30
Sep

මම සිනමා විචාරයට පමණක් කොටු වී නැහැ

ප්‍රවීණ සිනමා විචාරක, ලේඛක හා මාධ්‍යවේදී ගුණසිරි සිල්වා රචිත ග්‍රන්ථ ත්‍රිත්වයක් ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළි දැක්විණ. ඒ 'ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය' සහ 'ලාංකේය දේශපාලනයේ අර්බුද හා අරගල' නමැති විචාරාත්මක කෘති ද්විත්වයත් 'සමීප ආගන්තුකයා' නවකතාවත්ය.

අද ගුණසිරි මෙසේ අප හා සංලාපයට එක් වන්නේ එය නිමිති කොට ගනිමිනි.

අපි මුලින්ම කතා කරමු 'ලාංකේය සිනමාවේ නිරූපිත ස්ත්‍රිය' කෘතිය පිළිබඳ?

මේ කෘතිය මුලින් මම එළි දැක්වූවේ 1986 දී. මේක නැවත මුද්‍රණයක්. මම මේ කෘතිය හරහා කතා කරන්නේ ලංකාවේ සිනමාව ඇතුළේ කොහොමද ස්ත්‍රිය නිරූපණය වෙලා තියෙන්නේ කියලා. 'කඩවුණු පොරොන්දුව' චිත්‍රපටයෙන් පටන් අරගෙන එදා ඒ කෘතිය මම නිමා කළේ 'දඩයම' චිත්‍රපටයේ 'රත්මලී'ගේ චරිතයෙන්. ඒක තමයි මම දකින්නේ පුරුෂාධිපත්‍යයට එරෙහිව ස්ත්‍රියක් නැඟී හිටපු පළමුවැනි අවස්ථාව අපේ සිනමාවේ.

එතකොට වර්තමානය දක්වා එකී මාතෘකාව යාවත්කාලීන කිරීමක් මේ?

ඔව්. ඇත්තටම මේක අප්ඩේට් එකක් තමයි. මේ කෘතිය හරහා ඒ ප්‍රස්තුතය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ 'ඔබ නැතිව ඔබ එක්ක' චිත්‍රපටය දක්වා දිග හැරෙනවා. වසන්ත ඔබේසේකර ගේ 'දඩයම' තමයි ලාංකේය සිනමාවේ ස්ත්‍රී භූමිකාව තුළ තිබූ සම්මත ආකෘතිය පුපුරුවා හැරි චිත්‍රපටය. එතනින් පස්සේ අපේ සිනමාව වෙනස් වෙනවා. ඒ වෙනස පැහැදිලිව පෙනෙන්න පටන් ගන්නවා අශෝක හඳගමගේ 'චන්න කින්නරී', 'තනි තටුවෙන් පියාඹන්න' වගේ චිත්‍රපටවලින්. එතකොට ප්‍රසන්නගේ 'අනන්ත රාත්‍රිය' ඊට පස්සේ 'පවුරු වළලු' සහ 'ඔබ නැතිව ඔබ එක්ක' වැනි චිත්‍රපට.

මේවායෙහි අප දකින්නේ එකිනෙකට වෙනස් වූ භූමිකාවන්?

අපි හැමදාම සිනමාවේ ස්ත්‍රිය දැක්කේ 'සැමියා බිරිදගේ දෙවියාය' කියන ආකල්පයෙන්. එතකොට 'සුන්දර බිරිඳ' ආකාරයේ චරිත. හැබැයි මේගොල්ල එහෙම නෙවේ. මේ අය වෙනස් චරිත. 'පවුරු වළලු' වයලට් ගත්තත්, 'තනි තටුවෙන් පියාඹන්න' චිත්‍රපටයේ පිරිමියෙක් විදිහට රඟපාන ගැහැනු චරිතය ගත්තත්, 'ඔබ නැතිව ඔබ එක්ක' අර ද්‍රවිඩ තරුණිය ගත්තත් ඒවා වෙනස් භූමිකාවන්. දැන් වෙනකොට අපේ සිනමාවේ ස්ත්‍රිය දිහා බලපු ආකල්පය වෙනස් වෙලා. විවිධ ස්ත්‍රී වේශයන් ඒ තුළට ආරෝපණය වී තිබෙනවා. අපි හැමදාම දැක්කේ සැමියා විසින් හැරදා යන බිරියගේ චරිතය. නැවත බිරිය විසින් සැමියා බාර ගන්න ඒවගේ චරිත. එහෙම නැති එක චිත්‍රපටයක් තිබුණා ඒ 'දුහුළු මලක්'. තමන්ගේ ආදරණීය සැමියා ඉන්දැද්දී වෙනත් තරුණයකුගේ පහස සොයාගෙන යන ගැහැනියකගේ කතාව එතැන තිබුණේ. ඒ කියන්නේ තහනම් ප්‍රේමයක් ගැන. හැබැයි මේක විය හැකි දෙයක්. නමුත් එදා අපේ සිනමා විචාරකයෝ මේ චිත්‍රපටයට එරෙහිව කඩා පැන්නා.

