04
Aug

ඉතිං ආයුබෝවන් මිතුරාණෙනි!

මේ රටේ තීරු ලිපි කලාව ඔලුවෙන් සිටවූ ‘කොලමේ‘ කෙරුමා ද අද (04) අප හැර ගියේය. කෙරුමා චින්තන ජයසේන ය.

චින්තන අප හඳුනා ගන්නේ 70 දශකයේදී ඔහු විසින් ලියා ඔහුගේම වියදමින්ම පළ  කළ ‘කොලම‘ නමින්වූ පුංචි තීරු ලිපියෙනි. අත් පත්‍රිකාවක් මෙන් මුද්‍රණය කෙරුණු එය ප්‍රමාණයෙන් කුඩා වුවද එමගින් එවකට ඇති කළ බලපෑම විශාල විය.

 

‘කොලම‘ අලෙවි කෙරුණේද නාට්‍ය ශාලා- සම්මන්ත්‍රණ ශාලා ආදී සංස්කෘතික ක්‍රියාකාරකම් සිදුකෙරුණු ස්ථානවලය.

සාහිත්‍යය- සිනමාව නාට්‍ය- සංගීතය - ගීතය පමණක් නොව දේශපාලනයද ‘කොලම‘ට විෂය වූයේය. ඒ සියලු තැන්වල සිදුවූ අගතීන් ‘කොලම‘ තුළින් එළිපිටම පට්ට ගැසුවේය. චින්තනගේ අතිශය උපහාසාත්මක හා නිර්දය භාෂාව නිසා ඒ පුංචි කොළ කෑල්ලෙන් වුවද විවේචනයට ලක්වූවන්ගේ ඉහමොල රත් වූයේය. එසේ වූයේ චින්තනගේ වචන හෙණ ගෙඩි මෙන් ඔවුන්ගේ කන හරහා පුපුරා ගිය බැවිනි. විචාරයේදී ඊට ගොදුරුවන්නා කවර තරාතිරමක වුවද ඔහු එය තුට්ටුවකටත් මායිම් නොකළේය. එහිදී මිතුරාද  සතුරාද යන්න වුව ඔහුට ප්‍රශ්නයක් වූයේ නැත. ඒ නිසාම තමන් සමග එකට මධුවිත පානයකොට වෙන්ව ගිය මිතුරාට වුවද පසු දින චින්තනගේ කණේ පහරට ලක්වූයේය.

මේ රටේ සිනමාවේ පුරෝගාමියා වන ලෙස්ටර් ජේම්ස් පීරිස් පමණක් නොව ටයිටස් තොටවත්ත - නාට්‍ය කලාවේ හා සාහිත්‍ය යේ දැවන්තයකු වූ සයිමන් ගත්තේගම - ගුවන් විදුලියේ හා ගීත ක්ෂෙත්‍ර යේ දැවැන්තයකු වූ ප්‍රෙමකීර්ති ද අල්විස් ඇතුළු මෙකී නොකි ප්‍රතිරූප සියල්ලටම අවශ්‍ය වූ තැන යාළු මිත්‍රකම් නොතකා චින්තන පහර දුන්නේය උපහාසයට ලක් ක‍ළේය.

ලෙස්ටර්ගේ ‘‘දෑස නිසා‘‘ චිත්‍රපටය පිළිදව ලියූ විචාරයේදී චින්තන එය හැදින්වූයේ ලෙස්ටර්ගේ ‘දෑස (නැති) නිසා‘ යනුවෙනි. නවගත්තේගම ගේ ‘ සුබ සහ යස‘ විචාරයේදී එය පතුරු ගැසුවේ ‘සුභ යස නොහොත් කිතුලට ගිය මිනිසාගේ කතාව‘ යනුවෙනි.  ටයිටස් තොටවත්ත ගේ ‘සිහසුන‘ චිත්‍රපටය අරබයා ලියූ විචාරයේදී එය හැදින් වූයේ ‘අය්යෝ තොටවත්ත  ඉදගත්තද රජ ‘ යනුවෙනි.

