25
Jan

මගේ ප්‍රථම ප්‍රෙමය ස්වර්ණා ය

ලාංකේය  සිනමාවේ ස්වර්ණමය ස්වර්ණමය යුග වශයෙන් සැලකෙන 60-70 දශකවල ජනප්‍රිය  සිමා රැල්ලේ  පිනුම් ගැසු සිනමා තාරකා හැටියට පොදුජන ප්‍රෙක්ෂක  මනසේ කිරුළු පලන් රැජනන් වූයේ ජිවරානිලාය. සන්ධ්‍යා  කුමාරිලාය. මාලිනි ෆොන්සේකලාය. කලාත්මක සිනමාව තුළ පරමාදර්ශි ස්ත්‍රි ෆැ  න්ටසි  වූයේ පුන්‍යා හීන්දෙනිය -  ශ්‍රියානි අමරසේන -  අනුලා කරුණාතිලක  සහ ස්වනීතා වීරසිංහලාය. එම තාරකාවන්ට සිතින් පෙම් බඳිමින් එදා අපේ ප්‍රෙක්ෂකයෝ ඔවුන්ට පෙම් හසුන් ලියූහ. ඔවුන් ගිය ගිය තැන් පසු පස හඹා ගොස් සමරු පොත්වලට අත්සන් ඉල්ලා පොර කෑහ.

එහෙත් ඒ එකම තාරකාවනට වත් මගේ සසල කරන්නට නොහැකි වූයෙන් තාරකාවන්ට පෙම් බැඳිමේ ෆැන්ටසියෙන් මම මිදුනෙමි. එසේ පෙම් බඳිනවුන්ට සිනාසෙමින් සිටි මගේ සිත හදිසියේම  සසල කරන්නට හැකි වූයේ  එකමත් එක කාන්තිමත් දෙනෙතකටය. ඒ දෙනෙත හාපුරා කියා මා නෙත් ගැටුනේ 70 දශකය්දී ආනන්දයේ කොල්ලන් පිරිසක් ස්කූල් කට් කර තැනූ ‘නිම්වලල්ල‘ චිත්‍රපටයේ ප්‍රචාරක පටයකිනි.එකිනෙකට ක්ෂණිකව ඡේදනය වූ රූප පෙළක් මත පතිතවුණු අති සමීප රූප කීපයකිනි. කළු සුදු වර්ණයෙන්  යුතු ඒ අති සමීපරූප තුළ මතු වුණු කාන්තිමත් දෙනෙතින්  නික්මුණු කැල්ම නුහුරු නුපුරුදු විය. ‘නිම්වලල්ල‘ චිත්‍රපටය වහා නැරඹීමේ පෙළඹවීම කෙරුණේද ඒ දෙනෙතින් කෙරුණු ආරාධනාවෙනි.

මා සිත සසල කළ ඒ නෙත් කැල්ම සිහින් සිරුරකින්ද මස් ගොබ පිරුණු කම්මුල් සහිත පිරිපුන් මුහුණක් වෙනුවට සිහින් දිගටි මුහුණකින්ද ඝණ දෙතොලකින්ද යුතු යුවතියකගේය.ඇයගේ මුහුණේ හැඩතල ද සිහින් සිරුරද එදා පොදු ජන ප්‍රෙක්ෂකයාගේ සිත් වසඟ කළ ජීවරාණිලා ට සන්ධ්‍යා කුමාරිලා ට උරුම වූ දේහ ලක්ෂණවලට බෙහෙවින්ම වෙනස් විය. ඒ සම්මත තාරකා රූප 

විස්ථාපනය කළ දේහ විලාශය උරුම කරගත්  හීන්දෑරි කෙල්ල ස්වර්ණාය.

මා මුලින්ම පෙම් කළේ ඒ හීන්දෑරි කෙල්ලට ය.

ස්වර්ණා හාපුරා කියා සිනමාවට පිවිසියේ ‘සත්සමුදුර‘ තුළින් වුවද ඒ වන විට මා ‘සත්සමුදුර‘ නරඹා නොතිබුණේය. ස්වර්ණා ‘සත්සමුදුරෙන් ‘ද ‘හන්තානේ කතාවෙන්‘ද ‘තුංමං හන්දියෙන්‘ද ‘අහස් ගව්වෙන්‘ ද ‘මාතර ආච්චි‘ තුළින්ද මට මුණ ගැසෙන්නේ හැත්තෑව දශකයේ අග භාගයේදීය.

