01
Sep

අර්බුද, අරගල සහ සරල මිනිහෙක්

පත්තර කන්තෝරුවේ රස්සාවට ආපු මුල්ම දවසේ වෙනස් වටපිටාව එක්ක දැකපු චරිත අතරේ බොහොම වෙනස්

වගේම අමුතු මාදිලියක චිත්‍රයක් හිතේ මතු කරපු පුද්ගලයෙක් ඉන්නවා. ඩෙනිම් කලිසමට යට කරපු ශර්ට් එක, දුඹුරු පාට සපත්තු, උඩට පීරපු කොන්ඩේ, එතරම් උසක් නැති මේ මනුස්සයා බොහොම සීරුවට තමන්ගේ රාජකාරිය කරගෙන ඉන්නවා දැක්කා. මුණ ගැහුන මුල්ම නිමේෂයේ බොහොම අව්‍යාජව හිනා වෙලා පස්සෙ විස්තර එහෙම කතා කරලා දවසක් දෙකක් ගියාම තමයි දැන ගත්තේ කව්ද මේ පුද්ගලයා කියලා.

'හොඳ පත්තර කකුලක්, හැත්ත ගණන් වල ඇත්ත පත්තරේ පවා හිටියා, හොඳ හොඳ පොත් ලියපු පොරක්, පොඩ්ඩක් ආස්සරේ කරලා බලපං. ඔය මනුස්සයගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා උඹට.'

පත්තර කලාවේ අවුරුදු ගාණක අත්දැකීම් තියන මිත්‍රයෙක් එහෙම හඳුන්වල දෙන්නේ ගුණසිරි සිල්වා එහෙමත් නැතිනම් ගුණසිරි අයියා ගැන. එදා දැකපු මේ සරල මනුස්සයා රාක්කයක් පුරවන්න තරම් ක්ෂේත්‍ර ගණනාවක වැදගත් පොත්පත් ලියපු, ඊටත් එහා ගිය සාර පුවත්පත් ලිපි ලියපු ඥාන සම්භාරයක් නැත්නම් ඇවිදින විශ්ව කෝෂයක් කියලා දැන ගන්න ටික කාලයක් ගියා. ඒ වගේම සරලව මල්ලි කියලා කතා කරලා ගැට්ටක් ඇති කර ගන්නේ නැතිව තමන්ගේ පරිනතභාවය බොහොම හොඳින් පෙන්වන්න ගුණසිරි අයියා නිහතමානී වුණා.

ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල කියන්නේ ගුණසිරි අය්යගේ අළුත්ම පොත. මේ පොත ගැන ගුණසිරි අයියා මුලින්ම මාත් එක්ක කතා කරන්නේ මීට මාස තුනකට විතර කලින්. එතකොට මේ පොතේ ලිපි කිහිපයක් ලියලා අවසන්. මේ පොත ලියන්න හේතුව විදිහට ගුණසිරි අයියා කිව්වේ බොහොම වැදගත් කතාවක්. අද ඉන්න තරුණ පරපුරේ බොහොමයක් අය දේශපාලනයේ වැදගත් සිද්ධි ගැන සාදක ගැන කිසිම අවබෝධයක් නෑ. මේ පොත ලියවෙන්නේ ඒ අයට අත්පොතක් විදිහට, නැත්නම් දේශපාලන විද්‍යාව හදාරණ අයට නිබන්ධනයක් විදිහට. ඒ පැත්තෙන් බැලුවම චේතනාව බොහොම හොඳයි. ඒක නිසා කර්මය නරක වෙන්නේ නෑ කියලා මම එදාම තේරුම් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට අගෝස්තු 12 පොත එළියට එනවා.

පොත අතට ගත්ත ගමන් පටුන කියවලා බලලා මුලින්ම කියවන්න ගත්තේ 102 පිටුවේ ලියවෙන විජය කුමාරතුංග ඝාතනය සම්බන්ධයෙන්. 88 අවුරුද්දේ පොල්හේන්ගොඩ ගෙදර ඉස්සරහ මුණ කුඩු වෙන්න වෙඩි තියලා නිරපරාදේ මරලා දාපු මානව හිතවාදී දේශපාලනඥයා සහ කලාකරුවාගේ මරණය කියන්නේ ලංකාවේ දේශපාලනයේ මම දකින විදිහට කුරිරුතම හැරවුමක්. ඒ ඝාතනය සහ ඒකට සම්බන්ධ සිදුවීම් ගැන ගුණසිරි අයියා බොහොම අපක්ෂපාතීව සහ සරල බසකින් හොඳ විග්‍රහයක් කරලා තිබුණා. ඊටත් පස්සේ 1953 හර්තාලය, අගමැති බන්ඩාරණායක ඝාතනය, 71 අප්‍රේල් කැරැල්ල, 80 වැඩ වර්ජනය, එල්.ටී.ටී.ඊ. නැගිටීම, 88-89 භීෂණය, එල්.ටී.ටී.ඊ. පරාජය වගේ බොහෝ දෙනෙක් නාමිකව අහලා තියන ඒත් අභ්‍යන්තරය නොදන්නා දේශපාලනික සිදුවීම් ගැන ගුණසිරි අයියා ඉතා හොඳ විස්තරයක් මේ පොත හරහා ඉදිරිපත් කරනවා. මේ සිද්ධි බොහොමයක් ඇස් දෙකෙන් දැකපු පුද්ගලයෙක් විදිහට ඔහු තමන්ගේ අර්ථ කථනය ඒ සම්බන්ධයෙන් ලියන්න පොඩ්ඩක්වත් පස්ස ගහන්නේ නෑ.

