවන සෑම පොතක්ම මම කියවන්න පුරුදු වුණා. ඇත්තටම විචාරකයෙකුට මේ සියල්ල අවශ්‍යයි. සිනමාව පමණක් නොවෙයි ඔහු සෑම විෂය ක්ෂේත්‍රයක් ඔස්සේම දැනුම ලබා ගත යුතුයි. පාසල් කාලයෙන් පසුව මගේ කාලය ගෙවුනේ පුස්තකාලයේයි. තරුණ කාලය ගෙවුණේ සිනමා ශාලාවල වගේම සම්මන්ත්‍රණ ශාලාවල සංවාද සමඟින්.

මම ඇත්තටම නිර්මාණකරුවෙක්. නමුත් මේ විචාරකරණය නිසා මගේ නිර්මාණකරණය ඇණහිටියා. නවකතා, කෙටි කතා ලිව්වා, නාට්‍ය නිර්මාණ කළා. විචාර කලාවට අවධානය යොමු කිරීම නිසා මේ නිර්මාණකරණයට ඉඩක් ලැබුණේ නැති තරම්. එහෙම නොවුණා නම් වෙනත් සාහිත්‍යකරුවෙක් වෙන්න ඉඩ තිබුණා. මගේ ඇතැම් නවකතා සිනමා නිර්මාණ කෙරෙහි පවා අවධානය යොමු වෙලා තියෙනවා. කෙටි චිත්‍රපට කිහිපයකටම ඒ නිර්මාණ දායක වෙලා තියෙනවා. ඒ නිර්මාණකරණයට තිබූ කාලයත් මම විචාර වෙනුවෙන් කැප කළා.

දැන් ආයෙමත් සකුරා සඟරාව එළිදක්වන්න හොඳ කාලය කියා හිතෙන්නේ නැතිද?

ජයවිලාල්ගේ සිනමා විචාර කියවලා ඒ උණත් එක්ක තමයි තනියම පත්තරයක් කරන්න වූවමනාව ඇති වුණේ. සකුරාසිනමා සඟරාව හරහා එදා කළ කාර්යය අද කරන්න අවශ්‍ය නැහැ. ඒ වැඩ කොටස අද සිදුවෙලා අවසන්. එක එක යුගවල අවශ්‍යතා එකිනෙකට වෙනස්. අද අපට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙන දෙයක්. ඒ වගේම එදා සකුරාකළ මට්ටමෙන් එය දැන් කරන්නත් බැහැ. එවැනි සිනමා ප්‍රකාශය අවශ්‍ය වුණත් සකුරා පටන් ගත් තැනින් එය කරන්න අපහසුයි. ඉන් පසුව කැටපතකළා. 70 දශකයේ තරුණයන්ට අපි කළ දේ මඟින් සිනමාව පිළිබඳ යම් උත්තේජනයක් ලැබෙන්න ඇති.

වර්තමාන පරපුර දෙස බලන විට සිනමාවට තියෙන ලැදියාව දකින්නේ කුමන ආකාරයෙන්ද?

අපේ පරපුර සහ වර්තමාන පරපුර අතර අහස පොළ වගේ දැවැන්ත වෙනසක් තියෙනවා. අපි මේ විචාර කාර්යයට එළඹෙන විට අපට තිබුණේ සංවෘත ආර්ථිකයක්. ඒ කාලයේ අපට තාක්ෂණය ලැබිලා තිබුණේ නැහැ. නමුත් 77 විවෘත ආර්ථිකය සමඟ නව තාක්ෂණ මං අපට විවර වෙනවා. මේ හරහා පැමිණි නව තාක්ෂණික උපකරණ අද වන වන මුද්‍රිත මාධ්‍යයට වඩා ඉදිරියට ඇවිත්. අන්තර් ජාලය, ජංගම දුරකථනය, පරිගණක ආදිය නිසා ජාත්‍යන්තරය කරා යන්න ගත වෙන්නේ ඉතාමත් පොඩි කාලයක්. එදා අපි කාපු කට්ට අද තරුණ තරුණියන් කන්න ඕනි නැහැ. මේ පරපුරට අර පසුගාමී බව විහිළුවක් වගේ. ඔවුන් දැන් පසුගාමීකමක් දකින්නේ නැහැ. මේ ඩිජිටල් පරපුරට සිනමා ශාලාවලට ගිහින් චිත්‍රපට බලන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතාම හොඳ චිත්‍රපට බලන පොඩි පිරිසක් මේ තරුණ පරපුරේ ඉන්නවා. ඒක නම් හැම කාලයටම සාපේක්ෂයි. අපේ කාලයෙත් සිනමාවට ලැදි, පොතපත කියන අය හිටියේ ස්වල්ප පිරිසක් පමණයි.

