08
Nov

දමයන්තිගේ හදවත කතා කරවූ ලෙස්ටර්ගේ ගොළුහදවත

රේඛාව-  සංදේශය - ගම්පෙරළිය- දලොවක් අතර- රන්සළු සහ රන්සළු හැදුවට පස්සේ  ලෙස්ටර්  අතින්   යෞවන  ප්‍රෙමය ගැන මෙතරම් රමණිය චිත්‍රපටයක්  නිර්මාණය වූයේ කොහාමදැයි  ප්‍රෙමසිරි  කේමදාස  චිත්‍රපට උළෙල ආරම්භ කරමින් තිරගත  කළ  ‘ගොළු හදවත‘  නැරැඹු තරුණ තරුණියන් වගේම  සිනමාව ගැන ඇසූපිරූ තැන්  ඇති විද්වතුන් තුළත් ඇති ඇතිවූවාට සැකයක් නෑ.

අත්ත වශයෙන්ම  එදා   අප   ‘ගොළු හදවත‘ යළි නරඹන්නට ගියේ එවකට  ගැටවර වියේදී  එය  නරඹා ලැබූ අත්දැකීම එලෙසින්ම ලැබේදැයි  සැකයෙන්. . ඒත් එය මුලින්ම නැරඹු දිනයේ  අත්විඳි චමත්කාරයත් -  සංවේදනාවනුත්  කිසිදු අඩුවක් නැතිව  හදවතටම  දැනෙන්ට  වීම අපටම අදහාගත නොහැකිවුණා. . එදා  සාහිත්‍ය විචරයන් බොළඳ පෙම්කතාවක්  විදියට අහකදමා තිබූ නවකතාවකින්   දශක  පහකටත් පසු අද පරම්පරාවකටත්  රමණිය සිනමා අත්දැකමක් බවට පත් කරන්නට  හැකිවී ඇත්තේ ලෙස්ටර්ගේ විශිෂ්ට සිනමා භාවිතාවේම මහිමයෙන් .   

 ‘ගොළු හදවත‘ තිරනාටකය රෙජී සිරිවර්ධන වැනි විශිෂ් ට විචාරකයාගේ  වීමත් විශෙෂත්වයක් .  එදා රෙජී  ඉංග්‍රීසියෙන් ලියූ විචාරකයකු  පමණක් නොවයි  විශිෂ්ට බුද්ධමතකු හැටියටත් සැලකෙනවා.. ඔහු ගේ තිර රචනය   ‘ගොළු හදවත‘   සාර්ථක චිත්‍රපටයක් වීම කෙරෙහි  සෘජු සාධකයක් වෙනවා.  ඒ වගේම  එම් එස්. ආනන්දන්ගේ  විශිෂ්ට  ආලෝක කරණය සහ  කැමරාකරණයත්-   සංස්කරණ ශිල්පියාගන් ඉටුවූ විශිෂ්ට   කාර්යයත් ප්‍රෙමසිරි කේමදාසගෙ අතිශය  සිනමාරූපී-  විශිෂ්ට  සංගීතයත්   සහ අනුලා කරුණාතිලකගේ  අපූර්ව රංග ප්‍රාතිහාර්යත්  මනාව එක් තැන් කරගන්නට ලෙස්ටර්ට හැකීවීම මේ  චිත්‍රපටයේ  සාර්ථක්වය   කෙරෙහි බලපා තිබෙනවා.

