27
Dec

60 දශකයේ නිළි රැජණ රුක්මණී - රුක්මණීගෙන් පස්සේ නිළි රැජණ මාලිනී- අර්නස්ට් වඩුගේ

පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සිග්නීස් සිනමා උත්තමාචාර උළෙල පැවැත්වුණේ ප්‍රවීණ නිළි පුණ්‍යා හීන්දෙනියගේ ප්‍රධානත්වයෙනි. එහිදී පුණ්‍යා හීන්දෙනිය 60 දශකයේ සිංහල සිනමාවේ නිළි රැජන ලෙස අවධාරණය කිරීම බොහෝ දෙනෙකුගේ කතාබහට සහ විවාදයට තුඩුදුන් කරුණක් විය. පුණ්‍යා හීන්දෙනිය විශිෂ්ටතම චරිතාංග නිළියක වුවද 60 දශකයේ නිළි රැජන ලෙස අවධාරණය කිරීම මේ රටේ සිනමා ඉතිහාසය හදාරණ විද්‍යාර්ථීන් නොමඟ යැවීමක් බැවින් එය නිවැරදි කළ යුතු බවද බොහෝ දෙනාගේ අදහස විය. ඒ අනුව අපේ සිනමා ඉතිහාසය සමඟ සමීපවම කටයුතු කළ ඒ සම්බන්ධයෙන් බොහෝ අත්දැකීම් ඇති ජ්‍යෙෂ්ඨතම මාධ්‍ය වේදියකු වන අර්නස්ට් වඩුගේ මහතාගෙන් අදහස විමසුවෙමු.

ඉතිහාසය කියන එක අභිධර්මය වගෙයි. එය වෙනස් කරන්න යෑම ඉතිහාසය විකෘති කිරීමක් විතරක් නෙවී ඉතිහාසය විනාශ කිරීමක්. අද බොහෝ විට ඇතැම් පුවත්පත්වල සහ මාධ්‍යවල සිංහල සිනමා ඉතිහාසය ගැන සඳහන් කෙරෙන්නේ අසා දැනගත් තොරතරු මතයි. නමුත් මා සිංහල සිනමාවේ ඈත ඉතිහාසය සමඟ ජීවත් වුණු කෙනෙක්.  මං ඉතිහාස කරුණු සඳහන් කරන්නේ අත්දැකීමෙන්.

වඩුගේ මහතා අප සමඟ අදහස් දැක්වීම ආරම්භ කළේ එලෙසිනි.

*ඇත්ත වශයෙන්ම 60 දශකයේ නිළි රැජන රුක්මණී දේවී බවයි බොහෝ දෙනා කියන්නේ. ඒ ගැන ඔබේ මතය මොකක්ද?

කිසිම විවාදයක් නෑ. 60 දශකයේ නිළි රැජන රුක්මණී දෙවියයි. ඇය එසේ අභිෂේක ලබන්නේ කොහොමද කියන කාරණය පැහැදිලි කිරීම වැදගත්.

1947 ජනවාරි 21 දා මේ රටේ පළමු කතානාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ ත් සමඟයි රුක්මණීදේවි නිළි රැජන ලෙස ජනතාව අතර අභිෂේක ලබන්නේ.

එදා ‘කඩවුණු පොරොන්දුව‘ මුලින්ම තිරගත වුණේ කිංස්ලි සිනමා ශාලාවේ. ඒ වෙනුවෙන් කොළඹ වීදි පුරා සරසා තිබුණේ වෙසක් උත්සවයක් වගෙයි.

‘කඩවුණු පොරොන්දුවේ‘ ප්‍රධාන නිළි රුක්මණී දෙවි සහ එඩී ජයමාන්න විවෘත රථයකින් පෙරහැරකින් තමයි කිංස්ලි සිනමා ශාලාව වෙත කැඳවාගෙන ගියේ. එඩී - රුක්මණී රැගත් රථ පෙරහර නරඹන්නට එදා කොළඹ වීදි දිගේ රැස්කකා සිටි ජනතාව ඔවුන් දුටු ගමන් ඔල්වරසන් දෙන්න පටන් ගත්තේ හරියට ඒ කාලේ එඩින්බරෝ ආදිපාදතුමයි - එලිසබත් රැජනයි දැක්ක වගේ ගෞරවයක් එදා රසික ජනතාව තුළ ඇති වුණා. ජනතාව ඔවුන් දුටු ගමන් එක දිගට ඔල්වරසන් දෙන්න පටන් ගත්තා.

