01
May

කෑම්ප්එක වත්ත නවකතාව පිළිබඳ විමසීමක්

සාහිත්‍ය හා සමාජය අතර ඇත්තේ ප‍්‍රබල සම්බන්ධයකි. සාහිත්‍ය කෘති නිර්මාණය කිරීමට වස්තු විෂය සපයනු ලබන්නේ සමාජයයි. නිර්මාණයන්ට පාදකවන සමාජ පරිස්ථිතිය පිළිබඳ අවබෝධය සාර්ථක රසවින්දනයකට උපකාරී වේ. සමාජීය සාහිත්‍ය අධ්‍යයනය, සමාජ විද්‍යාත්මක විචාර න්‍යාය වැනි සංකල්ප ලොව පුරා ව්‍යාප්ත වන්නට වූයේ ද මේ නිසාවෙනි. කුමන හෝ කාලවකවානුවක සමාජ, දේශපාලන, සංස්කෘතික, ආර්ථික සාධක පාදක කොටගෙන නිර්මාණ බිහිවිය හැකිය. බුද්ධිමත් සහෘදයා එම සමාජ, දේශපාලන, ආර්ථික සාධක ඇති යුගය සොයා යයි. අපට නුහුරු නුපුරුදු අද්දැකීම් ග‍්‍රහණය ගත හැකි වනුයේ එවිටය.

සමාජය යනු පෘථුල විෂය ක්‍ෂේත‍්‍රයකි. සාහිත්‍ය කෘතියකට පාදක වන්නේ කිසියම් සමාජ පද්ධතියක අංශුමාත‍්‍රයක් විය හැකිය. සමස්ත සමාජය කැඩපතක් සේ නිරූපණය කිරීමක් සාහිත්‍යය කෘතියකින් අපේක්‍ෂා නොකළ යුතුය. ඊට හේතුව වන්නේ සාහිත්‍යය යනු අපූර්ව වස්තු නිර්මාණය කිරීමට ගන්නා උත්සහයක් නිසාවෙනි. සමාජීය තොරතුරු පවත්නා ආකාරයෙන් ම සඳහන් කිරීම වාර්තාකරුවන්ගේ කාර්යයකි. නිර්මාණකරුවෝ වනාහි වාර්තාකරුවෝ නොවන්නෝ ය.