කරුණාසේන ජයලත් වැනි විචාරකයෙක් 'දුහුළු ලක්' දැඩි ලෙස විවේචනයට ලක් කළා?

ඔහු 'එම්බල ගැහැනිය' කියලා 'සිළුමිණ' පත්තරේට ලිව්වේ. ඔහු කිව්වේ 'දුහුළු මලක්' නිලූපා එතෙක් සිනමාවේ පැවැති ස්ත්‍රියගේ පරමාදර්ශය බිඳ දැම්මා, එහෙම නැතිනම් පවුලේ පාරිශුද්ධභාවය බිඳ දැම්මා කියලයි. නමුත් අද වෙන කොට ඊට වඩා ආන්දෝලනාත්මක ලෙස ස්ත්‍රිය අපේ සිනමාවේ නිරූපණය වෙනවා.

හොඳයි අපි දැන් කතා කරමු 'ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල' ගැන. මේ මම හිතන්නේ ඔබේ සුපුරුදු විෂය පථයෙන් බැහැරව ලියැවුණු කෘතියක්?

වඩාත්ම මා හඳුනන්නේ සිනමා විචාරකයෙක් හැටියටනේ මේ සමාජය. ඒ අර්ථයෙන් බලනකොට මේක වෙනත් මානයක් ඔස්සේ ලියවුණු කෘතියක් තමයි. හැබැයි අසංක මගේ සිනමා විචාරවලත් එදා පටන්ම යම් දේශපාලන දෘෂ්ටියක් තිබුණා. ඒ කියන්නේ පක්ෂ දේශපාලනය නෙවෙයි, සමහරු මාව හැඳින්වූවේ මාක්ස්වාදී සිනමා විචාරකයෙක් කියලානේ. හේතුව සිනමාව දිහා මම බැලුවේ කිසියම් දේශපාලන ඇහැකින්. ඒ හින්දා මට හැමදාම දේශපාලනය තිබුණා. ඒ කිව්වේ දේශපාලන දැක්මක්. මම දේශපාලනය හදාරලා තියෙනවා සහ හදාරමින් ඉන්නවා.

ඒ කියන්නේ ඔබ සිනමාව පිළිබඳ වගේම දේශපාලනය පිළිබඳවත් සවිඥානිකව සිටින කෙනෙක්?

ඇත්තෙන්ම ලාංකේය දේශපාලන භුමිකාව තුළ පසුගිය කාලයේ සිදු වූ දේවල් පිළිබඳ මා අවධානයෙන් සිටියේ. 'ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල' කෘතිය මා අතින් ලියැවෙන්නෙත් ඒ දේශපාලන සංස්කෘතිය හරහා මතු වූ සුවිශේෂී කරුණු කාරණා මුල් කරගෙන.

කොතනින්ද එය ආරම්භ වෙන්නේ?