සිනමා විචාරකයකු වශයෙන්ද කටයුතු කළ අවදියේදී චින්තනගේ පෑන් පහරින් වැඩි පුරම වැදුනේ සිනමාවේ නාමයෙන් බාල බයස්කෝප් හැදූ මුදලාලියන්ටය. එහිදී ඔහු යොදාගත් උපහාසාත්මක භාෂාව බයස්කෝප් මුදලාලිලාගේ ඔලුකටු දවා හලු කරන තරම් විය.

චින්තනගේ ‘කොලම‘ තුළ ආ භාෂාව නිසාම දේශපාලකයන් චින්තනගෙන් වැඩ ගන්නට කල්පනා කළේය. අනුර බණ්ඩාරනායක විපක්ෂ නායක වන්නට පෙර චින්තනගේ කර්තෘත්වයෙන් ‘අද ‘ පුවත්පත ආරම්භ කළේ ඒ අනුවය. ‘අද ‘ පුවත්පත ඔස්සේ ඔහු එදා ආර් ප්‍රෙමදාසගේ නිවාස සංකල්පය උපහාසයට ලක් කළ නිසා බලවත් කම්පනයට පත්වූ ප්‍රෙමදාස චින්තනට විරුද්ධව අපහාස නඩුවක්ද දැම්මේය.

මහරජා ළග වැඩ කළත් චින්තනගේ චින්තනයේ අදීනත්වය මෙල්ල කළ නොහැකි විය. ඒ නිසාම ඔහු දේශපාලකයන් යටතේ වැඩ කිරීම පසෙක ලා ‘හෙට ‘ නමින් ජාතික පුවත්පතක් ඔහු විසින්ම ආරම්භ කළේය.

‘අද ‘ පුවත්පත මෙන්ම ‘හෙට ‘ පුවත්පත මගින්ද චින්තනගේ පුවත්පත් කලා භාවිතයේ අනන්‍යතාව හදුනා ගත හැකි විය. එම පුවත්පත් දෙකෙන්ම ඔහු පුවත්පත් කලාවේ අන්තර්ගතය මෙන්ම ආකෘතියද ඔලුවෙන් සිටවූයේය.

පුද්ගලයකු වශයෙන්ද චින්තන වටා ගෙතුණු රසවත් කතා එමටය. අතිශය මධු ලෝලයකු වූ චින්තනගේ කතා ලතාවන් තළු මර මරා වෙනත් මධු පානෝත්සවවලට විෂය වූයේය. එහිදී චින්තන කළ කී දෑ ඇසුරින් ගෙතුණු රස කතාද එකී මධු පානෝත්සව රසවත් වූයේය.

චින්තනට ඔනෑ තරම් මුදල් උපයන්නට අවස්ථාව තිබුණේය. එහෙත් මුදල් ඔහුට අවශ්‍ය වූයේ මිතුරන් සමග කා බී විනෝද  වන්නට පමණි. ඔහු ජීවිතය දෙස බැලුවේ සැහැල්ලුවෙනි. ඒ අනුව ජීවිතය බරක් කරනොගත් ඔහු එය හොඳහැටි භුක්ති වින්ඳේය .තෘප්තිමත් මිනිසකු ලෙස චින්තන අද අප හැර ගියේ පත්තර කලාව තුළත් විචාර කලාව තුළත් ඔහු ගොඩනැගු පෞරුෂය  මතු පරම්පරාවට ඉතිරි කරමිනි.  ඒ පෞරුෂය හදුනාගැනීම තුළින් වත්මන් පරපුරට කොන්ද කෙළින් තියාගෙන පෑන හසුරුවන්නේ කෙසේද යන ආදර්ශය ලබාගත හැකිය.

-ගුණසිරි සිල්වා

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

Dekala Purudu Kenek

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday140
mod_vvisit_counterYesterday247
mod_vvisit_counterThis week387
mod_vvisit_counterLast week1519
mod_vvisit_counterThis month5236
mod_vvisit_counterLast month8155
mod_vvisit_counterAll days2185749

Follow us on Facebook

Online Users

We have 14 guests online

Asandimiththa

Ginnen Upan Seethala