28
Feb

'සින්ඩ්‍රෙල්ලා' වියුක්ත අවකාශයක වියුක්ත චිත්‍රපටියක්.


(ප්‍රවීණ සිනමාවේදිනී ඉනෝකා සත්‍යංගනී කීර්තිනන්ද නිෂ්පාදනය කොට අධ්‍යක්ෂණය කළ ‘සින්ඩ්‍රෙල්ලා‘ චිත්‍රපටය මෙ දිනවල ඩයලොග් සැටලයිට් රූපවාහිනියේ 7th sircuite (චැනල  අංක 20) තිරගත වෙයි. මේ විමර්ශනය ඒ නිමිත්තෙනි)

සිනමාවේ කෝණයෙන් පසුගිය රාජපක්ෂ රේජීමයේ දේශපාලන අවධිය නරඹන විට සලකුණුකල හැක්කේ ආන්තිකකරණයක් පමණි. එක අතකින් ජැක්සන්ගේ 'අබා'(2008) චිත්‍රපටියෙන් ඇරඹි රජකතා රැල්ලක් වූ අතර අනෙක් පසින් මායිම් ගම්මාන ආශ්‍රිත හෝ අඩු වැඩි වශයෙන් ජාතික ගැටලුවේ අන්කොන් රැගත් සම්භාව්‍ය සිනමාවක් දක්නට ලැබිණ. රාජපක්ෂලා දේශපාලනයේ මෙන්ම සිනමාවේද අතරමැද නැති කළේය. එසැනින් ලංකාවේ සිනමා විචාරයද දෙපලු විය. සිනමාවට සෘජු සම්බන්ධයක් නැති ජාතිවාදීන් පිරිසක් දේශප්‍රේමී නොහොත් දෘෂ්ටාන්ත ( allegorical) සිනමාවට කත ඇදීය. තවත් අපි වගේ පිරිසක් එහි දෘෂ්ටිවාදයට එරෙහිව විශ්ලේෂණ ව්‍යාපෘතියක නිරත විය.

රාජපක්ෂ යුගයේ නිමාවත් සමග තෙමාමය වශයෙන් සිනම්වේ ඊනියා නිදහස් වීමක් නිරීක්ෂණය කරන්න පුළුවන්. ( සැ.යු: මේ ඇතැම් චිත්‍රපටි රාජපක්ෂ යුගයේ නිමවොඕ ඒවාය). 'සිනහව අතරින්', 'ප්‍රවේගය', 'ඇඩ්රස් නෑ' , ' හෝ ගාන පොකුණ', 'බොරදිය පොකුණ', 'ඇගේ ඇස අග' සිට 'මොටර්බිසිකල්' දක්වා ලැයිස්තුවක් 2016 වසර අගදී අපට ලැයිස්තුගත කල හැකිවී ඇත. චිත්‍රපටි තේමා විසිරීමත් සමග චිත්‍රපටි විචාරයේ සීමාකම් සලකුණු වීම නොවැලක්විය හැකිය. ඉනෝකා සත්‍යාන්ගනීගේ 'සින්ඩ්රෙල්ලා'(2015) චිත්‍රපටිය සෞන්දර්ය ඌනිත සිනමා විචාරයෙන් නොසලකා හැරීමකට ලක්වූ කෘතියකි. බැලූ බැල්මට සරල ආදර කතාවක් වූවද මෙම චිත්‍රපටිය අධ්‍යතන ලංකාවේ සමාජ පරිවර්තන ගැනත් සිනමාවේ පරිවර්තන ගැනත් ඉඟි සහිත චිත්‍රපටියකි.

'සමාජය' දෙස සංචාරක දැක්මක්?  

