26
Jan

ප්‍රොමිතියස්ගේ ගින්දර

ගී‍්‍රසියේ ඇතන්ස්වාසීන් ප්‍රොමිතියස් දුටුවේ මිනිස් වර්ගයාගේ යහපත උදාකළ උත්තුංග අයකු ලෙසයි. මිනිසාගේ සකල කලාවන්ගේ, විද්‍යාවන්ගේ හා තාක්ෂණික ජයග‍්‍රහණයන්ගේ පියා විදිහටයි. සුප‍්‍රකට ගී‍්‍රක ට‍්‍රැජඩි නාට්‍යකරුවන් තිදෙනාගෙන් අයකු වූ ඊස්කිලස් prometheus bound  (කි‍්‍ර. පූ. 467 ‐ 457* යන නාට්‍යයට පාදක කරගත්තේ ඒ වන විටත් කතාන්දර ම`ගින් ජනයා අතර ව්‍යාප්ත ව තිබූ ප්‍රොමිතියස්ගේ චරිතයයි. ආරියවංශ රණවීර මේ නාට්‍යය ප්‍රොමිතියස් බන්ධනය නමින් සිංහලයට පරිවර්තනය කළා. නාට්‍යාරම්භයේ ප්‍රොමිතියස් පැමිණෙන්නේ බලය හා භීෂණය විසින් දෙපසින් අල්ලාගන්නා ලද අත් ඇතිවයි.

මිහිතලය කෙළවරේ හුදෙකලා වනගහන පෙදෙසක ගල්පර්වතයක් මුදුනේ දම්වැලින් බැඳ දැමෙනවා. එහෙත් මේ කැරලිකරුවාගේ අදීනතාව සුන්කිරීමට දඩුවම නියම කළ සියුස් දෙවියන්ට හැකිවුණේ නෑ. මේ නිසා දඩුවම තව තවත් තර කෙරුණා. ගල් පර්වතය මුහුද පත්ලට ගිල්වා දැමුණා. එපමණක් නොවෙයි. ප්‍රොමිතියස්ගේ අක්මාව අනුභව කරන්න ගිජුලිහිණියෙකුද පැමිනුණා. මෙතරම් කුරිරු දඩුවමක් විදින්නට ප්‍රොමිතියස් කළ වරද කුමක්දැයි දැනගැනීම වැදගත්. ඔහු කළේ මිනිස් ශිෂ්ටාචාරයේ අනාගත ගමන වේගවත් කරවනසුලූ පරිත්‍යාගයක්. ගී‍්‍රක කතාවන්ට අනුව ගින්දර පැවතියේ දෙවියන් සතුවයි. ප්‍රොමිතියස් දෙව්ලොවින් සඟවා ගෙනවුත් මිනිස් වර්ගයාට ගින්දර පිරිනැමුවා. ප‍්‍රකෘතියේ සිට සංස්කෘතික දක්වා ගමන් කිරීමට මූලික වශයෙන් මිනිසා සතුව තිබූ ප‍්‍රබලම මාධ්‍යය ලෙස ගින්දර ඉවහල් වුණා. අඳුරින් මිදී ශාස්ත‍්‍රය, විද්‍යාව, කලාව, ප‍්‍රවාහනය හා සෞඛ්‍යය ආදි සියල්ල කරා යාමට එයින් හැකියාව ලැබුණා.

”එක වදනකින් මම කියමි හකුළා මේ සියලූ දේ
මිනිසා දත් සකල විද්‍යා ශාස්ත‍්‍රයන්
ප්‍රොමිතියස් උනට කළ තිළිණයි... ”

යනුවෙන් ඒ ගැන සඳහන් වෙනවා. සාමාන්‍යයෙන් ගී‍්‍රක ට‍්‍රැජඩි නාට්‍යයක දකින්නට ලැබෙන්නේ නොසැලී ඛේදයට මුහුණ දෙමින් තම දිවිය අඳුරු අගාධයක් වෙත මෙහෙයවා ගන්නා උසස් ගතිස්වභාව සහිත චරිතයක්. ඇරිස්ටෝටල් poetics කාව්‍ය ශාස්ත‍්‍රය කෘතියෙහි ද එය අවධාරණය කර තිබෙනවා. උසස් ගති ස්වභාව සහිත ප්‍රොමිතියස් වැනි වීර චරිතයක් සියුස් දෙවියන්ගේ ආධිපත්‍යය හමුවේ අසාධාරණ ලෙස වදහිංසාවන්ට භාජන වීම පේ‍්‍රක්ෂක සිත්හි ප‍්‍රබල කම්පනයක් ජනිත කරවන කි‍්‍රයා සන්තතියක්. ඔහු පමණක්ම නොවේ. සියුස් දෙවියන්ගේ අනුරාගික ආරම්මණයන්ට ගොදුරු වූ අයෝ නම්වූ රූමත් කත ද සියුස්ගේ බිරිඳගේ දරුණු පීඩනවලට ලක්වෙන අයුරු නාට්‍යයෙන් කියවෙනවා. මෙසේ ඒකාධිපති බලාධිපත්‍යයක් පිහිටුවා ගන්නා පාලන තන්ත‍්‍රය බලය හා භීෂණය උපකාරී කර ගනිමින් ගෙනයන ජුගුප්සාජනක රංගනයත්, ඒ වෙත ගැතිකම් කරන්න්ගේ දීන ස්වභාවයත් මනාව පැහැදිලියි. නාට්‍යයේ ගායන වෘන්දය පවා ප්‍රොමිතියස්ගේ ප‍්‍රගතිශීලී මැදිහත් වීමත්, අදීන පෞරුෂයත්, කුරිරු තාඩනපීඩනයන්හි වි`දවීමත් දැක කඳුළු සලනවා. මේ වනාහි කි‍්‍ර. පූ. අවධියේ පටන් නූතනය දක්වා විකාසනය වූ විප්ලවීය කැරලිකරුවන්ගේ සදාතනික ශෝකාලාපය විදහා දක්වන්නක් ලෙස හ`දුනාගත හැකියි.

