29
Dec

යළි යළිත් බලන්නට සිත්දෙන බඹරු ඇවිත්


මෙතරම් නව චිත‍්‍රපට නිපයෙද්දී වුවත් බමරු ඇවිත් ගැන කතාකිරීම කාලය නාස්ති කිරීමක් නොවන්නේ එය පහසුවෙන් බැහැරකළ හැකි චිත‍්‍රපටයක් නොවන නිසාය. එහි ගැබ්වන නිර්මාණාත්මක තානය නැවත නැවතත් ඉස්මතු වෙමින් අපූර්ව චමත්කාරයක් ධ්වනිත කරයි. කිසිසේත් ම මගහැර යා නොහැකි වූ කටුක යථාර්ථය ද ඒ සමග ඈදී ඉස්මතු වෙයි. වැල්ලේ එතෙක් පැවති ජීවන වාතාවරණයත් බැහැරින් පැමිණෙන්නන් ඒ මත ඇති කරන උහුලාගත නොහැකි කම්පනයත් රැගත් රූප රාමු යළි යළිත් පෙනී නොපෙනී යයි.


”තෙරේසා.. උඹල ප‍්‍රවේසම් වෙයල්ලා වැල්ලට බඹරු ඇවිත්... බඹරු.... ඈ... බඹරු.”

චිත‍්‍රපටයේ නාමය වඩා රූපකාත්මක ව අර්ථ විවරණ ලබන්නේ එතැනිනි.

1978 දී මෙය මුල්වරට තිරගත වූ කාලවකවානුව වන විට විවෘත ආර්ථිකය කැඳවාගැනීමෙන් ඇති ව තිබූ සමාජ ආර්ථික සංස්කෘතික විපර්යාස ද මේ සමග ගැළපී සිටිනු නිරනුමානය. උදුම්බරා හිනැහෙන්නාක් බඳුදු වූ හෙලන්ගේ සෞන්දර්ය මත පතිත වන ඛේදය වැලද ගන්නා ඈ වැල්ලේ ස්ති‍්‍රයට තමාට කැමති ලෙස කටයුතු කළ හැකි ආකාරයේ වික්ටෝරියා බිසවුන්නාන්සේ කෙනකු නොවන බවට ඇන්ටා පැවසූ අදහස සනාථ කරයි. මුහුදේ රළත්, ඒ හා ගැටෙන සුළඟත්, මේ පසුබිමෙහි ජීවිතය ගෙනයන මනුෂ්‍ය ප‍්‍රාණීනුත් ගෙවන විවරණය කළ නොහැකි ජීවිතයට යම්බදු අටුවාවක් සැපයෙන්නේ සූරාකෑම පසක් කළ බේබි මහත්තයාගේ මානව හිතවාදී මිතුරා හද පත්ලෙන්ම විරේක කරන වාගාලාපවලිනි.

ගී‍්‍රක වීර කාව්‍යයන්හි සඳහන් අන්දමට මහා ට්‍රෝජන් සංග‍්‍රාමයට ද හේතුකාරක වූයේ රූමත් ම ස්ති‍්‍රය ලෙස සැලකුණු හෙලන්ය. ඒ හෙලන් මෙන්ම මේ හෙලන් ද ස්තී‍්‍ර චිත්තයේ ස්වභාවයත් කඩා දමන සමාජ සංස්කෘතික වාතාවරණ යළි යළිත් බලවත් ව ස්තී‍්‍ර චරිතය මත පතිත වන ආකාරයත් මනාව පෙන්නුම් කරයි. ඒ පසුබිමේ ස්ති‍්‍රය හා ගැටෙන්නේ ආක‍්‍රමණශීලී ව හෝ ඇතැම් විට පේ‍්‍රමාන්විත ව ඇය තම සන්තක කරගැනීමට දුබල වෑයම්හි නියැලෙන පුරුෂ ප‍්‍රාණීන්ය. එහෙත් පසුපස හඹා යන තරමේ වේගයෙන් ඔවුන් ඔවුන් කෙරෙන් දුරස් වන බව පැහැදිලිය. ඔබ මා නොවන කල මා ඔබ ද නොවන්නේ එහෙයිනි. වැල්ලේ හෙලේනා ¥විලි කාගෙන යන වාහනයෙන් එන බේබි මහත්තයා කෙරෙන් දකින ආකර්ෂණය ම ඇය සතු සියල්ල අහිමි කරවන තිව‍්‍ර ආරම්මණය බවට පත්වේ.