2016 දී ප‍්‍රකාශයට පත් වූ ගුණසිරි සිල්වාගේ සිව්වන නවකතාව වන ‘කෑම්එක වත්ත ’ අධ්‍යයනය කිරීමෙන් ද මීට දශක කිහිපයකට පෙර පැවති සමාජ තොරතුරු රැසක් හඳුනාගත හැකිය. 50 දශකයේ අගභාගයේ සිට කොළඹ නගරාශ‍්‍රිත ප‍්‍රදේශයන්හි දක්නට ලැබුනු සමාජීය තොරතුරු කෑම්එක වත්ත නවකතාවේ දක්නට ලැබේ. බටහිරකරණයට ලක් වූ ලාංකේය සමාජය 1948 නිදහසින් පසු නැවත දේශජ ස්වභාවයක් ගන්නට විය. 1956 වර්ෂයේ දී බණ්ඩාරනායක මහතා ජය ගැනීමත් සමග දේශීයත්වයට වැඩි අගයක් ලැබිණි. නව දේශපාලන චින්තනය ගම් දනව් සිසාරා හමා ගියේය. මේ කාලවකවානුවේ දී කොළඹ දිස්ත‍්‍රික්කයේ නාගරික ප‍්‍රදේශවල පීඩිත පාන්තික ජනයාගේ ක‍්‍රියාකාරීත්වය එතරම් සොඳුරු නොවීය. කාර්මික විප්ලවය සම`ග සමාජයේ ධනපති, මධ්‍යම, පීඩිත වැනි සමාජ ස්ථරායන බිහි විය. කාර්මික ප‍්‍රදේශවල ධනපතියන් මෙන් ම පීඩිත කම්කරු පක්‍ෂය ද වාසය කළ හ. ඔවුනොවුන් එකම ප‍්‍රදේශයක, එකම දේශපාලන පසුබිමක ජීවත් වුව ද ජීවන චර්යාවන් හා සිතුම් පැතුම් අහසට පොළව සේ විය.
ගුණසිරි සිල්වාගේ කෑම්එක වත්ත නවකතාවට වැඩි වශයෙන් පාදක වී ඇත්තේ කොළඹ අවට ඇති මුඩුක්කු ජනයාගේ ජීවන චර්යාවයි. කිරුළපන ප‍්‍රදේශයේ පිහිටි කෑම්ප් එක වත්තට එම නාමය ලැබීමට හේතූ වී ඇත්තේ ආමි කෑම්ප් එකක් පැවතී තිබීමයි. දෙවන ලෝක සංග‍්‍රාමය සමග ලංකාවේ ඇතැම් ප‍්‍රදේශවල හමුදා කෑම්ප් ගොඩ නැගුණි. යටත් විජිතසමයේ විජාතිකයන්ගේ හමුදා කඳවුරු ද රට පුරා ව්‍යාප්තව තිබිණි. පසුකාලීනව එම හමුදා මධ්‍යස්ථාන ජනයාගේ වාසස්ථාන බවට පත් විය. කිරුළපන ආසන්නයේ පිහිටි කෑම්ප් එක වත්තෙහි ගෙවල් තුන්සියයක් පමණ ඇති අතර එක් ගෙවල් පේලියකට ගෙවල් හතරක් පහක් එකට සම්බන්ධ වී තිබුණි. එක් පුංචි ගෙයක් ඇතුළත ඉස්තෝප්පුවක්, සාලයක්, නිදන කාමරයක්, කෑම කාමරයක්, කකුස්සියක් හා නාන කාමරයකුත් තිබිණි. 1950x60 දශකයන්හි මෙවන් ලක්‍ෂණ ග‍්‍රාමීය සමාජයෙහි දක්නට නොවිණි. කිරුළපන අවට නිවෙස්වල කකුස්සි පැවතියේ බාල්දි ක‍්‍රමවේදයටය. සක්කිලි නමින් හැඳින් වූ මිනිසුන්ගේ කාර්යය වුයේ ගෙයක් ගෙයක් පාසා උදෑසන ගොස් වසුරු පිරුණු බාල්දි කරත්තයක දමා ගෙනයාමයි. ජනතාව තමන්ට ලැබුණු මෙම සනීපාරක්‍ෂක සේවාව සඳහා කොළඹ නගර සභාවට මසකට රුපියල් 13.25 මුදලක් ලබා දුන් බව කෑම්ප් එක වත්ත නවකතාවෙහි සඳහන් වේ. මෙහි දී අපට සිහිවන්නේ වැල්ලවත්තේ සක්කිලි ළඳකට පෙම්බැඳි නොබෙල් සම්මානලාභී මහා කවියකු වූ පබ්ලෝ නෙරූදා ය. වෛදික යුගයේ මෙන් ම පණ්ඩුකාභය රජු සමයේ ද නගර ශුද්ධ පවිත‍්‍ර කිරීමට ශූද්‍රයන් යොදා තිබූ බව සඳහන් ය. නගර පිරිසිදු කිරීම සඳහා ශූද්‍රයන් ද සක්කිලි මිනිසුන් සේ වසුුරු ගෙන ගොස් ඇත. එම ක‍්‍රමවේදය මෑතක් දක්වා ම පැවති බව කෑම්ප් එක වත්ත නවකතාව මගින් ද අනාවරණය වේ. සමාජයේ මහත් පීඩාවන්ට පත් ජන කොටසක් ලෙස සක්කිලි ජනයා හඳුනාගත හැකිය. පොදු යහපත වෙනුවෙන් ඔවුන් විඳි ජරාජීර්ණ ජීවිතය නවකතාකරුවා දක්වන්නේ සහෘද මනස සංවේගයට පත්කරමිනි.
”වසුරුවලින් පිරුණු පෝච්චි අරගෙන යන්න හැමදාම උදේට සක්කිලි මිනිහෙක් ගෙයක් ගෙයක් ගානේ ආවා. මිනිහා ආවේ ලොකු ඉලපතකුත්, ලොකු හිස් පෝච්චියකුත් අරගෙනයි. කක්කුස්සියේ වසුරු පිරුණු පෝච්චි මිනිහ ගෙනාපු හිස් පෝච්චියට පුරෝගෙන ඉලපතෙන් කක්කුස්සිය වටේ ශුද්ධපවිත‍්‍ර කරනකම් හැම ගෙදරකම කුස්සිය පැත්තේ දොර වහුණේ ඉවසන්න බැරි තරම් ගන්ඳස්කාරයෙන් බේරෙන්නයි. සමහරදාට වසුරු පිරුණු පෝච්චිවලින් වසුරු බේරුණා. සක්කිලි මිනිහගෙ අතේ ඇඟිලිකරු වලිනුත් සමහරදාට වසුරු බේරුනා