‘නිම්වලල්ලේ‘ මා සිත් සසල කළ ස්වර්ණාගේ දෙනෙතේ කැල්ම ‘සත් සමුදුර ‘තුළද ‘හන්තානේ කතාව‘ තුළද තුං‘මං හංදිය‘ තුළ ද ‘අහස් ගව්ව‘ තුළ ද එම චිත්‍රපටවල ආ සෙසු කාන්තා චරිතවල සියලු නෙත් පරයා කැපී පෙනුනේය.   එසේම ඇගේ දෙතොලේ විටෙක  ඇදුණු මන්දස්මිතයද -තවත් විටෙක නැඟුණු පුළුල් සිනහව ද ඇයටම උරුම වූ අපූරු කටහඩද  මාද  තාරකාවන්ට පෙම් බඳින්නන් අතරට නිරායාසයෙන්ම ඇද දමන්නට තරම් බලවත් විය. ඒ නිසාම මම ස්වර්ණා රගපෑ චිත්‍රපට එකක් නෑර දෙතුන් විටක්ම නැරඹුවා පමණක් නොව ඇයගේ ඡායාරූප  එකතු කරන්නට පවා පෙළඹුනෙමි.

ඇතැම් චරිත නිරූපණයකදී ස්වර්ණා කොක් හඩ ලා නඟන සිනහවක-  කතාබහක මතුවන හඩෙහි ගැඹුරක් පමණක් නොව අතිශය හැඟුම්බර ස්වරූපයක්ද මතුවෙයි. එකී හැඟුම්බර කටහඩ රූපණයේදී ප්‍රබල සාධකයක් ලෙස පළමුවරට යොදා ගන්නේ ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්‘ චිත්‍රපටයෙනි. එහිදී ස්වර්ණා කොක් හඩ ලා නඟන සිනහව චිත්‍රපටයේ ප්‍රබල අරුත් දනවන පරිදි රූපමය භාෂාව සමග මනා ලෙස යොදාගෙන ඇත.

60 – 70 දශක දෙක තුළ ස්වර්ණා රගපෑ චිත්‍රපට දෑතේ ඇඟිලි ගණන තරම් වූවකි. ඇගේ දෑසේ කැල්මද මුහුණේ  සහ සිරුරේ හැඩතල ද එදා ජනප්‍රිය සිනමාව අරක් ගත් තාරකා රූප වලින් වෙනස්ව හඳුනා ගන්නට  තියුණු දැක්මක් ජනප්‍රිය චිත්‍රපට නිපද වූ බයස්කෝප් අප්පුලාට නොතිබුණේය.  එසේම  එදා ජනප්‍රිය චිත්‍රපටවල මල් ගස් වටේ දුව පැන නැටූ තාරකාවන්ට පෙම් බැඳි ප්‍රේක්ෂකයන්ගේ ස්වප්න ලෝකවලට ස්වර්ණාගේ සුවිශේෂී රූපකාය නොවැදගත් විය. එබැවින් ඒ තාරකා මේඝය තුළ ස්වර්ණාට වෙළඳපොලක් නොතිබුණේය. ස්වර්ණා සිනමාවට විරාමයක් තබා විදේශගත වන්නේ ඒ නිසාය.

තෙවසරක පමණ කාලයක ලන්ඩනයේ  ලත් අත්දැකීම් සමග  ස්වර්ණා   80 දශකයේදී යළි කලඑළි බසින්නේ ඒ දශකයට සමගාමීව සකස්වුණු ස්ත්‍රී රූපය පිළිබද පුරුෂ ෆැන්ටසිය බටහිරකරණයට ලක්වූ අවස්ථාවකය.ඒ අනුව 80 දශකය තුළ ස්වර්ණාගේ මුහුණේ හැඩතල ද නව පාරිභෝගික වාදය තුළ උත්කර්ෂයට නැංවුණු බටහිර සළුපිළි ඔස්සේ වර්ණවත්වුණු ස්ත්‍රී ප්‍රතිරූපයකට උරුමකම් කීය. ඒ නිසා ස්වර්ණාගේ දේහ විලාශයට උරුම වෙළෙඳ පොලකට ලාංකේය සිනමාවේ දොරගුළු ද විවරව තිබුණේය.

