27
May

නූතන ලාංකීය සිනමාවේ ආරම්භය දෙලොවක් අතරට පනස් වසරයි

්කොළඹ මහ බැංකුවේ ගොඩනැඟිල්ල ඇතුළු නිශ්චල ඡායාරූප රාශියක කෙළවර අප යොමු වනුයේ සම්පූර්ණයෙන් විකල රූපයකටය. එයින් පසු කොළඹ විශාල ගෘහයන් සපිරි මාවතක් දිගේ සයිකලයක් පැදගෙන එන්නෙකි. ඔහු සමඟ වත්තකට ඇතුළු වන කැමරාව මේ හාදයා පුවත්පත් අලෙවි කරන්නෙකු බව පෙන්වයි. ඔහු විසින් වීසි කරනු ලබන පුවත්පත නිවසක වසා ඇති දොර ළඟ වැටෙයි.

ගේ ඇතුළේ සිටින මැදිවියේ ගැහැනිය තේ ට්‍රොලියක තබාගෙන එන්නේ සැමියාටය.

හරියටම මෙයට පනස් වසරකට පෙර තිරගත වීම ඇරැඹුණු දෙලොවක් අතර චිත්‍රපටය ඇරැඹෙන්නේ එහෙමය. එය මුලින් තිරගත වනුයේ 1966 මැයි 24 වැනිදාය. එදා මෙදා බිහි වූ විශිෂ්ටතම ලාංකික චිත්‍රපට ගොන්නෙන් ඉදිරියේම ඇති දොලොවක් අතර අද ද නැවුම් සිනමා කෘතියක රසය ගෙන එන්නට සමත් වන්නකි. කොටින්ම කාලයේ වැලි තලාවෙන් රසය වෙනස් නොවුණු නිර්මාණයකි. එය ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිව් වන වෘතාන්ත චිත්‍රපටයයි.

1947 න් ඇරැඹි අපේ කතානාද සිනමා ඉතිහාසය දළු ලා වැඩෙන්න පටන් ගත්තේ එහි දෙවන දශකයේය. මුල් දශක නිමා වනුයේ 1956 වසරේ රේඛාව තිරගතවීමත් සමඟය. ආචාර්ය ලෙස්ටර් දෙලොවක් අතර තිරයට ගෙන එනුයේ එයින් දස වසරකට පසුවය. නැතහොත් දෙවන දශකය කෙළවරය. සංදේශය, රන්මුතු දූව, චණ්ඩියා, පරසතු මල් වැනි චිත්‍රපට බිහි වන්නේ එම දශකයේය.http://www.sarasaviya.lk/2016/05/26/Delowak-Athara.jpg" >

නිශ්ශංක ධනවත් පවුලක එකම පුත්‍රයාය. ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන සමයේ ශිෂ්‍ය නායකයෙකි. එයින් පිට වූ පසු ඔහු පියාගේ කර්මාන්ත ශාලාවන්ට දායක වෙයි. ඔහු එයින් නික්ම වසර හතරකි. කුඩා කල සිට දන්නා යුවතියක වන ශිරාණි සමඟ විවාහ ගිවිස ගෙන සිටී. බැලූ බැල්මට හොඳට කැපෙන යුවළක් වුව ද ඉතා සියුම් ආකාරයේ ඔවුනතර නොගැළපීම් ද ඇති වග අපට දැනෙයි. පවුල අතරද නොගැලපීම්ය. ඔබ්සර්වර් කතුවැකියේ ඇති ඉඩම් ප්‍රශ්නය නිශ්ශංකට බලපාන්නේ නැත. එහෙත් ශිරාණිගේ පියාට ප්‍රශ්නයකි. පැය දෙකක් පුරා දිවෙන දෙලොවක් අතර එකවරම වෙනස් වනුයේ එහි විසි හත්වන මිනිත්තුවේදීය.