එදා කඩවුණු පොරොන්දුවේ මංගල දර්ශනය සඳහා ප්‍රධාන ආරාධිතයා වුණේ අගමැති මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක මහතායි. නමුත් ඒ  ප්‍රධාන රාජ්‍ය නායකයා පවා අබිබවා ගිය පිළිගැනීමකුයි එදා රුක්මණීට තිබුණේ.

‘කඩවුණු පොරොන්දුවේ‘ රුකමණී දේවි මුලින්ම තිරය මත දිස්වන්නේ දුක් ගීයක් කිය කියා හඬමින්. සිංහල සිනමාව ආරම්භ වුණේ අඬ අඬා කියා විචාරකයන් කියන්න පටන් ගත්තේ ඒ නිසයි නමුත් රුක්මණී දේවි අඬන විට එදා අපේ රසික ජනතාව කළේ ඇයට ආචාර කරමින් ඒ විදියට විනාඩි ගණනාවක්ම අත්පොලසන් දෙන එකයි. එතරම්ම සතුටක් එදා ජනතාව තුළ තිබුණා.

චිත්‍රපටය අවසන් වීමත් සමගම සමරු පොත් අත්සන් කරන රසිකයන් අතරේ මුලන්ම හිටියේ මහාමාන්‍ය ඩී. ඇස්. සේනානායක අගමැතිතුමා.  එතුමා නිරහංකාරව ඔහුගේ සමරු පොත අත්සන් කරන්න රුකමණීගේ අතට දුන්නා. දැන්නම් මේ රටේ කලාකරුවන් දේශපාලකයන්ගෙන් සමරු පොත් වලට අත්සන් ගන්නවා මිසක් දේශපාලකයන් කලාකාරයන්ට සමරු පොත් දෙන්නේ නෑ.

රුක්මණී වගේම ඇගේ සැමියා එඩී ජයමාන්නටත් මේ රටේ ජනතාව තුළ තිබුණේ පුදුම ගෞරවයක්. දවසක් දෙමටගොඩ රේල් ගේට්ටුව අසල එඩී - රුක්මණී ගමන්ගත් වාහනය නතර කරන්න සිදුවුණා. දුම්රිය ගමන් කරන තෙක්. එඩී - රුක්මණී රැඳී සිටි වාහනය අසලින් ගිය අයගේ ඇස ගැටීමත් එක්කම තවත් පිරිසක් එතෙන්ට ඇදෙන්න පටන් ගත්තා. ඒ අය මොටර් රථය වටකරගෙන සිටින විට එකවරම එතැනට දහස් ගණනින් පිරෙන්න පටන් ගත්තා. සෙනඟ පාලනය කිරීමට පොලිසියත් කැඳවන්නට සිදුවුණා.

මා මේ කාරණය කිව්වේ රුක්මණීට තිබුණු අසීමිත ගෞරවය පිළිගැනීම සහ ජනප්‍රියත්වය කොයිතරම් ද කියලා පෙන්වා දෙන්නයි. ඒ ගෞරවය සමඟ ඇය ඉබේටම මේ රටේ රසික ජනතාවගේ එකම නිළි රැජන බවට පත් වුණා.

*එතරම් ගෞරවයක් - පිළිගැනීමක්  - ජනප්‍රියත්වයක් රුක්මණීට හිමිවීමට බලපෑ හේතුව මොකක් ද?

ඒකට ප්‍රධානම හේතුව මේකයි. අ‍පේ රටේ මිනිස්සු එදා සිංහල හඬින් කතාකරන - සිංහල හඬින් ගීතයක් ගැයෙන - සිංහල නළු නිළියන් සිංහල චිත්‍රපටයකින් දකින්න කාලයක් තිස්සේ හීන දැක්කා. ඒ හීනය තමයි ‘කඩවුණු පොරොන්දුව‘ චිත්‍රපටයෙන් සැබෑ වුණේ.