සක්කිලි මිනිහා අරන්යන වසුරු පෝච්චි පාරේ නතර කරපු තහඩු කරත්තයක පටවා ගෙන මිනිහාම තල්ලූ කරගෙන ගියා ”1

වර්තමානයේ ඩෙංගු රෝගය සමාජයට මහත් ව්‍යසනයක් කරන්නාසේ ම මීට දශක කිහිපයකට පෙර මදුරුවන්ගෙන්ම වහනය වූ රෝගයක් වුයේ මැලේරියාවයි. මැලේරියා රෝගය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට යොදාගත් උපක‍්‍රමයක් වුයේ ගමක් ගමක් වෙත ගොස් වාර්තා චිත‍්‍රපට විකාශනය කිරීමයි. එය එකල ප‍්‍රබල සන්නිවේදන මාධ්‍යක් විය. චිත‍්‍රපට කලාව පිළිබඳ වැඩි උනන්දුවක් පැවති 60,70 දශකයන්වලදී මෙවන් වාර්තා චිත‍්‍රපට සඳහා ජනයා ආකර්ශනය වන්නට විය. කෑම්ප් එක වත්ත නවකතාව ආරම්භ වන්නේ එවන් සිදුවීමකිනි. රූපවාහිනිය නොතිබුණු කාලවකවානුවේ පවතින රජය ඔවුන්ගේ දේශපාලන චින්තනය ජනයාට සමීප කරවීමට යොදා ගත්තේ ද වාර්තා චිත‍්‍රපට වැනි නිර්මාණාත්මක දෑය. මැලේරියා මර්දනය සඳහා ජනතාවට ප‍්‍රදර්ශනය කළ වාර්තා චිත‍්‍රපට අතරතුර බණ්ඩාරනායක මහතාගේ 56 ජයග‍්‍රහණය හා 59 ඝාතනය පිළිබඳ රූප රාමු ද ජනතාවට ඉදිරිපත් කර ජනයාගේ භාව ප‍්‍රකම්පනය කරමින් දේශපාලන අරමුණු ව්‍යාප්ත කරන ආකාරය ද නවකතාකරුවා නිරූපණය කරයි.

කෑම්ප් එක වත්ත නවකතාවේ කේන්ද්‍රිය චරිතය වන්නේ ජිනසෝමගේ චරිතයයි. ඔහු කුඩා කාලයේ සිට වැඩි වියට පත්වීම දක්වාම මුහුණ දීමට සිදු වූ දෑ මගින් ක‍්‍රමයෙන් වෙනස්වන සමාජය හඳුනාගත හැකි ය. ජිනසෝම ඇතුළු කෑම්එක වත්ත ළමයි බොහොමයකගේ පාසල වුයේ ශ‍්‍රී සද්ධර්මෝදය බෞද්ධ මිශ‍්‍ර පාඨශාලාවයි. ළමයින්ගේ පෝෂණය පිළිබඳ රජය වැඩි උනන්දුවක් දක්වන්නට විය. පාසල් ළමයි වෙනුවෙන් කිරි වීදුරුවක් හා ආහාර වේලක් ලබාදීම සෑම පාසලකම පාහේ ක‍්‍රියාත්මක විය. බොහෝ දුරට කිරි වීදුරුව සමග බනිස් ගෙඩියක් ළමුන්ට ලැබිණි. වර්තමානයේ මෙන් ම විවිධ පාසල්වල ක‍්‍රියාත්මක වූ අධ්‍යයන රටාවන්හි වෙනස්කම් එකල ද පැවතිණි.