‘හංසවිලක්‘ චිත්‍රපටය පුරා දකින්න ලැබෙන්නේ ස්වර්ණාගේ ඒ බටහිර දේහ විලාසිතාවන්ට අනුරූපව ඇය තුළින්ම මතුවූ ප්‍රබෝධමත් රංග විලාශයකි. ඇගේ ගමන් ලතාව ද දේහ චලනයන් ද 70 දශකයේ ‘සත්සමුදුරෙන්‘  ‘හන්තානේ කතාවෙන්‘ ‘තුංමං හංදියෙන්‘ ‘මාතර ආච්චි‘ චිත්‍රපටයෙන් ඔබ්බට යෑමකි. ඒ රංගනයත් සමග 80 දශකයේ ප්‍රෙක්ෂකයෝ ස්වර්ණාගේ රංගනයට පෙම් බඳින්නට වූහ. එ් සමගම 80 දශකයේ ‘අංජානා‘ ‘සමනල සිහින‘  ‘හොඳම වෙලාව‘ ‘කැලෑමල්‘ වැනි ජනප්‍රිය රැල්ලේ චිත්‍රපටවලටද ස්වර්ණාගේ රංගනයට ඉල්ලුමක් ඇති විය.

එසේ වුවද හ් ජනප්‍රිය රැල්ල තුළ ස්වර්ණා නමැති අසාමාන්‍ය රංගන ශිල්පිනියගේ රංග පෞර්ෂය එළියට ආවේ නැත. ස්වර්ණා තුළ දිගු කලක් සැඟව පැවැති ඒ කුසලතාව   වසන්ත ඔබේසේකර එළියට අදින්නේ  ඔහු විසින් අධ්‍යක්ෂණ කරනු ලැබු ‘දඩයම‘ චිත්‍රපටයේ රත්මලීගේ චරිතයෙනි

රත්මලී වූකලී ඒ වන විට තිස් වසරක් ඉක්මවා තිබු ලාංකේය සිනමාවේ ස්ත්‍රිය පිළිබඳව තිබු ආචිර්ණ කල්පිත මතවාදවලට පොල්ලෙන් ගැසූ අසාමාන්‍ය චරිතයකි. එතෙක් සිනමාවේ නිරූපිත වූ පුරුෂෝත්තම වාදය ඉදිරියේ  හඩා වැටුනු සුවච කීකරු උතුම් ස්ත්‍රි චරිත අභියොගයට ලක් කරමින් තමා ලිංගිකව සුරා කෑ පුරුෂයාට එරෙහිව සටන් වැද පුරුෂාධිපත්‍ය යේ තුච්ඡභාවයම ප්‍රකට කරමින් මිය ගිය චරිතයකි. එහිදි රත්මලීගේ ගිනිගත් හදවත තුළ නැඟුණු සෝ සුසුම්ද අනතුරුව ඒ සියල්ල යටපත් කරනිමින් තමා ලිංගිකව සුරා කෑ පුරුෂයාට එරෙහිව නැඟී සිටින්නට තරම් බලවත්වු පෞරුෂයද රත්මලි තුළින් එලියට දමන්නට හැකිවීම ස්වර්ණාගේ රංගන ජීවිතය මුළුමනින්ම වෙනස් මඟකට ඇද දැමීමක් විය.

අනතුරුව ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘සුද්දිලාගේ කතාවේ සුද්දි  ලෙසද ‘බවකර්ම‘ සහ ‘බවදුක‘තුළ ලෙසද සුමිත්‍රා පීරිස්ගේ සාගර ජලය චිත්‍රපටයේ හීන් කෙලී  ලෙසද ස්වර්ණා ප්‍රකට කළ අද්විතීය රංග ලීලාවන් එතෙක් ලාංකේය සිනමාව තුළ නොදැක්වුනු රංග ආශ්චර්යයන් විය.  එය ආශ්චර්යයක් වන්නේම එබඳු රංග ලීලාවන්ට ඒ වන විට අපේ සිනමාවේ  පැවැති රංගවේදයන් පුර්වාදර්ශ සපයා නොතිබුන බැවිනි.

80 දශකය වනවිට  ආර්ථිකවද දේශපාලනිකවද සිදුවු දැවැන්ත  වෙනස්කම් හමුවේ මෙරට සමාජ දේහය මුළුමනින්ම උඩුයටිකුරුවී  මිනිස් ජිවිත ජිවිත තුළද සමාජය තුළද එතෙක් පැවැති වටිනාකම් අභියෝගයට ලක්ව තිබිණ.එසේ අභියෝගයට ලක්වුනු වටිනාකම් දේශපාලනිකව තේරුම්ගත් නව සිනමාකරුවන් පිරිසක් අනුව දශකයේදි ලාංකේය සිනමාව ආක්‍රමණය කරන්නේ යථෝක්ත වටිනාකම්  දේශපාලනිකව වටහාගනිමිනි.