ජනප්‍රිය සිනමා ලේබල්කරණය වූ සම්භාව්‍ය/පීචන් සහසම්බන්ධයෙන් මිදී අපි සඥ්ඥා පද්ධතියක් ලෙස 'සින්ඩ්රෙල්ලා' සිනමා වියමනට ඇතුළු වෙමු. මෙම චිත්‍රපටිය පෙර කී දශකයකට අධික සංස්කෘතික දේශපාලන සන්ධර්භයේ තබා විමසන විට සලකුණු කල හැකි තීරණාත්මක දෘෂ්ටිවාදී අඩංගුව කුමක්ද? එම යුගයේ ප්‍රධාන ධාරාවේ චිත්‍රපටි තුල දකින්නට තිබූ ප්‍රධානම ලක්ෂණයක් වූයේ අවම වශයෙන් හමුදාව හෝ පන්සලක් හෝ හාමුදුරු නමක් කොහෙන් හෝ චිත්‍රපටිය තුලට පැමිණීමයි. මිනිස් නිදහස පිලිබඳ අදහස කළා කෘතියකින් ප්‍රතිනිර්මාණය අප හිතන තරම් පහසුද ? නිශ්චිත යුගයක සිනමා කෘති එක පොකුරට ගෙන නරබන ඕනෑම අයෙකුට මෙකී තත්ත්වය ලොව ඕනෑම තැනකින් නිරීක්ෂණය කල හැක. එසේම පෙරකී යුගයේ උත්කර්ෂිත වස්තු වූයේ හමුදාව හා ආගමික සංස්ථාවයි. මේ සමග අරගල කිරීම යනු හුදු සම්භාව්‍යවාදය පිලිබඳ ගැටළුවක් නොව, දෘෂ්ටිවාදී අරගලයකි. 2006 වසරේ සිට 2015 දක්වාම චිත්‍රපටි ලැයිස්තු ගෙන බැලුවොත් ඔබට ලංකාව තුල මෙකි දෘෂ්ටිවාදයේ විකාශනය මැනවින් නිරිඑඑක්ශංඅය කල හැක. එය ඉතා අහිංසක ලෙස සැලකෙන වියුක්ත කතා ඔඋවත් තුල සිට සෘජු ප්‍රචාරක වැදී ව්‍යාපෘති දක්වා දිගු ලැයිස්තුවකි. 

'සින්ඩ්රෙල්ලා' චිත්‍රපටිය පිලිබඳ මගේ පළමු නිරීක්ෂණය වන්නෙම එම යුගයේම බිහි වුවද මේ කිසිදු දෘෂ්ටිවාදී උත්කර්ෂිත වස්තුවක් ඒ තුල නොවීමයි. ඉතා පුදුම සහගත ලෙස මෙම චිත්‍රපටියේ චරිත මේ කිසිදු ව්‍යුහයකට දැමිය නොහැක. ඔවුන්ට මෙකී අවකාශ සමග ඇත්තේ නිෂ්ක්‍රීය පරතරයකි. ලාංකික ජනප්‍රිය සිනමාවේ වුවද ජාතිකවාදී අංගෝපාංග අඩංගු වෙමින් පැමිණි යුගයක් ඛණ්ඩනය කල චිත්‍රපටියක් ලෙස 'සින්ඩ්රෙල්ලා' සැලකිය හැකි බව මගේ කියවීමයි. ඒ කොහොමද? එක අතකින් චිත්‍රපටියේ රාමුගත වන මධ්‍යමපාන්තික අවකාශයම යනු ලංකාවේ මූලික ප්‍රතිවිරෝධතා වලින් විනිර්මුක්ත අවකාශයක් සොයමින් සිටින සමාජ පන්තියකි. ඒ අර්ථයෙන් ඉහත මතුකළ දේශපාලන යුගයට 'සින්ඩ්රෙල්ලා' අත්කරදෙන්නේ සංක්‍රාන්තියකි. තවදුරටත් ජාතිකත්වය අදාළ නොවන, ආගම අදාළ නොවන සමාජ කොටසක්ද බිහිවී ඇතිබව 'සින්ඩ්රෙල්ලා' අපිට ඉඟි කරයි. චිත්‍රපටියේ ඇතැම් දර්ශනවල පන්සලක්, හිගන්නෙක් පැවතියද ඒවා හා කතා නායක යුවලට ඇත්තේ පරතරයකි. ඔවුන්ගේ ජීවිත හා ඒවායේ සම්මිශ්‍රණයක් කිසිවිටෙකත් නොගැටේ. ඔවුන් පන්සල් ගියද වදින්නේ නැත. ධාර්මික කතාද නැත. සංචාරක පාරිභෝගිකයන් මෙන් ඔවුන්ද බුදු පිළිමයක් අතට ගෙන එහි කැටයම් විමසන්නේ ආගන්තුක පවැත්මකිනි. සද්භාවත්මක ආත්මයක් ලෙස මේ අය පාර-ජාතිකය (trans-national). ඔවුන්ගේ පැවැත්මම වෙළඳ පොලය. චිත්‍රපටිය විසින් එහි යුවල වන ඉසංකා හා චන්දුලව පූර්ණ විකසිත ධනවාදී වෙළඳපොල සංස්කෘතියකට මුදා හැර ඇත. ඒ තුල අවම වශයෙන් පූර්ව ධනේශ්වර හෝ අවවර්ධිත ශේෂයන් නැත. ඉනෝකාගේ චිත්‍රපටිය මේ අර්ථයෙන් ධනේශ්වර නග්න දෘෂ්ටිවාදී ෆැන්ටසියකි. එය තත්කාලීන සමාජයක හමුවිය හැකි පසමිතුරුතා (antagonism) මකා දමා කල්පිත විකසිත ධනේශ්වර සමාජයකට නරබන්නියව තල්ලුකොට ඇත. 