ඒක ආරම්භ වන්නේ 53 හර්තාලයෙන්. ලංකාවේ ප්‍රධානම දේශපාලන අරගලය එන්නේ 53 හර්තාලයෙන්නේ. ඒ හර්තාලයෙන් පස්සේ මේ කෘතිය තුළ කතා වෙනවා '71 කැරැල්ල', '89 භීෂණය', 'බණ්ඩාරනායක ඝාතනය', එතනින් ගියාම 'රෝහණ විජේවීර ඝාතනය' එතකොට 'විජය කුමාරණතුංග ඝාතනය' ඊළඟට 'ඊළාම් අරගලය'. මේ රටේ ජනවාර්ගික යුද්ධය ඇතිවුණු හැටි, භාෂා ප්‍රශ්නයක් කොහොමද මේ යුද්ධයක් දක්වා දිග් ගැස්සුණේ කියන කාරණාව සහ 83 ජූලිය පිළිබඳවත් මේ කෘතියේ කතා වෙනවා. මේ වගේ සිදුවීම් එකොළහක්.

ඇයි මේ වගේ කෘතියක් රචනා කරන්න ඔබ පෙළඹුණේ?

ඒකට විශේෂ හේතුවක් තියෙනවා. මීට අවුරුදු පහකට ඉස්සර වෙලා මම මේ පොත ලියන්න පටන් ගත්තේ ඒ කාරණාව නිසයි. එක්තරා විශ්ව විද්‍යාලයක දේශනයක් කරන්න ගියාම සිනමාව ගැන අවසාන වසරේ ශිෂ්‍යයෙක් මගෙන් ඇහුවා 'සර් මොකක්ද මේ කළු ජූලිය කියන්නේ' කියලා. කළු ජූලිය ගැන දන්නේ නැතිනම් අවසන් වසරේ ශිෂ්‍යයෙක් ඒක බරපතල ප්‍රශ්නයක්නේ. එදා තමයි මම තීන්දු කළේ තරුණයන්ට මේ දේ්ශපාලනය පිළිබඳ යම් ආකාරයක දැනුමක් ලබා දෙන්න ඕනෑයි කියලා.

එහෙම සද්භාවයකින් තමයි ඒ කාර්යයට ඔබ අත පෙව්වේ?

මේ කෘතිය දේශපාලනය හදාරන අයට වැදගත් වෙයි. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට වැදගත් වෙයි. ඊළඟට පුවත්පත් කලාවේදීන්ට. මේ සිද්ධි සිදුවුණේ අහවල් දවසේ. ඩඩ්ලි, චෙල්වනායගම් ගිවිසුම අත්සන් කළේ මේ කාලේ, 83 කලබල මෙන්න මෙදා පටන් ගත්තේ, 71 කැරැල්ල මෙහෙමයි සිද්ධ වුණේ, එහි පසුබිම. ඒ සියල්ල මෙහි ඇතුළත්.

හැබැයි මෙය හුදු වාර්තාමය ස්වරූපයෙන් ඔබ්බට ගොස් රචනා කළ කෘතියක් හැටියට මම දකිනවා?

මට කීප දෙනෙක් කිව්වා මේක නිකං ඹ්ඪමඥ දැනෙනවා කියලා. මෙහි එන සමහරක් සිද්ධි මම අත්දැක්කා ඇස් පනාපිට. ඒ සමහරක් සිදුවීම් මම ලියන්නේ හරියට ෆිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් කැමරාවක් දර්ශන තලයට එල්ල කරගෙන ඉන්නවා වගේ. 71 කැරැල්ල මම දැක්කා ඇස් දෙකෙන්. ඊට පස්සේ 83 කැරැල්ල. 80 ජුලි වර්ජනය. එතකොට 89 භීෂණය. මේවා කොයි ආකාරයෙන්ද සිද්ධ වුණේ කියලා මම ඇස් දෙකෙන් දකිනවා. ඒ නිරීක්ෂණ අවබෝධයත් එක්ක තමයි මේ සිදුවීම් මා පෙළගස්සා තිබෙන්නේ. 53 හර්තාලය, බණ්ඩාරනායක ඝාතනය වගේ දේවල් මම ලිව්වේ ඉතිහාසය හදාරලා. ඒ ඓතිහාසික දත්තවලට අනුවයි.

බණ්ඩාරනායක ඝාතනය, විජය කුමාරණතුග ඝාතනය වගේ සිදුවීම් ඔබ කොහොමද 'ලාංකේය දේශපාලනයේ අර්බුද සහ අරගල' කියන මාතෘකාවත් එක්ක ගළපන්නේ?