ඒ නිශ්ශංක විශ්ව විද්‍යාල සිසුන් පිරිසකගේ සාදයකට යෑමේදීය. මේ සාදයට ශිරාණි සහභාගි නොවනුයේ විවාහයට පෙර එවන් ගමන් යෑමට ඇගේ සම්ප්‍රදායික මාපියන් අනුමැතිය ලබා නොදෙන හෙයිනි. සාදයේදී හමු වන පැරැණි විශ්ව විද්‍යාල මිතුරියක වන චිත්‍රා ඇරලන්නට යන නිශ්ශංකගේ රථයට මිනිසකු යට වෙයි. ඔහු එයින් පලා යයි. පුවත්පත් කලාවේදීන් රථයට යට කොට පලා ගිය නාන්නාඳුනන මිනිසා ප්‍රවෘත්තියක් බවට පත් කර ගනී. පොලීසිය රථය සොයා ගනී. විවාහපේක්ෂක තරුණයකු වෙනත් තරුණියක සමඟ රථයක ගමන් කිරීම ආදී බොහෝ කරුණු මෙන්ම සිය පැලැන්තියේ අභිමානය සහ හෘද සාක්ෂියද අතර ගැටෙන නිශ්ශංකගේ ගැටලුව තවත් ඔඩු දුවනුයේ තුවාලකරු මිය යාමත් සමඟය. මිනිසකුගේ හෘද සාක්ෂිය හා බාහිර ලෝකය අතර මෙම අරගලය ආචාර්ය ලෙස්ටර් විශිෂ්ටතම සිනමා කෘතියක් බවට පත් කර ගනී.

දෙලොවක් අතර තැනෙනුයේ ගම්පෙරළියට පසුවය. ගම්පෙරළිය නිර්මාණය කරන ලද චිත්‍ර ලංකා සමාගමේ දෙවැනි නිෂ්පාදනය ලෙස ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අවශ්‍යතාව වූයේ ගම්පෙරළියේ දෙවැන්න කලියුගය නිර්මාණය කිරීමය. එහෙත් සමාගමේ ප්‍රධාන හවුල්කරු ඇන්ටන් වික්‍රමසිංහ සමකාලීන සමාජය කේන්ද්‍ර කොට ගත් තේමාවක් සහිත චිත්‍රපටයක් නිර්මාණය කරවීමට ආචාර්ය ලෙස්ටර්ව පොලඹවා ගැනීමට සමත් වෙයි.

එවර ආචාර්ය ලෙස්ටර් තෝරා ගනුයේ තමාට වඩාත් හුරු සමාජ පැලැන්තියයි. ඔහු එයට පාදක කර ගනුයේ කතාවක් නොව සිදුවීමකි.


සියල්ලම ගොඩ නැඟෙනුයේ රිය අනතුරත් සමඟය. ඒ හා බැඳුණු දෙලොවක් අතර චරිත ගොඩ නැඟීම, සිදු වීම හා කූටප්‍රාප්තිය අතිශය විශිෂ්ට වියමනක් වන්නේය. එහි තිර රචනය රෙජී සිරිවර්ධන, ගාමිණී ගුණවර්ධන හා ආචාර්ය පීරිස් ගෙනි. ගාමිණී ගුණවර්ධන යනු සුමිත්‍රා පීරිස් ගේ සොහොයුරාය. සුමිත්‍රා පීරිස් (එවකට ගුණවර්ධන) චිත්‍රපටයේ සංස්කරණ ශිල්පිනියයි. චිත්‍රපටයේ කැමරාකරණය විලී බ්ලේක්ය. මේ සංවාද පසුකාලීනව මෙරට විශිෂ්ට තිර නාටක රචකයාගේ උපත සලස්වයි. ඒ තිස්ස අබේසේකරය. කැමරාව, තිර නාටකය හා සංස්කරණය මුළුමනින්ම ජීව ගුණයෙන් හා රිද්මයානුකූලය. එම ඒකමිතිය තබාගත් ලාංකික චිත්‍රපට අපට හමු වන්නේ කලාතුරකිනි. මුල් දශක දෙකේදීම එතරම් විශිෂ්ට ඒකමිතියක් තබා ගත් එකම චිත්‍රපටය දොලොවක් අතරය.

