25
Jan

පණ අදින සිනමාවට ඔක්සිජන් දෙන්න පුළුවන්ද?

අපේ මුල්ම කථානාද චිත්‍රපටය ලෙස සැලකෙන ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වූ 1947 ජනවාරි 21 දා ලාංකේය සිනමාවේ උපත සිදු වූ දිනය හැටියට ගත් විට අපේ සිනමාවට ඉකුත් ජනවාරි 21 දාට 69 වසරක් සපිරුණේය.

‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වූ දා සිට 1956 ‘රේඛාව‘ බිහිවෙන තෙක් ද ඉන් අනතුරුව ද ජයවිලාල් විලේගොඩ , කරුණාසේන ජයලත් වැනි සිනමා විචාරකයන් සටන් කළේ දකුණු ඉන්දියානු ද්‍රවිඩ සිනමා මුහුණුවරින් අපේ සිනමාව මුදා ගැනීමටය.

ජයවිලාල් සහ ජයලත් එම සටනේම හිඳ මිය ගියායින් පසුවද එනම් ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව‘ ‘ගම්පෙරළිය‘ ‘රන්සළු‘ ‘දෙලොවක් අතර‘ ‘නිධානය‘ ඇතුළු සිනමාපට බිහිකිරීමෙන් පසුවද බොලිවුඩයෙන් සහ කොලිවුඩයෙන් පැමිණි වට්ටෝරුව පුපුරුවා හරන්නට මේ රටේ සෙසු විචාරකයන්ටද දිගින් දිගටම සටන් වදින්නට සිදු වූයේය.

එදා විචාරකයන්, අපට අනන්‍ය වූ සිනමාවක් ඉල්ලා හඬ නඟද්දී ලෙස්ටර් ජේම්ස් පීරිස්, ජී.ඩී.ඇල්.පෙරේරා, සිරි ගුණසිංහ, අමරනාත් ජයතිලක, මහගම සේකර, දයානන්ද ගුණවර්ධන, ටයිටස් තොටවත්ත, ඩී.බී.නිහාල්සිංහ, ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, පරාක්‍රම සිල්වා, සුමිත්‍රා පීරිස්, තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක ඇතුළු සිනමාවේදීන් මේ රටේ අනාගතවාදී සිනමාවක් වෙනුවෙන් සටන් වැදුණු අයුරු 60,70,80 දශක පුරා ඔවුන් වෙතින් බිහිවුණු චිත්‍රපට විමසීමෙන් පැහැදිලි වෙයි.

ඔවුන් එම සිනමා භාවිතාව ඔස්සේ සමාජයත් ජීවිතයත් විනිවිද දකින්නට උත්සාහ දරද්දී එච්.ඩී.ප්‍රේමරත්න, විජය ධර්මශ්‍රී වැනි සිනමාකරුවන් මේ රටේ එතෙක් පැවැති ජනප්‍රියවාදී සිනමාවට නව මුහුණුවරක් දෙන්නට දැරූ ප්‍රයත්නය ඔවුන් දෙදෙනා අතින් නිපද වුණු ‘සිකුරු ලියා‘ ‘දෙවෙනි ගමන‘ ‘පරිත්‍යාග‘ ‘අපේක්ෂා‘ ‘දුහුළු මලක්‘ ‘සූරියකාන්ත‘ ඇතුළු චිත්‍රපට තුළින් පැහැදිලි විය.

ප්‍රේමරත්න සහ විජය ධර්ම ශ්‍රී ගෙන් පසුව එකී ජනප්‍රිය සිනමා ප්‍රවේගය ඉදිරියට ගෙන යන්නට උත්සාහ දැරූ අය අතරින් වඩාත් ඉස්මතු වන්නේ උදයකාන්ත වර්ණසූරිය යි. ‘බහුභාර්යා‘ ‘රෝස වසන්තය‘ ‘යකඩ පිහාටු‘ ඇතුළු ඔහුගේ සමස්ථ සිනමා භාවිතාවම පෙන්නුම් කළේ ජනප්‍රියවාදී සිනමා ප්‍රවේශයට නව හැඩයක් එක් කිරීමට ඔහු දැරූ ප්‍රයත්නය යි.


90 දශකයෙන් පසුව ලාංකේය සිනමාව ආක්‍රමණය කරන ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම, බුඩී කීර්තිසේන, ඉනෝකා සත්‍යාංගනී, විමුක්ති ජයසුන්දර, ඇතුළු සිනමකරුවන් අතින් බිහිවුණු ‘සිසිල ගිනිගනී‘ ‘අනන්ත රාත්‍රිය‘ ‘පවුරු වළලු‘ ‘පුරහඳ කළුවර‘ ‘ආකාශ කුසුම්‘ ‘ඔබ නැතිව ඔබ එක්ක‘ ‘ඉර මැදියම‘ ‘චන්දකින්නරී‘ ‘මේ මගේ සඳයි‘ ‘තනිතටුවෙන් පියාඹන්න‘ ‘සුලංකිරිල්ලී ‘ ‘මිල්ලෙ සොයා‘ ඇතුළු චිත්‍රපට මේ රටේ සිනමාවේ නව ඉදිරි පිම්මක් සනිටුහන් කරමින් ඒවා ජාත්‍යන්තර තලයේ ගෞරවය දිනා ගන්නට තරම් ඉහළට ඔසවා තැබීමට සමත් වූයේය.