ඉතිං කඩවුණු පොරොන්දුවේ ඇය ප්‍රධාන නිළිය වීම අපේ මිනිස්සුන්ට ලොකු සතුටක්. මොකද ඇය කඩවුණු පොරොන්දුව චිත්‍රපටය නිපදවන්න කලින් මිනර්වා නාට්‍ය කණ්ඩායමේ ප්‍රධාන නිළිය හැටියට ජනප්‍රිය වෙලා හිටියා. ඒ වගේම ගායිකාවක වශයෙනුත් අසීමිත ලෙස ජනප්‍රිය වී සිටියා. ඇය එච්.ඩබ්. රූපසිංහ සමඟ ‘සිරි බුද්ධගයා විහාරේ‘ ගීතය කිව්වේ වයස අවුරුදු 13 දී යි. ඇයට තිබුණේ අසාමාන්‍ය හඬක්. රසිකයන් ඒ අපූරු කටහඬට වශීකෘත වුණා. ඉංග්‍රීසි පත්තර වලින් ඇය හැඳින්වූයේ Nighting gale හැටියටයි.රුක්මණීගේ කටහඬ ඉක්මවා යන ගායිකාවක් මේ රටේ බිහිවෙලා නෑ. එ‍්කෙන් අදහස් වෙන්නේ නෑ රුක්මණීගෙන් පස්සේ මේ රටේ විශිෂ්ට ගායිකාවක් බිහිවුණේ නෑ කියල. නමුත් රුක්මණීට තිබුණේ ඇයටම ආවේනික වූ ‍ශෝකී හඬක්.

*රුක්මණී - එඩී රඟපෑ මිනර්වා නාට්‍යයට මොනවගේ ඉල්ලුමක් ද එදා තිබුණේ?

රුක්මණී සිනමාවට එන්න කලින් ඇය රඟපෑ සියලුම නාට්‍ය අසීමිත ලෙස ලෙස ජනප්‍රිය වුණා. මිනර්වා නාට්‍ය කණ්ඩායම රට වටේම නාට්‍ය දර්ශන පවත්වල සල්ලි අරගෙන ආවේ කොට්ට උරවලින්. කොට්ට උර පුරෝගත්ත වාහන වලින් ඔවුන් ආවේ.

*රුක්මණීගේ යුගයේ ඇය ලක්ව සිටි ජනප්‍රියත්වය දිනා ගන්නට සමත් නිළියක් බිහිවුණේ නැද්ද?

රුක්මණී තරමට නම් කවුරුන්වත් ජනප්‍රිය වුණේ නෑ. නමුත් ප්ලොරීඩා ජයලත්, ක්ලැරිස් ද සිල්වා, ලීනා ද සිල්වා, කාන්ති ගුණතුංග, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි,අනුලා කරුණාතිලක වැනි නිළියන් ඒ යුගයේ බොහොම ජනප්‍රිය වුණා.

කොහොම වුණත් ඒ හැම නිළියකටම විවිධ හේතුන් නිසා එක දිගටම සිනමාවේ රැඳී සිටින්නට වරම් නැති වුණා. ඒ නිසාම මිය යන තෙක්ම නිළි රැජන ලෙස රුක්මණී ජනතාවගේ සිත් තුළ වැජඹුණා.

රුක්මණී මිය යන විටත් සිංහල චිත්‍රපට 99ක රඟපා තිබුණා.


*60 දශකයේදී පුන්‍යා හීන්දෙනියට හිමි තැන මොන වගේද?

පුණ්‍යා හීන්දෙනිය මුලින්ම සිනමාවට එන්නේ ‘අසෝකා‘ චිත්‍රපටයෙන්. ‘දෙයියන්ගේ රටේ‘ චිත්‍රපටයෙන් ඇය චරිතාංග රංගනයට පිවිසෙනවා නමුත් ඇය කෙරෙහි රසික ජනතාව තදින්ම ආකර්ෂණය වන්නේ ‘කුරුළු බැද්ද‘ සහ ‘සිකුරු තරුව‘ චිත්‍රපට වලින්. ඊළඟට ඇය චරිතාංග නිළියක ලෙස වඩාත් අගැයුමට - පිළිගැනීමට ලක් වන්නේ ‘ගම්පෙරළිය‘ චිත්‍රපටයේ නන්දාගේ චරිතය තුළින්. ඇය අදටත් ජනතාව අතර මතකයේ රැඳෙන්නේ නන්දා හැටියටයි.