සමකාලීන ලාංකික මධ්‍යම පාන්තික පරාරෝපණයන් චිත්‍රපටිය පුරාවට අපිට මේ යුවල හරහා හමුවේ. චිත්‍රපටිය අපිට ඔවුන්ගේ කුටුම්භ මුල් ඉදිරිපත් නොකරයි. ඔවුන් ඉතිහාසයක් නැති මිනිසුන්ය. යුවල්ගේම පවුල් පසුබිම් ගැන ඉඟියක්වත් මෙහි නැත. අප දන්නා දෙයනම් පන්ති මූල මැකිය හැකි තරමේ වේෂනිරූපන ශක්‍යතාවක් සංස්කෘතික වෙළඳපොළට ධනේශ්වරය විසින් අත්පත්කරදී හමාරය. ඉසංකා කොළඹ හතේ ද නැතිනම් වන්නි හාරිස්පත්තුවේද විය හැක. චිත්‍රපටිය ඒ පිලිබඳ නිහඬය. අගේ දෙමව්පියන් රට බවක් ඇය කියයි. අමතුමක්ද එයි. චන්දුලද මිතුරන් සමග යාවත්කාලීන වූ ඊනියා දියුණු සංස්කෘතික ජීවිතයක් ගෙවනා බවක් පෙනේ. නමුත් මොවුන් සියල්ලන් නරබන්නියට ඕපපාතිකය. පැරණි කලාත්මක අර්ථයෙන් මේ අයගේ සමාජ ජීවිත වල මුල් අප ඉල්ලා පලක් නැත. තත්‍යසම සමාජ ජාල තුල හෝ අවම වශයෙන් ඊනියා වාස්තවික ලෝකයේ හෝ එවන් මූලයන් අපිට තවදුරටත් සොයා නිම කල නොහැක. සමාජයම සමපෙක්ෂිත 'සිමුයුලේකරණය' වී හමාරය. අපගේ දෛනික ජීවිතයේ හමුවන මිනිසුන් අපිට තවදුරටත් පහසුවෙන් පන්තිගත කල නොහැක. එවැන්නක් චිත්‍රපටියෙන් ලබා දීම වෙනුවට චිත්‍රපටියද දෛනික ආඛ්‍යානයට ආසන්න වී ඇත. අපගේ සංජානනයේ බෙලහීනතාව චිත්‍රපටිය සමතික්‍රමණය කරන්නේ නැත. මිනිසකුගේ සංක්‍රාන්ති පන්ති රූපාන්තරණය සමකාලීන ප්‍රේක්ශාවේ අනිවාර්යක් බව 'සින්ඩ්රෙල්ලාතහවුරු කරයි. මෙම චිත්‍රපටියේ ෆැන්ටස්මටික නියෝජනය හමුවන්නේද මෙම තලයේමය. 'සින්ඩ්රෙල්ලාසමාජ සතයක් වෙනුවෙන් ෆැන්ටසි තිරය ඉරා සමාජ සතයක් පසක් නොකරයි. චිත්‍රපටිය ඥානවිභාගාත්මක මානයෙන් මිදී 'තත්ත්වයක්' බවට පත්වෙයි. එය පෙරද කී පරිදි ඔබ දෛනික ජීවිතයේ මූණ දෙන නිෂ්ක්‍රීය, ඕලාරික තර්කනයට ආසන්න වේ. සමාජයේ අපි මූනදීමට අකමැති අපුල, එනම්.....දරිද්‍රතාව, හිංසනය, අරගල, ආර්ථික බින්දවටීම් ලොප් කර කොතෙකුත් ගැටළු තිරයෙන් පිටමන් කර ඇත. ජිජෙක් බ්‍රසීලයේ සාඕලෝ පාඕ නගර ගැන මතක් කරමින් පවසන්නේ එහි මධ්‍යම පාන්තිකයින් හෙලිකොප්ටර මගින් වීදියේ පන්ති ප්‍රතිවිරෝධය මගහරින නව ක්‍රමයක් සොයාගෙන ඇති බවයි. එම නගරය අහස අනාගත වාදී නගරයක් වැනි බවයි. උස තාප්ප ගොඩනගාගෙන. ලෝකෙම පරිසරය විනාශ උනත් තමන්ගේ ගෙවත්ත වගා කරගෙන ඉන්න මධ්‍යමපාන්තිකයින් අධිසුකෝපභෝගී රථ තුලට ලෝකයම මිලදීගනිමින් මගහරින්නේ කුමක්ද? බාහිර සමාජ ප්‍රතිවිරූධය කටුවක් තුලට යමින් මගහරින උදවියගේ කතාවක් ලෙස අපිට 'සින්ඩ්රෙල්ලා' කියවීම තීරණාත්මකය.