දැන් දේශපාලනයේ තිබුන අර්බුද නිසානේ අරගල හට ගන්නේ. උදාහරණයක් හැටියට 71 කැරැල්ල එන්නේ මේ රටේ දේශපාලන අර්බුදයක් නිසානේ. ඒවාටනේ මේ තරුණයෝ විසඳුම් හොයන්නේ. 53 හර්තාලය එන්නෙත් අර්බුදයක් නිසානේ. එදා හාල් සේරුවේ මිළ වැඩි කළා ජනතාව පාරට බැස්සා. එතනින් ගියාම ජනවාර්ගික අර්බුදය පවා මේ රටේ දේශපාලන අරගලයක් බවට පත් වෙනවානේ. ඒක නිසා මේක දේශපාලන අරගල සහ අර්බුද තමයි. හැබැයි ඒක ඇතුළේ මගේ දේශපාලන දෘෂ්ටියකුත් තියෙනවා.

ඔබේ දේශපාලන දෘෂ්ටිය ඇතුළේ යම් ආකාරයක පක්ෂග්‍රාහී බවක් පිළිබිඹු නොවේ යැයි කියා අපට විශ්වාස කළ හැකිද?

මම හරි මැද ඉඳන් නිරික්ෂකයෙක් හැටියට කියනවා මෙන්න මේ හේතුව නිසා මේ දේ සිද්ධ වුණා කියලා. එය මගේ හිතළුවක් නෙවේ. ඓතිහාසික කරුණු මත පදනම්ව කරන විග්‍රහයක්. මේ පොත ලියලා ඉවර වුණාම මට හිතුණා මේ ගොඩක් ප්‍රශ්නවලට වග කියන්න ඕනෑ මේ රටේ වමේ ව්‍යාපාරය කියලා. උදාහරණයක් විදිහට ඩඩ්ලි - චෙල්වනායගම් ගිවිසුම අත්සන කරන වෙලාවේ කොල්වින්, එන්. එම්. වගේ වාමාංශික නායකයෝ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියත් එක්ක ගිහිල්ලා ඒවා පුච්චලා ගිවිසුමට විරුද්ධව කටයුතු කළා. වමේ නායකයෝ තමයි කිව්වේ දෙමළ භාෂාවට මේ රටේ සමතැන දෙන්න ඕනෑ කියලා. බලය සඳහා යම් යම් පක්ෂ එක්ක සම්මුති ගහලා ජනතාවගේ හිත දිනාගන්න ඔවුන් අර වගේ මැදිහත් වුණ එක වැරදියි.

එතකොට ඔබේ අනෙක් කෘතිය, එය නවකතාවක්?

ඔව්. 'සමීප ආගන්තුකයා' කෘතිය. 1975 දී මම මෙහි පළමු කොටස එළි දැක්වූවා 'චාරයක් නැති මිනිසෙක්, ගැහැනියක් සහ ඛේදවාචකයක්' කියලා. ඒකේ තියෙන්නේ ඇත්තටම හුදකලා චරිතයක් තමන්ගේ ජීවිතයත් එක්ක කොහොමද ගනුදෙනු කරන්නේ කියන කාරණාව. එහි දෙවැනි කොටස 'සමීප ආගන්තුකයා' ලෙස මීට වසර දහයකට පමණ පෙර එළි දැක්වූවා. ඒ කෘතිය පිළිබඳ වත්මන් තරුණ පරපුරේ යම් උනන්දුවක්, මතවාදයක් තියෙන නිසා තමයි එය නැවත එළි දකින්නේ.

'සමීප අගන්තුකයා' නවකතාවට පාදක වන්නේ ප්‍රේමය. ඔබ එදා අත්විඳි ප්‍රේමය වත්මන් තාරුණ්‍යයත් එක්ක කොහොමද බද්ධ වෙන්නේ?