දෙලොවක් අතර නිශ්ශංකගේ චරිතය ලාංකික සිනමාවේ බිහි වූ විශිෂ්ටතම චරිතාංග රංගනයකි. ඒ වන විට ටෝනි නිරූපණය කර තිබුණේ ගම්පෙරළිය චිත්‍රපටයේ බලදාසගේ චරිතය පමණි. එය රඟපෑමක් නොව පෙනී සිටීමකි. සම්පූර්ණයෙන්ම ඇතුළත හදවතට කිඳා බැස එය නිරූපණය කළ යුතු චරිතයක් වන නිශ්ශංකගේ චරිතය සඳහා එවකට ආධුනික නළුවකු වූ ටෝනි රණසිංහව යොදා ගැනීමට තීරණය කිරිම පවා ආචාර්ය ලෙස්ටර්ගේ සිනමාවේ නිර්භීතභාවය කියාපාන්නකි. ටෝනි මුළුමනින්ම නිශ්ශංකට බාහිර වශයෙන් ගැළපීම වෙනම කරුණකි. එහි දෙවැන්න නම් සිරුර ආභරණයක් කොට එය කන පිට හරවා, හදවත ගලවා පෙන්විය යුතු චරිතයක් තුළ නිශ්ශංක අසාර්ථක වූවා නම් 'දෙලොවක් අතර' නම් සියුම් වියමන මුළුමනින්ම බිඳ වැටෙන්නට තිබුණ ඉඩකඩ වැඩිය. එමෙන්ම ඒ වන විටත් ආර්. ටී. ස්ටුඩියෝවේ චිත්‍රපටවල සිහින තාරකාවක් පමණක්ව සිටි සුවිනීතා වීරසිංහ චිත්‍රාගේ චරිතයට තෝරා ගැනීමද විශේෂත්වයකි. චිත්‍රා චරිතය චිත්‍රපටයට එක් වනුයේ අඩ පැයක් ගිය තැනය. එතැන් පටන් එය රංගනයේ අනිත් පස බර දරා ගන්නීය.

දෙලොවක් අතර චිත්‍රපටයට ගීත දෙකක් අඩංගු විය. එකක් නෙවිල් ප්‍රනාන්දු සමඟ ලොස් කැබලරෝස් ගයන ලද ගයන ගැයුම් හා දෙවැන්න අමරදේව හා නන්දා මාලිනී විසින් ගයන ලද බලන්න එක්ටැම් ගෙයින් බැස ගීතයයි. ජාත්‍යන්තර සිනමා උලෙළයන් සඳහා යවන ලද විශේෂ පිටපතේ දෙවැනි ගීතය ඉවත් කොට තිබිණ. ගයන ගැයුම් ද සම්පූර්ණයෙන් නැත. (වර්තමානයේ නිකුත්ව ඇති ඩීවීඩී සහ පියෝ ටී වී විකාශයේ ඇත්තේ අසංක්ෂිප්ත පිටපතයි).

චිත්‍රපටය සහමුලින්ම පාහේ රූගත කරන ලද්දේ කොළඹ නගරය ආශ්‍රය කොට ගෙනය. ඒ අවදියේ අලුත විවාපත් ලෙස්ටර් - සුමිත්‍රා යුවළ පදිංචිව සිටි කොළම ජාවත්ත පාරේ නිවසත් ඇන්ටන් වික්‍රමසිංහගේ නිවසත්, ආචාර්ය ලෙස්ටර්ගේ සොයුරියගේ නිවසත් චිත්‍රපටය රූ ගැන්වීමට භාවිත විණ. ගයන ගැයුම් වයන වැයුම් ගීතය රූ ගන්වන ලද්දේ එවකට කොළඹ පැවැති එකම රාත්‍රී සමාජ ශාලාව වූ ග්‍රෑන්ඩ් ඔරියන්ට් හෝටලයේ බ්ලූ ලෙපර්ඩ් අවන්හලේදීය. අමරදේවයන් ලොස් කැබලරෝස් කණ්ඩායම සඳහා ගීතයක් සැකසීම සංගීත ඉතිහාසයේ කැපී පෙනෙන සිදුවීමක් විය.

දෙලොවක් අතර චිත්‍රපටය බෙහෙවින් විචාරක මතවාද රාශියකට භාජනය විය. ඇතැමෙතු එය හැඳින් වූයේ ප්‍රංශ නවරැල්ලේ ආභාෂය ලද චිත්‍රපටයක් හැටියටය. චිත්‍රපටය පිළිබඳ වඩාත්ම විශිෂ්ට හැඳින්වීම කරන ලද්දේ මහාචාර්ය සිරි ගුණසිංහයන් විසිනි. එනම් එය නූතන ලාංකික සිනමාවේ ආරම්භය හැටියටය. බොහේ දෙනා එහි ශිල්ප රීතිය හා වසඟ වූ අතර ඇතැමෙකු එහි සාහිත්‍ය විචාරයක යෙදුණි. කෙසේ වෙතත් මහාචාර්ය ගුණසිංහගේ මතය සැබෑවක් බව පෙනුණේ පසුකාලින බොහෝ සිනමාකරුවන් අචාර්ය ලෙස්ටර් සම්ප්‍රදාය ගුරු කොට ගත්තේ දොලොවක් අතර හරහා වීම නිසාය.