56 ‘රේඛාව බිහිවීමෙන් පසු 60 වසරක් පුරා යථෝක්ත සිනමාවේදීන් මේ රටේ සිනමාවේ පැවැත්ම සඳහාත් එහි අනාගත ගමන් මඟ සඳහාත් දැක් වූ දායකත්වය සුළු පටු නොවේ.

එදා ලෙස්ටර් ‘රේඛාව‘ බිහිකිමෙන් පසුව මේ රටේ සම්භාව්‍ය සිනමාවට අඩිතාලම දමද්දී ලෙනින් මොරායස්, යසපාලිත නානායක්කාර නීල් රූපසිංහ, සේන සමරසිංහ , සුනිල්සෝම පීරිස්,හේමසිරි සෙල්ලප්පෙරුම වැනි අයට ජනප්‍රියවාදී සිනමා රැල්ලක පිනුම් ගසන්නට හැකි ශක්තිමත් පදනමක් එදා මේ රටේ සිනමා කර්මාන්තය තුළ පැවැතියේය.

එසේම ධර්මසේන පතිරාජගෙන් ඇරැඹි දේශපාලන සිනමා ප්‍රවේශය ඔස්සේ ප්‍රසන්න විතානගේ, අශෝක හඳගම වැනි සිනමාකරුවන්ට ඉදිරියට යන්නට ද විවිධ දුෂ්කරතා මධ්‍යයේ වුවද හැකියාවක් ශක්තියක් තිබුණේය.

60 – 70 දශකවල පළමු දින පළමු සිංහල සිනමා දර්ශනයට ප්‍රේක්ෂකයන් ඇදී ආවේ පෝළිම් කඩාගෙන ය. එසේ පළමු දින පළමු දර්ශනයට ආ බොහෝ දෙනෙක් house full පුවරුව දැක ආපසු හැරී ගියහ. ශාලා ඇතුළට පොර කකා ඇතුළු වූ අය චිත්‍රපටය ඇරැඹෙන තුරු නොයඉවසිල්ලෙන් බලා සිටියහ. ගාමිණීලා, ජෝලා, මාලිනීලා, විජයලා තිරයේ දිස් වූ සැණින් ප්‍රේක්ෂකාගාරයෙන් ඇසුණේ විසිල් හඬය.

එසේ වුවද නව සහශ්‍රය උදාවීමත් සමග ඒ සිනමා වසන්තය හමාර විය. එදා පොර කකා චිත්‍රපට නරඹන්නට පැමිණි සිනමා ලෝලයන්ගෙන් පිරී ඉතිරී ගිය සිනමා ශාලා පසුව මැස්සන් ඇහිරෙන තැනක් බවට පත් වූයේය.

පරිගණකය, DVD තාක්ෂණය සහ අන්තර්ජාලය රට පුරා සීග්‍රයන් ව්‍යාප්තවීමත් සමඟ සිනමා ශාලා හැර ගිය ප්‍රේක්ෂකයන් යළි කැඳවා ගෙන එන්නේ කෙසේද යන අභියෝගයට මුහුණ දෙන්නට මේ රටේ සිනමාකරුන්ටත්, සිනමා නිෂ්පාදකයන්ටත් සිදු වූයේය.

පසුගිය දශක එකහමාරක් මුළුල්ලේ දකින්නට ලැබුණේ මේ අභියෝගය ජය ගන්නට ඔවුන් දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵල ය. 96 දශකයේ ඉස්මත්තට පැමිණි කාම රැල්ල වෙනුවට ‘අබා‘ චිත්‍රපටය ප්‍රදර්ශනය වීමෙන් ඇරැඹි ඓතිහාසික සිනමා රැල්ලක් හඹා ආවේ එකී ප්‍රයත්නයේ ප්‍රතිඵල හැටියටය. එකී ප්‍රවණතා දෙකම ප්‍රේක්ෂකාගාරය පිනවන තාවකාලික විසඳුම් විය. ‘ඇහැලේපොළ කුමාරි හාමි‘, ‘මහින්දාගමනය‘, ‘අජාසත්ත‘ වැනි චිත්‍රපට එකී ඓතිහාසික රැල්ලේ අවසානයද සනිටුහන් කළේ ය.

පසුගිය කාලයේ තිරගත වූ උදයකාන්ත වර්ණසූරිය ගේ ‘කොස්තාපල් පුඤ්ඤසෝම‘, ‘ගින්දරී‘ වැනි චිත්‍රපට ද ගිරිරාජ් කෞෂල්‍යගේ ‘සුහද කොකා‘ චිත්‍රපටය ද යළිත් හාස‍ය්‍යොත්පාදක රැල්ලක් තුළින් ප්‍රේක්ෂකයා ආකර්ෂණය කරගන්නට දැරූ ප්‍රයත්න වූ අතර එම ප්‍රයත්නයන් යම් ආකාරයකින් සාර්ථක වූ බව පෙනෙන්ට තිබිණ.