සද්ධර්මෝදය පාසලින් ඉවත් ව කොළඹ ඉසිපතන විද්‍යාලයට යන ජිනසෝමට අත්විඳින්නට සිදු වූ පීඩාවන් නවකතාවේ දක්වා ඇත්තේ පාසල්වල ඇති විෂම සංස්කෘතීන්ගේ ස්වභාවය පිළිබිඹු කරමිනි. ඉංග‍්‍රීසි උගත් ඉසිපතන විද්‍යාලයේ සිසුන් සමග කටයුතු කරන ජිනසෝමට විවිධ අපහසුතාවලට මුහුණ දීමට සිදු විය. අඩු පහසුකම් ඇති පාසල්වල ඉගෙනගත් දරුවන් උසස් අධ්‍යාපනය සඳහා වරප‍්‍රසාදලත් පාසල්වලට ගිය පසු මුහුණදීමට සිදුවන පීඩාවන් අදටත් දැක ගැනීමට හැකිය.

වර්තමානයේ ගැහැනු දරුවන් පිරිමි දරුවන්ට වඩා අධ්‍යාපනයෙහි නිරතවන බවක් දක්නට ලැබේ. නමුත් මෑතක් වනතුරුම ගැහැනු දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට දෙමාපියන් වැඩි උනන්දුවක් දැක්වුයේ නැත. ජිනසෝමගේ ලොකු අක්කාගේ හා පොඩි අක්කාගේ අධ්‍යාපනය අඩපණ වීමට ද බලපෑවේ දෙමාපියන්ගේ ආචීර්ණකල්පිත අදහස් හා පීඩාකාරී ආර්ථික තත්ත්වය වේ. ගැහැනු දරුවන් හැකි ඉක්මනින් විවහ කර දී ඔවුන්ගෙන් නිදහස් වීමට උත්සහ වීම වෛදික යුගයේ සිට ම දක්නට තිබිණි. ජිනසෝමගේ තාත්තා කරන පහත ප‍්‍රකාශය මගින් කාන්තාවන්ගේ අධ්‍යාපනය පිළිබඳ වැඩිහිටියන් බහුතරයකගේ පොදු අදහස හඳුනාගැනීමට හැකිය.

”එස්.එස්.සී විභාගේ පාස් වුණාට පස්සේ ජිනසෝමලගේ ලොකු අක්කටයි පොඩි අක්කටයි වැඩි දුර උගන්වන්න තාත්තාගේ කැමැත්තක් තිබුණේ නෑ.

‘කෙල්ලන්ට මොකටද ඔය හැටි උගන්නන්නෙ? රස්සාවල් කරන්නැයි. හොඳ තැනකින් බලලා ලොකු කෙල්ලට කටයුත්තක් කරලා දෙමු.
තාත්තා අම්මා එක්ක කියනවා ජිනසෝමට ඇහුණා.... ”2

1971 දී මෙරට ඇති වූ කැරැල්ලට පසුබිම සැකසූ සමාජ, දේශපාලන, ආර්ථික බලවේග පිළිබඳව ද ඉතා සියුම් ලෙස නිරූපණය වේ. ජිනසෝමලා වැනි පීඩිත පාන්තික තරුණයන්ට මුහුණ දීමට සිදු වූ ප‍්‍රබල ඛෙදවාචකයක් වූයේ විරැකියාවයි. රැකියා ලැබුණ ද ශ‍්‍රමයට සරිලන වැටුපක් ඔවුනට හිමිවූයේ නැත. වරප‍්‍රසාදලත් පංතියක් පමණක් බහුතරයකගේ ශ‍්‍රමය සූරා කා සුඛෝපභෝගී ජීවිත ගතකරයි. කිරුළපන කෑම්ප් එක වත්තෙහි ජීවත් වූ තරුණයන්ට ද උරුම වූයේ එවන් කටුක ඉරණමකි.