‘ගොළු හදවත‘ අද දවසේ තරුණ තරුණියන්ට කියන වැදගත්ම කතාවක් තියනවා. ඒ එදා ප්‍රෙමයට එකිනෙකා කෙරෙහි  කෙතරම් ගෞරවයක් තිබුණාද යන්නයි.  අද දවසේ අපට හමුවන්නේ තමන්ගේ පෙම්වතිය හැරපියා වෙනකකු අත ගන්නට ගිය විට පෙම්වතියගේ බඩබොකු  එළියට ඇද දැමු- ඇගේ බෙල්ලට මන්නයෙන් කෙටූ   පෙම්වතුන්ය.  එහෙත්    ප්‍රෙමයෙන් පැරදී බේබද්දකු ගේ තත්ත්වයට වැටී සිටින සුගත් සොයා එන දමයන්ති ගෙන්  ‘‘ඇයි දම්මි මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කළේ‘‘  කියා  ආත්මානුකම්පාවෙන් අසනු විනා  ඔහු මාරාවේශවී ඇයට පිහියක්  අමෙරගෙන  පැන්නේ නැත. අනෙක් අතට දමයන්ති  සුගත් සොයා එන්නේ තමන් නිසා ජීවිතය නාස්තිකරගත්   පෙම්වතාට ‘උඹ බීල මැරියන් මට මෙකෝ‘ කියා  නොසිට තමන්ගෙන් සිදූවූ අත්වරැද්ද පිළිගෙන-  පාපොච්චාරණය කොට  ඔහු මනසිකව සුපවත් කරන පිණිසයි.

 පාසල්ජීවිතයෙන් සමු ගන්නා  දවසේ    පොල්ලෙන් ඔලුවට දමා ගැසුවාක් මෙන්  ‘‘මං ඔයාට කවදාවත් ආලය කළේ නෑ සුගත්  මට  ඔයා ගැන තිබුණෙ  ආදරයක් කරුණාවක්  විතරයි‘‘ කියූ දමයන්ති ගේ සැබෑ මානසික ප්‍රතිවිරෝධය  සිනමාකරුවා  එකින් එකට හෙළිදරව්කරන්නේ මනෝවෛද්‍යවරයකු ලෙසින්.  සුගත්  කෙරෙහි තමන් තුළ තිබුණේ  සහොදර ප්‍රෙමයක් බඳු හැඟීමකැයි කියන්නට  දමයන්ති කොයි තරම් උත්සාහ කළත් සුගත් පළමුවෙන්ම දුටුදා ම අය තුළ හටගත් චකිතය- තිගැස්ම ප්‍රෙමයම නොවේදෑයි චිත්‍රපටය තුළින් ප්‍රශ්න කෙරෙනවා. 

පන්ති කාමරයේ දැලෙන් එබී සුගත් අතට වෙරළූ  අහුරක් දික් කීරීම...  සාහිත්‍ය වාර්තාව ලියන්න උදව්වට කියා සුගත් ගෙදරට ගෙන්වා ගැනීම...   ‘අපි සතියක් දෙකක් විතර කතා නොකර ඉමු කියා ‘ කියා යළි ඔහු සොයා පැමිණ අඩි රූලෙන් ඔහුගේ හිස  කැසීම -   අගේ අනාගත සහකාරයා ගැන  යමක්  පිටවෙන්න ගිය තම යෙහෙළිය අනුලාගේ කට මිරිකාගෙන හිඳීම-   රබර් වත්ත මැදින් පාසලේ සිට ගෙදර ගිය ගමනේ ඇය ලැබූ චමත්කාරය...‘සුගත් මට ඔයාට කියන්න රහසක් තියනවා‘ කිය කියා තම අනගත හිමිකරුවා ගැන හෙළිකරන්නට ගොස් නැවත නැවත එය සඟවා තබා ගැනීම.... නිවාඩුවට ගෙදර ගියාම මැණිකේ කෙනෙක් හොයා ගන්න කියා ඇත්තටම සුගත් මැනිකෙ කෙනෙක් සොයා ගත්තාදැයි තමන් බිය වූ බව හෙළි කිරීම  තුළින් ලෙස්ටර් ප්‍රශ්ණ කරන්නේ  දමයන්තිගේ   සැබෑ චෛතසිකයයි.   ගොළු හදවත  නවකතාව නිකුත්වූ 60 දශකයේදී   දමයන්ති චපල ගැහැනියකැයි    හංවඩු ගැසුනේ ඇයගේ මේ චෛතසික ස්වභවය   මතයි. ඒත් ලෙස්ටර්ගේ ‘ගොළු හදවත‘ ජයලත්ගේ ගොළු  හදවතටත්  වඩා හොඳින් දමයන්තිගේ චෛතසිකය විශ්ලේෂණය කිරීමෙන් ඇයට සාධාරණය ඉටු කරවා .  ඒ සාධාරණට ඉටු කරන්නට ලෙස්ටර්ට හැකිවන්නේ  රෙජී  සිරිවර්ධනගේ තිර රචනයේ ප්‍රබලත්වය  මගින්.  එය අතිශය සිනමාරූපී අත්දැකීමක් බවට පත් කරගන්නට හැකිවන්නේ  ලෙස්ටර්ගේ ශුර අධ්‍යක්ෂණයේ මහිමයෙන්. දමයන්ති ලෙස අනුලා  කරුණාතිලක කළ ප්‍රතිහාර්යය නොවීනම් ලෙස්ටර්ට මේ රමණීය ප්‍රෙම කතාව   මෙතරම් විශිෂ්ට  ලෙස රූපමය භාෂාවෙන් කියන්නට හැකි වන්නේ නෑ.