කෙසේ වෙතත් සාහිත්‍ය රූපී සිනමා විචාරය නිසා නිශ්ශංකගේ චරිතය පිළිබඳ දැඩි විවාද ඇති විණ. නිශ්ශංක වැනි ධනවත් තරුණයෙකුට තමා අතින් වූ අපරාධය වසන් කිරීමට ඉඩ කඩ තිබුණ වග බොහෝ දෙනාගේ මතයයි. පනස් වසරකට පසුව පවා දොලොවක් අතර නරඹද්දී දැනෙන කරුණ නම් කවර සමාජ මට්ටමකදී පවා හෘද සාක්ෂිය සමඟ සිදුකරන අරගලය කිසිසේත් කාලය සමඟ වියපත් නොවන්නක් බවය. දෙලොවක් අතර චිත්‍රපටයේ එන සර්වකාලීන ගුණය නිශ්ශංකගේ චරිතය හා ඒ සඳහා භාවිත කරන සිනමා රූප රිද්මය මත බිහි වූවකි. මුළු තිර නාටකය පුර එන නිශ්ශංක හා චිත්‍රා හැරුණු විට වඩාත්ම විශිෂ්ට රංගනයට එක්වන චරිතය ක්ලේරා විජේසිංහ නැතහොත් නිශ්ශංකගේ මවගේ චරිතයයි. අයිරාංගනී සේරසිංහ ගේ විශිෂ්ට රංගනය එය තවත් ඔපවත් කළාය.

(මෙම චිත්‍රපටයට ස්පාඤ්ඤ සිනමාකරු ජුවාන් අන්තෝනිස් බාචෙම්ගේ ඩෙත් ඔෆ් අ සයික්ලිස්ට් චිත්‍රපටයේ ඡායා මාත්‍ර සෙවනැල්ලක් ඇතැයි ඇතැම්හු මත පළ කළහ. චිත්‍රපටය නිර්මාණ වෙද්දී එකී චිත්‍රපටය තම මතකයේ තිබූ වග ආචාර්ය ලෙස්ටර් ද සඳහන් කරයි. එහෙත් ස්පාඤ්ඤයේ දී හෝ ලෝකයේ වෙනත් විචාරකයන් මෙම චිත්‍රපට සමාන බවක් ඉස්මතු නොකිරීම සුවිශේෂ කරුණකි).

එක් අතකින් මිනිස් ස්වභාවයද, අන්තර් සම්බන්ධතාවන්ද, පංති අතර ඇති එකිනෙකාගේ නම්බුව හා ගාම්භීරත්වය විවිධ පැති කඩයන් ඔස්සේ ගොඩ නංවන දෙලොවක් අතර නිශ්ශංකගේ සෑබෑ ස්වරූපය ඉස්මතු කරවනුයේ චිත්‍රාගේ චරිතය හරහා වීම කැපී පෙනෙන්නකි. සිනමා කෘතියක විශිෂ්ටත්වය පිළිබිඹු කරනුයේ එය ගොඩ නඟන මානුෂීය සබඳතා හරහා හා සිනමාකරුවාගේ දෘෂ්ටිය හරහාය. 1967 වසරේ සරසවිය සම්මාන උලෙළේ හොඳම අධ්‍යක්ෂණය (අචාර්ය ලෙස්ටර්) හොඳම කැමරාකරණය (විලී බ්ලේක්) හොඳම සංස්කරණය (සුමිත්‍රා ගුණවර්ධන) දිනා ගත්හ. ටෝනි රණසිංහ දිනා ගත්තේ කුසලතා තිළිණයකි. එහෙත් පනස් වසරකට පසු අද පවා සමස්ත ලාංකික සිනමාවේ විශිෂ්ට චිත්‍රපට ගොන්නට දෙලොවක් අතර ද එක් වන්නේ නිතැතිනි. එම මානව ගැටුම සර්වකාලීනය.

 

-අරුණ ගුණරත්න (සරසවිය)

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday291
mod_vvisit_counterYesterday149
mod_vvisit_counterThis week440
mod_vvisit_counterLast week1999
mod_vvisit_counterThis month4685
mod_vvisit_counterLast month7983
mod_vvisit_counterAll days2150238

Follow us on Facebook

Online Users

We have 38 guests online