ජිනසෝම ද විභාගයෙන් පසුව රැකියාවක් පිණිස මුද්‍රණාලයක අකුරු ඇමිණීමට යයි. මුද්‍රණාලහිමිකරුවන් අසීමිත ලාභ ලැබුව ද ජිනසෝමලා වැනි කම්කරුවන්ට මුහුණ දීමට සිදු වූ ඉරණම පිළිබඳ නවකතාකරුවා දක්වා ඇත්තේ මෙසේ ය.

”ජීනසෝම මාසයක් දෙකක් ප්‍රෙස් එකේ වැඩට ගියත් කිසිම දීමනාවක් ලැබෙන පාටක් තිබුණේ නෑ. උදේ හවා බස් එකේ යන්න එන්න සල්ලි ලැබුණෙත් ගෙදරින්. වික‍්‍රමසිංහ බාස් උන්නැහේට නම් පොඩි මාසික දීමනාවක් ලැබුණා. බාස් උන්නැහේටත් දරුවෝ හය දෙනෙක්ගේ පවුලක් නඩත්තු කරන්න ඒ සොච්චමෙන් බැරි නිසා රෑට රෑට රේස් කොළේ ගහන ප්‍රෙස් එකක අකුරු අමුණන්න ගියා.

මාස හය හතක් ගත වුණා. ජිනසෝමට බස් වියදමවත් අරන් දෙන්න බාස්උන්නැහේ නොගත්ත උත්සාහයක් නෑ. ධර්ම ප‍්‍රචාර ආයතනෙන් වැඬේ නොකෙරුණ නිසා එ්ක බාරව හිටිය රටේ නමගිය ප‍්‍රසිද්ධම නායක හාමුදුරුවන්ටත් ජිනසෝමගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කෙරුණත් පලක් වුණේ නෑ. ධර්ම ප‍්‍රචාරක ආයතනෙන් ජිනසෝමට පඩියක් නොගෙව්වත් ‘තුරුණු සවිය’ නම් නොකඩවාම මාසිකව පළ කෙරුණා.

ඔය විදිහට අවුරුද්දකුත් ගෙවුණා. ලෝකෙටම ධර්මය ප‍්‍රචාරය කරපු ආයතනයෙන් ජිනසෝමගේ මහන්සියට තඹ සතයක් ලැබුණේ නෑ”3

මෙවැනි අසාධාරණකම්වලට එරෙහි වූ තරුණ කණ්ඩායම් චේ ගුවේරා යනුවෙන් කල්ලි නිර්මාණය කර ගත්හ. ඔවුහු 1971 අපේ‍්‍රල් මස බල අරගලයක් කළෝ ය. ඔවුන්ගේ සටන් පාඨ වුයේ ‘අධිරාජ්‍යවාදය විනාශය, ජනතාවට විමුක්තිය.’ ‘දණින් වැටී ජීවත් වෙනවාට වඩා දෙපයින් සිට මියයාම උතුම්’ වැනි ආවේගශිලී වදන් ය. චේ ගුවේරා කල්ලිය පවත්වාගෙන ගිය පන්ති පහට සම්බන්ධ වූ තරුණ තරුණියන් නව දේශපාලන චින්තනය උගත් ආකාරය ද නවකතාවේ නිරූපිත වේ. මෙරට තරුණ තරුණියන්ගේ ජීවිත දහස් ගණනක් විනාශ වූ යුගයක් ලෙස 70 දශකය හඳුනාගත හැකිය. 7-0,80 දශකවල නිර්මාණය වූ නාට්‍ය, නවකතා, චිත‍්‍රපට වැනි කලාකෘති බොහොමයකට නව දේශපාලන චින්තනය බලපෑ ආකාරය අධ්‍යයනයේ දී පැහැදිලි වේ. ගුණසිරි සිල්වා ද 1971 කැරැල්ල නිසා සමාජයේ ඇති වූ ව්‍යාකූලතාවය මෙන් ම කැරැල්ලට සම්බන්ධ වූවන්ට හා නොවූවන්ට මුහුණපෑමට වූ අර්බුදකාරී සමාජ වටපිටාව නිරූපණය කරයි.