ප්‍රසන්න විතානගේ- අශෝක හඳගම- ඉනෝකා සත්‍යංගනී ආදී සිනමාකරුවන්ගේ සිනමා භාවිතාව සකස්වනුයේ  එකී  ගිලිහුනු සමාජ වටිනාකම් සහ වෙනස්වුනණු සමාජ වටිනාකම්   දේශපාලනික වටහාගැනිමේ ශක්‍යාව මතය. එබැවින් ඔවුන්ගේ සිනමා කෘතිවල මුණ ගැසෙන කාන්තා චරිත 60 70 දශකවල අපේ සිනමාව තුළ මුණ ගැසුණු කාන්තා චරිතවලට වඩා සංකීර්ණ විය.ඔවුන්ගේ සිතුම් පැතුම්ද චර්යාවන්ද කතා ලතාවන්ද   සංකීර්ණ විය.එබැවින් එකී චරිත සාකච්ඡවට ලක් කිරිම සඳහා ඔවුන් යොදා ගත් සිනමා රීතින් වෙනස් විය.මෙම රිතීන් අතීත සිනමාවේ සිනමා රීතින් සමග රංගනයෙහ් බැඳුනු සිනමා නළුවන්ට මෙන්ම නිළියන්ටද අභියෝගයක් විය. එකී අභියෝගයන් ජය ගන්නට සමත් නොවූයේ නම් නළුවකුට හෝ නිළියකට සිදුවන්නේ අතීත රංග ලීලාවන් සමග ඉතිහාසය තුළ අහෝසි වී යෑමකි.

ස්වර්ණා ඒ අභියෝගය සාර්ථක ලෙස ජයගත අකාරය ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘අනන්ත රාත්‍රිය‘ චිත්‍රපටයේ රංගනයෙන්ද අශොක හඳගමගේ ‘චන්ද කින්නරී‘ චිත්‍රපටයේ කාන්තා චරිතයෙන්ද මනාව  සනාථ කළාය. විශේෂයෙන්ම අශෝක හඳගමගේ ‘චන්ද කින්නරී‘ තුළ ස්වර්ණා ඉදිරිපත් කළ රංගනය එම චිත්‍රපටයේ එන අධි තාත්වික රීතිය හා බැඳුනු අභියෝගාත්මක රංගනයක් විය.  යථාර්තයත් මායාවත් අතර වන සිද්ධිදාමය ප්‍රතිනිර්මාණය කිරීම අසීරු රංග කාර්යයකි . ස්වර්ණා ඒ අසීරු කාර්යය ජයගත් අයුරු ‘චන්ද කින්නරී‘ චිත්‍රපටයේ  ස්වර්ණාගේ රංගනය සනාථ කරයි. එකී කාන්තා චරිතයේ අභ්‍යන්තර  සංකීර්ණතා සහ සංවේදනා ස්වරණා ඇගේ සතර අභිනයන් තුළින්ම එළියට ඇද දැම්මේ වෙනස්වන සමාජ වටිනාකම් සමග වෙනස්වුනු චරිතාභ්‍යන්තරයන් විනිවිද දැකිමේ සමාජ භාවිතාව තුළින් යයි මම විශ්වාස කරමි.

ස්වර්ණා ගේ දැසේ කැල්මෙන් සසලව ඇයට පෙම් බැදි තරුණයා ඉන්පසු ඇය හා බැඳෙන්නේ ඇගේ අද්විතිය රංග ලිලාවන් සමගය.

ස්වර්ණාගේ ඒ රංග ලීලාවන් මා විචාරාත්මකව අගය කළා මිස ඇය මගේ ප්‍රථම  සහ එකම නිළි ප්‍රෙමය බව කිසි දිනෙක නොකීවෙමි. නොලීවෙමි.   එහෙයින් මෙය කියවා ස්වර්ණා  කොක් හඩලා සිනාසෙන අයුරු මට මේ ලියන මොහොතේත් ඇසෙන්නා සේය.  

-Gunasiri silva           





 








Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday106
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1383
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6845
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966114

Follow us on Facebook

Online Users

We have 52 guests online