ප්‍රේක්ෂාගාරය ජය ගන්නා අරමුණින් නිපද වූ ඇතැම් ජනප්‍රිය චිත්‍රපට ද අසාර්ථක වෙද්දී ඉන්දික ෆර්ඩිනැන්ඩු අධ්‍යක්ෂණය කළ කුළුඳුල් චිත්‍රපටය වන ‘හෝ ගානා පොකුණ‘ බලන්නට යළිත් ප්‍රේක්ෂකයන් සිනමා ශාලා කරා ඇදෙනු දකින්නට ලැබිණ.

එදා ‘අබා‘ චිත්‍රපටයේ සාර්ථක ප්‍රේක්ෂක ප්‍රතිචාරය දැක ඓතිහාසික රැල්ලේ චිත්‍රපට බුරුත්තක්ම හැදුනා මෙන් ‘හෝ ගානා පොකුණ‘ ට එක් වූ ප්‍රේක්ෂකයන් දැක තවත් ‘හෝ ගානා පොකුණු‘ හදන්නට ඇතැම් සිනමාකරුවන් කල්පනා කරනවා විය හැකිය. ඒ අපේ සිනමාවේ හැටිය. එහෙත් 60 – 70 දශකවල සිනමා ශාලා කරා කඇදී ආ ප්‍රේක්ෂකයන් යළි ඒ වෙත කැඳවා ගෙන එන්නට සක්‍රයාගේ පුතා වයිමා චිත්‍රපට හැදුවත් හරි යන්නේ නැත. ඊට හේතුව ගෝලීය ධනවාදය හමුවේ හඹාගිය නව පරිභෝජනවාදය තුළ කරවටක් එරී සිටින ලාංකේය නව සමාජ සත්යාගේ වෙනස් වූ රසඥතාව අනුව අනුක්‍රමිකව සකස් වූ මහා සිනමා සංස්කෘතියක් ගොඩනඟන්නට 70 දශකයෙන් පසු මේ රටේ බලයට පැමිණි කිසිදු ආණ්ඩුවක් මැදිහත් නොවීම යි.

78 න් පසු මේ රටට හඳුන්වා දුන් විවෘත ආර්ථික ප්‍රතිපත්තියට ඔරොත්තු දෙන ආකාරයෙන් මේ රටේ සිනමා කර්මාන්තය හෝ හරවත් සිනමා සංස්කෘතියක් හෝ ගොඩනැගීමේ අවශ්‍යාවක් ගැන කල්පනා කරන්නට ඒ පාලකයන්ට ඕනෑකමක් තිබුණේ නැත.

78 න් පසුබිහි කළ විවෘත ආර්ථික ප්‍රතිපත්තිවලට අනුව රටේ සෙසු ව්‍යවසායන් ස්වකීය අභිමතාර්ථයන් ජය ගැනීම සඳහා වන වටපිටාව හඳුනා ගෙන ඒ අනුව සකස් වෙද්දී සිනමාව තුළ එය නොතකා හැර තිබියදී මේ මට්ටමින්වත් සිනමා කර්මාන්තයන් හා කලාවන් රැකගත හැකි වූයේ මේ රටේ චිත්‍රපට නිපැද වූ සිනමාකරවන්ගේ හා නිෂ්පාදකයන්ගේ ලේ දහදිය කඳුළු මතිනි. එසේ වුවද ඒ හුදෙකලා ක්‍රියාවලියකට දිගු කාලීන පැවැත්මක් නැත.

පණ අදිමින් සිටින සිනමා කර්මාන්තයේ හුස්ම ටික රැක ගන්නට නම් මේ රටේ සිනමාශාලා ඩිජිටල්කරණය විය යුතුය යන හඬක් පසුගිය ආණ්ඩු සමයේ සිටම නැඟුණේය. ඒ අවශ්‍යතාව සපුරාලන්නටවත් හැකි වූ බවක් මේ දක්වා පෙනෙන්නට නැත. කිසියම් ලෙසකින් ඩිජිටල්කරණ ක්‍රියාවලිය පණ ගන්වන්නට මේ රජයට හැකියාවක් තිබුණොත් එය කිසියම් ප්‍රමාණයකින් සිනමා කර්මාන්තයේ අර්බුදයට පිළියමක් විය හැකි වුවද ඩිජිටල්කරණයෙන් පමණක් රටේ සිනමා කර්මාන්තයේ අනාගත පැවැත්ම රැකගන්නට සමත් නොවන්නේය.

-ගුණසිරි සිල්වා. 

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday141
mod_vvisit_counterYesterday334
mod_vvisit_counterThis week974
mod_vvisit_counterLast week3649
mod_vvisit_counterThis month8378
mod_vvisit_counterLast month11185
mod_vvisit_counterAll days1991167

Follow us on Facebook

Online Users

We have 36 guests online