”මහින්දගේ කතාව ජිනසෝම විශ්වාස කළේ නැතත් ඒක ඇත්ත කියලා තේරුණේ අපේ‍්‍රල් පස් වැනිදා පාන්දර පොලීසියකට ගහලා කියලා රේඩියෝවෙන් කිව්වට පස්සෙයි. එදා රෑම රට පුරාම ඇදිරි නීතිය දැම්මා. රට පුරාම පොලීසි ගණනාවකට පහර දුන්නා කියලත්, සමහර පළාත්වල චේ ගුවේරාකාරයෝ බලය අල්ලලා පාලනය කරනව කියලත් ආරංචි පැතිරුණා. ඒ අතරෙ පොලීසිවලින් ගෙවල්වලට පැනලා කොල්ලො කෙල්ලො කුදලාගෙන යනවා කියලත් ආරංචි වුණා. හැමෝම හිටියේ බයෙන් සැකෙන්. කොයි මොහොතේ තමන්ගෙ ගෙදට්ට කඩා වැදිලා දූලා පුතලා අරන් යයි ද කියලා අම්මලාගේ තාත්තලාගේ ගින්දර පත්තු වුණා.ජිනසෝම කිසිම දේකට සම්බන්ධ නැතත් අම්මයි තාත්තයි හොර රහසෙම ජිනසෝමව මතුගම ලොකු අ්කකලෑ ගෙදරට යැව්වා.

මාසයක් දෙකක් ගියාට පස්සේ රටේ තත්ත්වය සන්සුන් වුණා. විප්ලවෙ කරන්න ගිය කොල්ලො කෙල්ලො බුරුුතුපිටින් පුනරුත්තාපන කදවුරුවලට ගාල් වුණා. ඇදිරි නීතිය ඉවත් වුණා. ”4

කෑම්ප්ඒක වත්ත නවකතාව සමාජ විද්‍යාතමක වටිනාකමකින් යුක්ත නිර්මාණයක් සේම නවකතාවක අන්තර්ගත වියයුතු කලාත්මක අගයෙන් ද පොහොසත් කෘතියක් ලෙස හඳුනාගත හැකිය. චරිත නිරූපණය කිරීමේ දී පුද්ගල මනසේ ඇතිවන විෂම ක‍්‍රියාකාරීත්වය පිළිබඳ ව මනෝවිද්‍යාත්මක ලෙස විවරණය කරන්නේ සරල භාෂා රටාවක් භාවිතා කරමිනි.

මෙහි ප‍්‍රධාන චරිතය වන ජිනසෝමට කුඩා කල සිට විවිධ අද්දැකීම්වලට මුහුණ පෑමට සිදු වේ. ළමා කාලයේ සිට වැඩිවියට පැමිණෙන කතා නායකයා වූ ජිනසෝමගේ මනෝභාව අව්‍යාජ ලෙස ඉදිරිපත් කිරීමට නවකතාකරුවා සමත් වී ඇත. පුවත්පතක චිත‍්‍ර ශිල්පියකු ලෙස කටයුතු කරන ජිනසෝමට රසිකාවියක් එවන ලද ලිපියක් හේතුවෙන් ඔහුගේ සිතෙහි ඇති වන කැලඹිලි සහගත ස්වභාවය නව කතාවේ දක්නට ඇති ප‍්‍රබල මනෝවිග‍්‍රයකි. ජිනසෝමගේ චිත‍්‍ර පිළිබඳ අගය කරමින්, ජිනසෝමවත් නොදකින, නොසිතන පැතිකඩක් වත්සලා නැමති රසිකාවිය දකින්නට වීම ජිනසෝමගේ සිත කැලඹිමට සමත් වූ ප‍්‍රධාන හේතුවයි. ඔවුන් ලිපි මගින් මිත‍්‍රශීලී වූ අතර පෞද්ගලික ජීවිතයේ තොරතුරු ද හුවමාරු කර ගත්හ. වත්සලා ජිනසෝමගේ හදවතට පෙම්වතියක සේ ළං වුව ද එය යථාර්ථයක් නොවිණි. වත්සලාගේ හැසිරීම් රටාව හා සිතුම් පැතුම් වටහා ගැනීමට නොහැකි වූ ජීනසෝම සමස්ත ස්ත‍්‍රී සංහතිය දෙස බැලූවේ තේරුම්ගත නොහැකි සත්ත්ව කොට්ඨාසයක් ලෙසිණි. නවකතාව අවසන් වන තුරුම නැවත ජිනසෝම ගැහැනියකට සමීප වීමක් දක්නට නැත්තේ එනිසාවෙනි යැයි සිතිය හැකිය. වත්සලාකෙරෙහි හටගත් ආදරය බිඳවැටීමෙන්් පසුව ජිනසෝම හැසිරෙන්නේ පේ‍්‍රමයෙන් පරාජිත වූ නිෂ්ක‍්‍රීය චරිතයක් වශයෙනි.