අපි නිර්මාණයක් කළාම ඒකත් එක්ක ඉන්නවා. සමාජයෙන්නේ අපට විචාර එන්නේ. මේ නවකතාවේ ඇත්තෙන්ම මම කතා කරන්නේ විවාහයයි, ප්‍රේමයයි දෙකක් කියන කාරණාව. මෙහි එන පෙම්වතුන් යුවළ අපි විවාහ වෙන්න ඕනෑ නෑ, ප්‍රේම කරමු කියන තැන ඉඳගෙනයි ජීවිතය දිහා බලන්නේ. සමාජය මේ ප්‍රශ්නයට ඇඟිලි ගහනකොට ඇයට සිද්ධ වෙනවා ඔහුගෙන් වෙන් වෙන්න. ඊට පස්සේ ඔහු හුදෙකලා වෙනවා. ඒක තමයි මම මුල් කොටසේ ලිව්වේ. එතකොට 'සමීප ආගන්තුකයා' කෘතියේ මම ඉස්මතු කරන්නේ මේ හුදෙකලාව ඇතුලේ ඔහු කොහොමද ජීවිතයට මුහුණ දෙන්නේ කියන එක. 'සමීප ආගන්තුකයා' යළි එළි දක්වන්න විශේෂ හේතුවක් තියෙනවා. එක්තරා තරුණ පිරිසකගේ ඉල්ලීම අනුවයි මෙය නැවත එළි දක්වන්නේ. එම කෘතිය නැවත සාකච්ඡාවට බඳුන් කළ යුතු යැයි ඔවුන් ප්‍රකාශ කර සිටියා. මේ අලුත් මුද්‍රණයේදී මම අර මුල් කොටසත්, දෙවැනි කොටසත් එකතු කරමින් 'සමීප ආගන්තුකයා' එක් පොතක් හැටියටයි පාඨකයන් වෙත ගෙන ආවේ.

පාඨක ප්‍රතිචාර කෙබඳුද?

මේ පොතේ යම් යම් කොටස් මම මුහුණු පොතේ පළ කරාම ගොඩක් අය සුන්දර නවකතාවක් කියලා අගය කළා. ජිනේ සහ චිත්‍රා කියන පෙම්වතුන් යුවළ වටා තමයි මේ නවකතාව ගෙතී තියෙන්නේ. ඔවුන් ඉතාම නිදහස් සිතුම් පැතුම් තිබෙන පෙම්වතුන් යුවළක්. තරුණියට ගමනක් යන්න වුවමනා වුණාම ඇය තනිවම යනවා. තරුණයාත් එහෙමයි. ජිනේ කියන තරුණයාට රක්ෂාව නැති වෙන තැනින් තමයි මේ කතාව ඇරඹෙන්නේ. රැකියාව සමඟ වුණත් එහෙම ලොකු බැඳීමක් ඔහු තුළ නෑ. ජිනේ කියන්නේ සාංදෘෂ්ටිකවාදය කියන දර්ශනය ඇතුළේ ජීවත් වෙන කෙනෙක්. ජීවිතය වැඩිපුර භුක්ති විඳින්න ඕනෑ සමාජ ප්‍රශ්න අයින් කරල දාලා කියන තැන ඉන්න මනුෂ්‍යයෙක් ඔහු.

එය යථාර්ථයෙන් තරමක් බැහැරයි නේද?

ඔව්. කෙනෙකුට හිතන්න පුළුවන් එහෙම. නමුත් මම මේ නවකතාව හරහා කතා කරන්නේ අපේ ඇත්ත ජීවිතය. සැබෑ ප්‍රේමය. කොහොමද ඒ ජීවිතය ඇතුළේ ප්‍රේමය පවතින්න ඕනෑ කියලා මේ කෘතියේ සාකච්ඡා වෙනවා. අපි ඔක්කොටම එහෙම ඉන්න බෑ. නමුත් ප්‍රේමය කියන්නේ බැඳීම්වලින් තොර දෙයක්. මේ තේමාව සුන්දරයි. ඒ තුළ අපට හැමවිටම පවතින්න බැරි වුණත් මේ ප්ලොට් එකත් එක්ක මිනිස්සු බැඳෙනවා.

අසංක දේවමිත්‍ර පෙරේරා
සේයාරුව - නිරෝෂ් බටේපොළ  

 

Share

Madura Charika

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday266
mod_vvisit_counterYesterday279
mod_vvisit_counterThis week1506
mod_vvisit_counterLast week6295
mod_vvisit_counterThis month10348
mod_vvisit_counterLast month15371
mod_vvisit_counterAll days2028417

Follow us on Facebook

Online Users

We have 54 guests online