දශක තුනක් පමණ තිස්සේ ගුවන් සේවා ආර්ථිකය බිඳවැටුණු තත්වයක ගුවන් ගමන් මිල පහත බස ලංකාවේද මධ්‍යම පාන්තික කිරිල්ලියන් එම අවකාශය තුල සරන්නට පටන් ගෙන ඇත. ඉසංකා වැනි ඕපපාතික හමුවක් ඕනෑම පිරිමියෙකුට අද දවසේ සුලබ අහම්බයකි. ඇය සියලු බැමි වලින් නිදහස් වැනිය. ඇමතුමකට සීමා වන පවුල් ආරක්ෂාවක සිටිනා ඉසංකා මෙන්ම චන්දුලද යනු නව සමාජ සම්බන්න්ධතා වල මූලික ආකෘතියකි. උදාහරනයකට හැත්තෑව දශකයේ 'තුෂාරා' හි මිතුරා වූ ජෝ අබේවික්‍රමගේ චරිතය වැනි මිතුරන් 'සින්ඩ්රෙල්ලා'හි නැත. ඔවුන් කිසිවිටෙකත් පෙම්යුවලව වගකීමකින් නොසලකයි. එක අන්තයක ළදරුවෙකු වැනි ඉසංකා සිටී. අනෙක් පස සියල්ල සැහැල්ලු විහිලු වූ මිතුරන්ය. කිසිදු නූතන පසුබිමකින් 'අර්ථයක්' කරා මොවුන් නොපැමිණේ. චිත්‍රපටියම ජයග්‍රහණයක් හෝ අර්බුදයක් දරා නොසිටී. එකම අර්බුධය හමු වන්නේ මුහුදු වෙරළේ ය ප්‍රෙහෙලිකාවක් බඳු අගේ ජීවිතය දිගහරින්නට පටන් ගත තැනය. එතුවක් සාම්ප්‍රදායික තිරරචනා භාවිතයෙන් අර්බුදයක් නොවූ කතා වස්තුවකට අර්බුදයක් හමුවන විටම චිත්‍රපටිය ඉවරවේ. සමකාලීන මිනිස් යතාර්තයම යනු 'සින්ඩ්රෙල්ලා' චිත්‍රපටිය සේම කාන්සාවකි (anxiety). කුමක් හෝ වියයුතු තනදීද හමුවන්නේ හිස්කමකි. නූතන ජීවිතයකදී මෙම හිස්කම වසාගැනීමට කරනා අරගලයක 'ජීවිතය' අපට පශ්චාත් නූතන සමාජයකදී හමු නොවේ. ඒ වෙනුවට එය පුපුරා නොයන සදාතනික නිෂ්ක්රීයත්වයක් අත්පත්කර ගනී.    

නිරවකාශ හා සිනමාව

    'සින්ඩ්රෙල්ලා' චිත්‍රපටියේ කුතුහලය දනවන මානය වන්නේ සමස්ත කතාන්දරය ස්ථානගත කර ඇති සමාජ අවකාශයයි. මුළු චිත්‍රපටියම පාහේ ගලා යන්නේ මධ්‍යම පාන්තික හෝටලයකය. මෙය මෙම චරිත ජීවත්වන දෘෂ්ටිවාදී අවකාශයට සමාන්තරව කියවිය හැක්කකි. බාවාකරණයට ලක්වූ මෙම චිත්‍රපටියේ එන අර්ධ නිවර්තනීය හෝටල් අවකාශය අපට ඉඟි කරන්නේ කුමක්ද? ආකිටෙක්චර් දර්ශනයට අනුව නම් එය අස්තානයකි (non place). නැතහොත් නිරවකාශයකි. තවත් විධිමත්ව කියතොත් වියුක්ත අවකාශයකි (abstract space).