එතෙක් වැල්ලේ මාර කකුලක් වූ ඇන්ටයියා පවා පසුබස්වනසුලූ පෞර්ෂයක් ඔහු කෙරෙන් දකින ඈ එම ආස්වාදනීය හැගීම සිය මෑණියන්ට හෙළිකරන්නේ ”ඇන්ටයියගෙ කට විතරයි. වැඩ නෑ එයාට දෙයි බේබි මහත්තය” යනුවෙනි.

බේබි මහත්තයලා ඇන්ටයියලා දැවැන්ත මාළු තොග සමග වැල්ලේ වෙන්දේසිවල එකිනෙකාට අභියෝග කරගන්නා විට ඇය නොගැඹුරු මුහුදු දියට පිවිස අල්ලා ගන්නේ ඉතා කුඩා මසුන් අහිනකි. බේබි මහත්තයාගේ සෘජුව කතාකරන මානව හිතවාදී මිතුරාගේ වැටහීමට අනුව නම් ඈ බේබි මහත්තයාගේ ලස්සනටත්, බොරු පොරොන්දුවලටත් හොඳහැටි රැවටිලාය. ඕන කුජීතෙකට ලෑස්ති යැයි පවසන ඇන්ටාගේ බලාධිපත්‍යයට එරෙහි ව බේබි මහත්තයා ගෙනෙන අභියෝගය වඩා ප‍්‍රබල වුව ද ඒ නව පරපුරේ මැදිහත් වීම හද පත්ලෙන් නොනැඟෙන අව්‍යාජත්වයෙන් තොරය. බාහිර බලවේගයක කෘති‍්‍රම ආටෝපකාරී රංගනයක් බඳය. සිරිල් ද ඇන්ටයියා ද ප‍්‍රැන්සිස් ද මේ අලකලංචි මැද මරුමුවට පත් වන්නේ අනේ එ විපත සිදුවුණි කාගෙ දොසා යන්න සනාථ කරමින් නොව බේබි මහත්තයා ද ඔහුට වසඟ වූ හෙලන් ද ආභ්‍යන්තරික ව ඊට සම්බන්ධ බවට හෘද සාක්ෂ්‍යයේ කැළලි ඉතිරි කරමින්ය.

මේ සියල්ල පසුබිමේ වැල්ලෙන් සමුගෙන සිදාදියට ඒමට තීරණය කරන බේබි මහත්තයා ”එතකෙටෙ මම?”යැයි දෑස් දල්වා විමසන බඳින්ඩ වුණත් හොඳ කෙල්ලක වූ හෙලන්ගේ බස් හමුවේ සිටින්නේ නෑසූ කන්වය. එයින් යළිත් සනාථ වන්නේ අත්ත බර වැඩිවෙන තරමට කඩා වැටෙනවායි ඊර්ෂ්‍යාව මුසු ව වැල්ලේ ගැහැනුන් පැවසූ කෙණෙහෙලි වදන්මය. ”ඒකිව රවට්ටගෙන”යැයි පෙම් වියෝගයෙන් දැවෙමින් සිරිල් පැවසූ ශෝකාලිප්ත කනස්සල්ලමය.

මෙසේ විකාසනය වන සිනමාපටයේ සිතැඟිග විනිවිදිනසුලූ තියුණු සංගීත හා ගීත නාද රටාවන් ද, සමීප හා දුරස්ථ රූප දර්ශන ද, අපරිමිත සොබාදහමේ නොනවතින කි‍්‍රයාකාරීත්වය අඟවනසුලූ පසුබිම් දර්ශන ද පේ‍්‍රක්ෂක වින්දනය පරිසමාප්ත මට්ටමක් කරා ළ`ගා කරලයි. ජෝ අබේවික‍්‍රම ප‍්‍රමුඛ අන්‍යයන්ගේ රංගන ප‍්‍රතිභාව එකී වාතාවරණයේ මනුෂ්‍ය ප‍්‍රාණීන්ට නොනැසෙනසුලූ ජීවයක් ප‍්‍රදානය කරයි. දිනෙන් දින තාක්ෂණය හා න්‍යාය මෙන් ම ප‍්‍රායෝගික භාවිතය ද දියුණු වෙමින් චිත‍්‍රපටකරණය දියුණුවෙන් දියුණුවට පත් වුව ද බඹරු ඇවිත් යළි යළිත් නැරඹිය යුතු සුවිශේෂ සිනමාපටයක් බවට පත්වන්නේ මේ සියල්ල මත පදනම්වය. තව දුරටත් කියන්නේ නම් ධර්මසේන පතිරාජයන් අනායාසයෙන් හදවත පැරීමට දක්වන සමත්කම නිසාය.

-චින්තා පවිත‍්‍රානි.

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday304
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week538
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month5097
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169322

Follow us on Facebook

Online Users

We have 54 guests online