80 ජුලි වැඩ වර්ජනේ ගැන එවකට පත්තරකාරයෙක් විදිහට ඇස් දෙකෙන් දැකපු, කන් දෙකෙන් අහපු මාධ්‍යවේදියෙක් විදිහට බොහොම සජීවී ලියවිල්ලක් ඉදිරිපත් කරන ගුණසිරි අයියා පොතේ සමහර සිදුවීම් අස්සට තමන්ගේ දේශපාලන දැක්ම රිංගවන්න අමතක කරන්නේ නෑ.

සමස්තයක් විදිහට ගත්තම මේ පොත කියවලා ඉවර කරන කෙනෙක්ට ලංකාවේ වර්තමාන දේශපාලන, සමාජ සහ ආර්ථික අර්බුද පටන් ගන්නේ කොතැනින්ද සහ යන්නේ කොතැනටද කියලා හොඳ අදහසක් ගන්න පුළුවන් කියන එක සහතිකයි. හරියට තිත්ත බෙහෙතක් සීනි තවරලා කටට දානවා වගේ අලංකාර සහ සරල ලිවීමේ කලාවක් හරහා සංකීර්ණ සිද්ධි දාමයක් පාථකයාගේ ඔළුව ඇතුලට රිංගවන්න ගුණසිරි අයියා බොහොම අපූරුවට කටයුතු කරනවා. එකකට එකක් ඈඳුන මේ සිද්ධි ගැන චිත්ත රූප මැවෙන තරමට හොඳ පොතක් ලියනවා කියන එක ගුණසිරි අයියා වගේ මනුස්සයෙක්ට බොහොම ලේසි වැඩක් වෙන්නේ තමන් තුළ තිබෙන දැනුම සහ අත්දැකීම් ප්‍රමාණය වගේම දක්ෂතාවයත් බොහොම ඉහළ නිසා කියන එක මගේ පුද්ගලික අදහසයි.

එක පැත්තකින් පත්තර පිටු පුරවලා හරි පොත් ලියලා හරි මේ රටේ මිනිස්සුන්ගේ දේශපාලන ඥානය පොඩ්ඩ පොඩ්ඩ හරි මුවහත් කරන එක සංසාරික පුන්‍යකර්මයක්. නැත්නම් අරක්කු බෝතලේට දේශපාලනික මීහරක් පස්සෙන් ගිහින් අන්තිමට ඡන්දෙන් පස්සේ ඉවරයක් නැතිව බැණ බැණ ඉන්න වහල්ලු බහුතරයක් ඉන්න සමාජයක ඒ චරිත දේශපාලනික දැනුමෙන් සන්නද්ධ කරන එක මහ පිනක්. ඒ වගේම ගුණසිරි අයියාගේ අතීත ලියවිලි සහ වර්තමාන ලියවිලි බැලුවම දවසින් දවස මුහුකුරා ගිහින් අද වෙද්දි බොහොම ඉහළ තැනක තියන දක්ෂතාවය වගේම පරිණතභාවය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ. හැබැයි අන්තිමටම කියන්න ඕන දෙයක් තියනවා. ඒ තරමට ගැඹුරු දැනුමක් තියන සරල මනුස්සයෙක් මල් පත්තරයක් සංස්කරණය කරගෙන ඉන්නවා කියන්නේ ඉතා දරුණු මට්ටමේ අපරාධයක්. ඒ වගේම එහෙව් මැණික් උඩ වාඩි වෙලා ඉඳගෙන උඩින් පරිප්පු දාන කල් බලාගෙන ඉන්න එකත් අපේ පැත්තෙන් ලොකු මෝඩ කමක්.

‘ජනයාගේ කොලම‘ (ඉරුදින- 2016-08-28)

Share

Raigamayai Gampalayai

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday165
mod_vvisit_counterYesterday199
mod_vvisit_counterThis week364
mod_vvisit_counterLast week6835
mod_vvisit_counterThis month12403
mod_vvisit_counterLast month14228
mod_vvisit_counterAll days2083736

Follow us on Facebook

Online Users

We have 52 guests online