ඔබ සිනමාව පිළිබඳ පමණක් නොවෙයි දේශපාලනයක් විචාරයට ලක් කළා. මේ අංශ දෙක එකිනෙකට බලපෑමක් කරන්නේ නැතිද?

කිසිම ආකාරයක බලපෑමක් වන බව මම හිතන්නේ නැහැ. ඒ වගේම මම එදා සිට අද දක්වාම කිසිම දේශපාලන පක්ෂයක නැහැ. යම් යම් කාලවල මගේ ලේඛනය ආණ්ඩු වෙනස් කරන්න පවා කටයුතු කළා. පක්ෂවලට අයත් පුවත්පත්වලත් මම සේවය කළා. කාලයක් මම ඇත්ත පුවත්පතේ වැඩ කළා. එය මගේ ලේඛන කලාවේ තිඹිරිගෙය යි. ඇත්ත පුවත්පත කොමියුනිස්ට් පක්ෂ පුවත් පතක්. නමුත් මම කවදාවක් කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් වුණේ නැහැ. පසුගිය කාලයේ සියරට පුවත් පතේ සේවය කළා. එය එක්සත් ජාතික පක්ෂයේ නිල පුවත්පත. මම කාලයක් එහි කතෘත්වය දැරුවා. නමුත් මම එක්සත් ජාතික පක්ෂ සාමාජිකයෙකුත් නෙවෙයි. මම ස්වාධීනයි. හැම සත්ත්වයෙක්ම දේශපාලනිකයෙක්. විචාරකයාටත් තියුණු දේශපාලන දැක්මක් තිබිය යුතුයි. මගේ විචාරවලත් දේශපාලනමය පැත්තක් තිබුණා. අසූව දශකයේ මගේ විචාර තරුණයන් අතර ජනප්‍රිය වෙන්නත් ඒක හේතු වෙන්න ඇති. ඒක කෙතරම් සාධනීයද කියලා නම් මම දන්නේ නැහැ. බොහෝ දෙනෙක් අපි හැඳින් වූයේ මාක්ස්වාදී විිචාරකයෝ කියලයි. ඒ වෙනකොට විචාර ලියවුණේ දේශපාලන දෘෂ්ටිවාදයක සිටිමිනුයි. ඒ නිසා මෙය දෙකක් වන්නේ නැහැ. විචාරකයා දේශපාලනයෙන් පෝෂණය වෙනවා. දේශපාලන දැක්මෙන් මගේ සිනමා විචාරය පෝෂණය වෙනවා. සියල්ල පෝෂණය වන්නේ මේ දේශපාලන දැන්මත් සමඟයි. දේශපාලන පක්ෂයක් නියෝජනය කරනවා යන්න එයින් අදහස් කරන්නේ නැහැ. කිසිම කෙනෙක් අනිවාර්යයෙන් පක්ෂයක් ගත යුතු වන්නේ නැහැ. දේශපාලන චින්තනය පුළුල් දෙයක්. ලෝකය දකින හැටි. දේශපාලනිකයෙක් වෙන්නේ කොහොමද?, ජාත්‍යන්තර කටයුතු ආදි මේ සියල්ලම දේශපාලනය අනුව සිදු වෙන්නක්. ඒ නිසා මේ දෙක අතර බලපෑමක් ඇති වන්නේ නැහැ.

යතේජා ඥානරත්න

ඡායාරූප මාලන් කරුණාරත්න

(සරසවිය-2015-11-26)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday53
mod_vvisit_counterYesterday441
mod_vvisit_counterThis week3357
mod_vvisit_counterLast week1584
mod_vvisit_counterThis month7457
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1990246

Follow us on Facebook

Online Users

We have 52 guests online