28
Apr

‘ඇගෙ ඇස අග‘- තමන් විසින් තමා සොයා යැම

අශෝක හඳගමගේ  අලුත්ම සිනමා ආඛ්‍යානය ‘‘ඇගේ ඇස අග‘‘  මාධ්‍ය දැක්මක් ඊයේ (27) සවස තරංගනී සිනමා ශාලාවේදී පැවැත්වුණු අතර එය   ප්‍රෙමය - විවාහය- ලිංගිකත්වය සහ ලිංගික මාත්සර්යය  පිළිබඳ ගැඹුරු  තකිකාවකට මුල  පිරූ අතිශය  සංකීර්ණ මනෝභාවයන් ප්‍රකට කරන්නක් විය. චිත්‍රපටය පිළිබඳ දිර්ඝ කතිකාවක් ඉදිරියේදී ගොඩනැගෙනු නොඅනුමනය. ඒ පිළිබඳව මුහුණු පොතේ ලියැවුණු මුල්ම සටහන මෙසේ  පළකරන්නේ ‘ඇගේ ඇස අග‘‘ ඔස්සේ ඉදිරියේදී ගොඩ නැගෙන  පුළුල් සංවාදයට ප්‍රවේශයක් ලෙසයි

.-සංස්කාරක (lankalivestar.com)

මිනිසුන්ට ජීවිතයේ කිසියම් මොහොතක හෝ තමන්ව සොයා ගැනීමට සිදුවෙනවා. එය කිනම් අවදියක දැයි කියන්නට බැහැ. මහාචාර්යවරයා තම සිසුවිය හරහාත්, සිසුවිය සිය ගුරුවරයා හරහාත් තමන්ව සොයා යන්නේ ඒ නිසා. මහාචාර්යවරයාගේ බිරිඳ ආගම හරහා තමන්ව සොයන්නට වෙහෙස වෙනවා.

මේ තිදෙනාට ඇත්තේ එකම ලාලසාවක්. එනම් තමන්ගෙන් ගිලිහුණ හා ගිලිහෙන ජීවිතය අල්ලා ගැනීම. අශෝක හඳගම ගේ නව්‍ය සිනමාකරණය "ඇගේ ඇස අග" (Let her Cry) චිත්‍රපටය අප ඉදිරියෙන් දර්පන තලයක් තබා අපට අපව යළි බලාගැනීමට සලස්වන බව හැඟුණේ චිත්‍රපටය පුරාම පස් හය වතාවක් අපතුලට තියුණු සැතක් කිඳා බැස්සවීමට සැළැස්වීමෙන්.

මහාචාර්යවරයාගෙන් අධ්‍යාපනය ලබන සිසුවිය මහචාර්යවරයාට පෙම්බැඳීම හුදු ලිංගික ප්‍රේමයට වඩා සිය පියා සොයායාමක් වෙන්නේ ඇය ඔහු හරහා බලාපොරොත්තුවන්නේ ආදරය බව අවස්ථා ගණනාවකදී පැවසීමෙන්. ඇයට අවශ්‍ය වන්නේ මහාචාර්යවරයාගේ ආදරය දිනා ගැනීමට. එය කිසියම් ආකාරයක හිස්ටීරියානු ලක්ෂණ ප්‍රකට කරන්නේ ඇය මහාචාර්යවරයාගේ බිරිඳට සිය සම්බන්දය අතිශයෝක්තියට නගා පැවසීමෙන්. මුලු චිත්‍රපටය පුරාම ඇය සිය අභිලාශය වෙනුවෙන් මරාගෙන මැරෙන ආකාරයේ උවමනාවක් ප්‍රකට කරනවා. ඇය රූපයෙන් අගතැන්පත් තැනැත්තියක නොවුනත් ඇය මහාචාර්යවරයාගේ බිරිඳට පවසන්නේ ඇය සරාගී තරුණියක් බවයි. මේ සියල්ල හරහා ඇය තමන්ට අහිමිවූ තමාව සොයනවා.

මහාචාර්යවරයා ට ඇය කරදරයක් ලෙස විටෙක දැනුනත් ඔහු විටෙක සංකේතීය පියෙකු ලෙසත් විටෙක ප්‍රේමවන්තයෙකු ලෙසත් ඇයට බැඳෙනවා. ඔහු එසේ වන්නේද තමන්ට අහිමිවෙමින් යන තමන්ව අල්ලාගැනීම වෙනුවෙන්. නිවස තුල ඔහු සිය දියනිය හා බිරිඳ සමග පවත්වන්නේ අතිශය යාන්ත්‍රික සම්බන්දතාවක්. නිවස අනුවේදනීය මානව සම්බන්දතා වියලී ගිය ගොඩනැගිල්ලක්. මේ නිසා ඔහු තමන්ගේ ජීවිතය තුලම හුදකලාවූවෙකු බවට පත්වෙනවා. මැදිවියද ඉක්මවා ගොස් සිටියද ඔහු ලිංගිකව සක්‍රීය පුද්ගලයෙකු වුවත් නිවස තුල ඔහු ලිංගිකව සක්‍රීය වන්නේ නැහැ. ඒ නිසා සිසුවියගේ සරාගි තුණු සිරුරට ඔහු සක්‍රීය වෙනවා.


මහාචාර්යවරයා ගේ බිරිඳ ආගම මුල් කරගෙන ජීවිතයේ වසඟය අත්හරින කෙනෙක්. නමුත් ඇය ආගම ඇසුරෙන් මගහැරෙන තමන්ව සොයනවා. මොනතරම් ආසක්තව තමන්ව සොයනවාද කියනවානම් ඇය මහාචාර්යවරයාට පෙම් බඳින සිසුවියගේ සරාගී සිරුරට පවා වෛරකරනවා. ඇයට එවැනි සිරුරක් අහිමි වීම පිළිබඳ මාත්සර්ය ඇය පිට කරන්නේ සිසුවිය ගේ සිරුර සමච්චලයට ලක් කරමින්. ඇය විමුක්තිය සොයන්නේ ආගම ඇසුරෙන්. අවසානයේ පන්සලේ ඇතිවන ගැහැනුන් දෙදෙනාගේ හබයෙන් පන්සල අතෑරීමේ ස්ථානයක් නොවන බව හැඟවෙනවා.

මේ ප්‍රධාන චරිත 3 අහිමිවූ තමන්ව පෙරළා සොයායෑමට ගන්නා උත්සාහය මුලු චිත්‍රපටය කූටප්‍රාප්තීන් ගණනාවක් සමග ගමන් කරනවා. චිත්‍රපටය ඇරඹෙන දර්ශන පෙලින්ම ආපසු අවසන්වීම ජීවිත වංකගිරියක මේ සියලු දෙනා ගමන් කරන බව හඟවනවා. හැම චරිතයකම අඩුවැඩි වශයෙන් අප ජීවත්වීම මෙහි ඇති විශේෂත්වයක්. මේ නිසා හඳගම "ඇගේ ඇස අග" තුලින් අපව දර්පන තලයක් ඉදිරිපිටට කැඳවා අඩ නිරුවත්කොට අපට අපවම නැරඹීමට සලස්වනවා. මේ නිසා මේ චිත්‍රපටය සිනෙ කැමරාව අපටම එල්ල කර පටිගත කළ චිත්‍රපටයක් ලෙසයි මට නම් දැනෙන්නේ.


-කපිල එම් ගමගේ

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday252
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1492
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10334
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028403

Follow us on Facebook

Online Users

We have 40 guests online