වියුක්ත අවකාශයක් යනු කුමක්ද ? නූතන අර්ථයෙන් එය මිනිසුන්ගේ අත්‍යන්ත ප්‍රතිවිරෝධතා වලින් ගහන, අව්‍යාජ පැවැත්මක් සහිත ජීවන අවකාශයී (living space). ලෆාන් නම් ආකිටෙක්චර් චින්තකයාට අනුව හෝටල්, ශාලා, වෙළඳ සල් ආදී පොදු අවකාශ යනු අස්තාන නොහොත් වියුක්ත අවකාශය. ඒවා තුලට ඇතුළු වන්නා පොලාපැනීමකට ලක්වේ. එනම් ආත්මයක් ලෙස තමා නොවන තමාට වඩා වැඩි යමක් නොහොත් අතිරික්තයක් ආත්මය අත්වීදී. එමෙන්ම මෙම වියුක්ත අවකාශය තුල විරුද්ධාභාශිව අව්‍යාජ ප්‍රතිවිරෝධතා බහිශ්කරණය කොට පරිකල්පනීය පුද්ගලීකරණයකට නතුවේ. ඒවා නමින් පොදු අවකාශ වූවද මනොලින්ගිකව පරිකල්පනීය පැවැත්මකි. හැටේ දශකය පුරාවට සිනමාවේ මෙවන් අවකාශ දක්නට ලැබිණ. හිච්කොක්, ගොඩා, ට්‍රූෆෝ වැනි සිනමා කරුවන්ගේ කෘති තුල මෙවන් අවකාශ සහිත කතා කොතෙකුත් දැකගත හැක. ඉනොකාද තම චිත්‍රපටිය ලංකාවේ සමපෙක්ෂී යුගයේදී එම අවකාශයකට කැන්දා ඇත. මාක් ඒග් (Mark Euge) නම් චින්තකයා දක්වන පරිදි චිත්‍රපටියක අවකාශ විසින් චරිතයක් නොහොත් පැවැත්මක් ඉදිරිපත් කරයි. එය අන්තර් විසම්බන්ධිත අවකාශයකි. හැත්තෑව දශකයේ  'තුෂාරා' චිත්‍රපටියේ මනුෂ්‍ය අන්තර් සම්බන්ධතා අවකාශ විසිරී පවතින විට 'සින්ඩ්රෙල්ලා'හි පරිභෝජන අවකාශයක් ලෙස හෝටලයකට සීමා වී ඇත. ඒ අනුව පසුබිමේ සමාජ තත්ත්ව හා පෙරබිමේ  ආදර කතා පවත්වා ගන්නා නූතන සිනමා ආඛ්‍යානය 'සින්ඩ්රෙල්ලා' තුලදී බිඳ දමා ඇත. සමජාතීය (homogeneous) අවකාශයක් ලෙස හෝටලය අපගේ ජීවිතයාම ගලා යන අවකාශය වී සෙසු ජීවන අවකාශ වූ නිවාස, පන්සල, රැකියාව ආදිය ද චිත්‍රපටියෙන් බහිශ්කරණය වී ඇත.

චිත්‍රපටි කරන්නේ අයෙක් දැනුවත්වද නද යන්න දේශපාලන විචාර කලාවට අදාළ මාතෘකාවක් නොවේ. එය සෞන්දර්ය න්‍යායේ ඥානවිභාගය විමසීමයි. ඊනියා දැනුවත් සම්භාව්‍ය සිනමාවට ප්‍රථම අප ජීවත්වන සමකාලීන ජීවන තර්කනය නව මද මාවතේ සිනමාවකින් විවර කර ඇත. 'සින්ඩ්රෙල්ලා'හි ආදරය ප්‍රකාශ වන්නේ රතුපස්වල හරිත කාන්තාරයක මිස ජනප්‍රිය සිනමාවේ උත්කර්ෂිත මල් යායක නොවේ. සමකාලීන ආදරය එක අතකින් යථ (Real) තුල මේ චිත්‍රපටියෙන් ස්ථානගත කර ඇත. අකිටෙක්චර් න්‍යායාචාර්ය ලෆාන්ගේ භාෂාවෙන් කියන්නේ නම් පරම අවකාශය (absolute space) තුලට ආදරය තල්ලු වී එය 'විය නොහැක්කක්' වී ඇත. රාජපක්ෂ යුගය අහවර වීමත් සමග චිත්‍රපටි කියවීමේ නව එළඹුමක් අප හමුවේ විවෘතව ඇත.  

බූපති නලින් වික්‍රමගේ

Share

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday209
mod_vvisit_counterYesterday421
mod_vvisit_counterThis week1587
mod_vvisit_counterLast week3643
mod_vvisit_counterThis month15570
mod_vvisit_counterLast month22523
mod_vvisit_counterAll days1954567

Follow us on Facebook

Online Users

We have 74 guests online