”දණ ගාපල්ලා බිම දිගා වෙයල්ලා මහ උන් ඉදිරියේ
මට නොහැක ඒ නිවට දේ කරන්නට
ඔහුට ලැබී ඇති කෙටි කාලය ඇතුළත
සියුස් දෙවි රජ කළාවේ සිය හිතුමතේ
එය නොපවතිනු ඇත වැඩිකල්
ආ..... මේ බලන්න
මෙන්න එනවා ඔහුගේ බත් බැලයා”

ප්‍රොමිතියස් ජීවිතය අවදානමේ පවත්නා බව දැන දැනත් අදීනව කටයුතු කරනවා. වීරත්වය කුළුගන්වනසුලූ අභීත වදන් පවසනවා. මෙහි බත්බැලයා ලෙස හඳුන්වන හර්මිස්ගේ නිවටකම සමඟ තමන්ගේ ඛේදය හුවමාරු කරගැනීමට සිතීම පවා ඔහුට අපුලක්. චරිතයන්ගේ කි‍්‍රයා අනුකරණයන් කෙරෙන් පැනනඟින ඝට්ටනයකට වඩා මෙම නාට්‍යය මුළුල්ලේ ම දිවෙන්නේ දෙබස් හා සංවාද කෙරෙන් කුළුගැන්වෙන ප‍්‍රබල ගැටුමක්. ආරම්භයේ දී ම ප්‍රොමිතියත් යදමින් බැඳ දැමෙන හෙයින් ඔහුට සිරුරේ සවියෙන් ගැටුමකට එළඹීමට ඇති අවකාශය අහිමි කර තිබෙනවා. එහෙත් ඔහුගේ මුවට නැංවෙන වදන් බැඳ දමා ඇති සිරුර තුළ ගැබ්ව පවත්නා සියලූ ආවේගයන් මුදාහරිනසුලූයි. මේ හේතුවෙන් ගතින් සටන් වැදෙන්නකුට වඩා ප‍්‍රබල වීරත්වයක් ඔහු වෙතට ආරෝපණය කෙරෙනවා. මේ වනාහි යදමින් බැ`දිලය නොහැකි විප්ලවීය චින්තාවන් වන බවත් ඒවා අඩුවැඩි වශයෙන් තම හෘද සන්තානයෙහිද නිධන්ගතව පවත්නා බවත් පේ‍්‍රක්ෂකයාට නිරායාසයෙන් ඒත්තු ගැන්වෙනවා. ආංගික අභිනය අවම වශයෙන් භාවිතයට ගන්නා අතරෙහි වාචික අභිනය ප‍්‍රබල ලෙස ඉස්මතුව තියුණු කම්පනයක් ජනිත කරන අයුරු හඳුනාගන්න පු`ඵවන්. නාට්‍යය අවසාන වන්නේ ඛේදය උච්චතම අවස්ථාවට සමීප වෙමින්. ප්‍රොමිතියස්ගේ විනාශය ළඟා කරමින්. එහෙත් ඔහු මඳක්වත් සැලෙන්නේ නැහැ. තම අධිෂ්ඨානය, වීරත්වය ඔහු තුළ නොසිඳී පවතිනවා. ගී‍්‍රක ට‍්‍රැජඩි නාට්‍යවල හමුවන වීර චරිත නිරන්තරයෙන් සිත් බැඳ ගන්නේ නොසිඳෙන වීරත්වය හේතුවෙන්. ජීවිතය අහිමි වුණත් ප‍්‍රතිපත්තිවල පිහිටා සිටීමෙන්. සුපුෂ්පිත දිවිපෙවෙතකට රැහැණිව පවතින සියලූ බලවේග සමඟ නියැලෙන අනවරත ගැටුම නිමා නොකිරීම හේතුවෙන්. නියතවම ඔවුන් පරාජයට පත්වෙනවා. ජීවිතය පවා අහිමි කරගන්නවා. එහෙත් ඒ ජයග‍්‍රාහකයකුගේ අභිමානයත් සමඟයි. සදාතනික ව මිනිස් ජීවිතවල ගැබ්ව පවත්නා ඛේදනීය මුහුණුවර ප්‍රොමිතියස් බන්ධනය නාට්‍යයෙන් ද හ`දුනාගත හැකියි. බලය හා භීෂණය එදා මෙන් ම අදත් යදමින් වීරයන් සිරගත කරනවා. විප්ලවීය සිතුවිලි මර්දනය කරනවා. නිවට නොවන බොහෝ දෙනකුට ප්‍රොමිතියස්ගේ ඉරණම අත්වුණත් පුදුම වෙන්න හේතුවක් නැහැ.

-චින්තා පවිත‍්‍රානි

Share

Ginnen Upan Seethala

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday185
mod_vvisit_counterYesterday234
mod_vvisit_counterThis week419
mod_vvisit_counterLast week1623
mod_vvisit_counterThis month4978
mod_vvisit_counterLast month9190
mod_vvisit_counterAll days2169203

Follow us on Facebook

Online Users

We have 64 guests online