දමයන්තිගේ චරිතය සුලබ ප්‍රෙම වෘත්තාන්තයක එන භාවතිශය අවස්ථාවන්ගේන් මිදීමක්. ඇයගෙ සිනහවක -දගකාර බවක-  විහිළුවක වුවද  සංයත බවක්   දිස්වන  නිසා  චරිතයේ අධ්‍යාත්මය  මූර්තිමත් කිරීමේදී ඒ සංයත බව රැක ගන්නට අනුලාට සිදුවෙනවා .   ඒ නිසා ස්වකීය රංගන තුළ එන  ආංගික අභින-  වාචික අභින-  සාත්වික අභින සියල්ල චරිතයට අවශ්‍ය පරිදි පමණක්ම කපා කොටා සකස් කරගන්නට  අනුලාට සිදුවෙනවා . අනුලා ඒ   සියල්ල මනා ලෙස පිරිපහදු කරගනිමන් දමයන්තිගේ චරිතයේ සුවිශේෂතා මෙන්ම අතිශය සංකීර්ණ භාවාර්ථ  මෙන්ම ඇගේ  බාහිර ස්වරූපයේ දිස්වන භද්‍ර යෞවනයේ චමත්කාරයද  උත්කර්ෂයට නංවන්නේ අතිශය සියුම් භාව ලීලාවකින්.

අනුලාට ඇත්තේ අතිශය හැඟීම්බර මුහුණක්. අතිශය සොම්නස්  සහගත අවස්ථාවලදී ඇගේ දෙතොල මත නැඟෙන සිනහවත්  සමග  දෑසත්  සොම්නසින් දිදුලනවා .  දෙකොපොල ලෙයින් පිරී යමින් ඒ ඔස්සේත් සොම්නස උතුරා යනවා. කරුණාබර අවස්ථවලදී   ඇගේ මුහුණේ ඇඳෙන දයාර්ද්‍ර බව තවුස්දම් වඩන්නියක් සිහිපත් කරනවා.දොම්නස් අවස්ථා වකදී අතිශය හැඩුම්බර ස්වභාවයක් ගන්නා ඇගේ මුහුණ වේදනාවේ ප්‍රතිමූර්තියන;ක් වනවා.

‘ගොළුහදවත ‘තිරයට ආවේ  1968දී . එවකට   මැදි වියේ පසුවූ ලෙස්ටර් අතින් නිර්මාණය වූ  ‘ගොළුහදවත‘ වැනි රමණිය  චිත්‍රපටයක්  එදා මෙදාතුර  කිසිදු තරුණ සිනමාකරුවකු වෙතින් නිර්මාණය නොවීම ලෙස්ටර්ගේ තරුණකම ප්‍රකට කිරීමක්. 

-Gunasiri silva

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday198
mod_vvisit_counterYesterday188
mod_vvisit_counterThis week386
mod_vvisit_counterLast week4095
mod_vvisit_counterThis month4997
mod_vvisit_counterLast month12073
mod_vvisit_counterAll days1976339

Follow us on Facebook

Online Users

We have 7 guests online