නවකතාව අවසාන භාගයේ ජිනසෝම වසර ගණනාවට පසුව කිරුළපන කෑම්ප්එක වත්තට ගොස් එහි සිදු වී ඇති වෙනස්කම් දැකබලා ගැනීමත්, අතීතාවර්ජනයක නිරතවීමත් වැනි සිදුවීම් නිරූපිත වේ. කෑම්ප්එක වත්තෙහි මිනිසුන්ගේ ජීවන චර්යාවන් මෙන් ම පරිසරය ද බොහෝ සෙයින් වෙනස් වී ඇති ආකාරය ඔහුට දක්නට ලැබේ. පැරණි හිතවතුන් සොයා යන ඔහුට හමුවුයේ ඉන් කිහිප දෙනෙකු පමණි. බොහොමයක් දෙනා ඉඩකඩම් විකුණා වෙනත් ප‍්‍රදේශවල පදිංචියට ගොස් ඇත. සිටින කිහිප දෙනා සමග සුහදව කතාබහ කිරීමට ජිනසෝම පෙලඹේ.

බොහෝ මිනිසුන්ට තම ජීවිතයේ සොඳුරු අද්දැකීම් උරුම වන්නේ කුඩාකාලයේදී ය. කුඩා කල ජීවත් වූ ප‍්‍රදේශය සම`ග බොහෝ දේ බැඳී පවතී. වැඩිවියට පත් වූ විට ඔවුහු තම සුන්දර අද්දැකීම් විඳි පරිසරය සොයා ගිය ද එය දක්නට නොමැති වීමෙන් ඇතිවන්නේ සංවේගාත්මක සිතුවිල්ලකි. ජිනසෝමට ද ඇතිවන්නේ එවන් හැඟීමකි. පුද්ගල ජීවිත මෙන් ම සමාජ, ආර්ථික, සාධක ද වෙනස්වන ආකාරයත්, මිනිසා භෞතිකව සංවර්ධනය වන විට ආධ්‍යාත්මිකව අර්බුදවලට ලක්වන ආකාරයත් මෙම නවකතාවේ යටිපෙළ මගින් ගම්‍යමාන වේ. නවකතාකරුවා නිර්මාණය අවසන් කරන්නේ ජිනසෝම වැනි චරිතයන්ගේ අනාගතය පරිභෝජනවාදී ආර්ථික රටාව තුළ කුමන ආකාරයෙන් විසඳේවි ද යන්න පිළිබඳ සහෘද මනසේ ප‍්‍රශ්නාර්ථයක් ඇති කරමිනි.

-එරංග කෞශල්‍ය ගොඩකන්ද ආරච්චි

1.සිල්වා, ගුණසිරි 2016, කෑම්ප්එක වත්ත, කැටපත ප‍්‍රකාශන, කොළඹ 08. පිට 11.
2. එම. පිට 52
3. එම. පිට 100
4. එම. පිට 114

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday128
mod_vvisit_counterYesterday624
mod_vvisit_counterThis week1405
mod_vvisit_counterLast week3189
mod_vvisit_counterThis month6867
mod_vvisit_counterLast month629
mod_vvisit_counterAll days1966136

Follow us on Facebook

Online Users

We have 72 guests online