*පුන්‍යා හීන්දෙනිය ජනප්‍රිය නිළියක හැටියට සැලකෙන්නේ නැද්ද?

පුණ්‍යා විශිෂ්ටතම රංගන ශිල්පිනියක හැටියට අගැයුමට සම්මානයට ලක්වුණා වගේම රසිකයන් අතර ජනප්‍රියත්වයටත් පාත්‍ර වුණා.

ජී.ඩබ්. සුරේන්ද්‍ර සංස්කරණය කළ ‘මේලා‘ සිනමා සඟරාවෙන් ඇය හඳුන්වා දුන්නේ ‘මීරිගම මිහිරාවිය‘ නමින්. ඒ වගේම මා එවකට ‘නවයුගය‘ පත්තරයට ලියූ ලිපියකින් හඳුන්වා දුන්නේ ‘ගම්බද සුන්දරී‘ නමින්. ඇයගේ රූපය වඩාත්ම ගැළපුනේ ගැමි චරිතවලටයි. එදා සිංහල චිත්‍රපට වලින් ජනතාව ඉල්ලා සිටි සිංහල ගැමි තරුණිය පුණ්‍යාගෙන් දකින්න ලැබුණා. ඇය ගේ ජනප්‍රියකමට හේතු වුණේ ඇගේ රූපයෙන් දිස් වුණු ඒ විශේෂ ගැමිකමයි. නමුත් විවාහයෙන් පස්සේ ඇය සිනමාව හැර යනවා. ඒ නිසා නිළි රැජනක් වීමේ භාග්‍යය ඇයට අහිමි වෙනවා. ඇය 60 දශකයේ නිළි රැජන නොවන බව කීම ඇයට කරන අගෞරවයක් නෙවෙයි. පුණ්‍යාගෙයි - රුක්මණීගෙයි භූමිකා දෙක මුළුමනින්ම වෙනස්.

*රුක්මණීගෙන් පස්සේ මාලිනී ෆෙන්සේකා නිළි රුජන ලෙස අභිෂේක ලබන්නේ මොන පදනමක් යටතේද?

මාලිනී සිනමාවට එන්නේ 1968 දී. ‘පුංචි බබා‘ තිරගත වීමත් සමගයි. එදා සිට මෑතක් වන තුරුත් ඇය එක දිගටම රඟපෑවා. මාලිනීට, ඇයට සමකාලීන නිළියන් අභිබවා යන්නට හැකි වුණේ ඇයට කලාත්මක චිත්‍රපට වලදීත් වාණිජ චිත්‍රපට වලදීත් එක දිගටම රඟපාන්නත් ඒ හැම රඟපෑමකින්ම ඇයට රසිකයන් ඇඳ බැඳ තබා ගන්න හැකි වීමත් නිසයි.

70 දශකය වන විට මාලිනී ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නඟිනවා. විශ්ෂයෙන්ම විජය - මාලිනී යුගය මේ රටේ ජනප්‍රිය සිනමාවේ ස්වර්ණමය යුගය බවට පත්වෙනවා.

විනෝදාත්මක චිත්‍රපට වලදී මාලිනී අසීමිත ලෙස ජනප්‍රිය වනවා වගේම ‘එයා දැන් ලොකු ළමයෙක්‘ චිත්‍රපටයෙන් ඇගේ රඟපෑම අන්තර්ජාතික කීර්තියට ලක්වෙනවා. ‘නිධානය‘ ‘සිරිපාල සහ රන්මැණිකා‘ වගේ චිත්‍රපටවලින් මාලිනී දේශීය විදේශීය චිත්‍රපට උළෙලවල දී අගැයීමට - සම්මානයට පාත්‍ර වෙනවා. මේ සියලු කාරණා නිසා රුක්මණීගෙන් පස්සේ මාලිනී නිළි රැජන ලෙස අභිෂේක ලබනවා.

-නන්දනී කෝරළගේ

 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday139
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week972
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8376
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991165

Follow us on Facebook

Online Users

We have 34 guests online