13
Nov

සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී දායකත්වය

මේ වන විට සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී දායකත්වය ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී. කවිය, කෙටිකතාව, ළමා සාහිත්‍යය ඇතුළු සෑම සාහිත්‍යාංගයක ම දකින්නට ලැබුණු ස්ත්‍රී දායකත්වය මෑත යුගයේ කෙතරම් වර්ධනය වී තිබේද යත් කලක් සිංහල සාහිත්‍යයේ දැවැන්තයන් ලෙස ඉහළින් වැජඹෙමින් සිටි ලේඛකයන්ගේ කෘති අභිභවා ලේඛිකාවන්ගේ කෘති ගුණාත්මක වශයෙන් ඉහළ තලයකට සේන්දු වෙමින් පවතී.

පසුගිය වසර කිහිපයක දීම මේ රටේ පැවැත් වුණු සාහිත්‍යය සම්මාන උළෙල කිහිපයකින්ම හොඳම නවකතාවට හිමි සම්මාන දිනා ගත් ප්‍රවීණ ලේඛකයන් අතර  ලේඛිකාවෝද කරට කර සිටියහ.

සිංහල සාහිත්‍යයේ ස්ත්‍රී දායකත්වයට දීර්ඝ ඉතිහාසයක් ඇතත් එය කිසියම් ප්‍රමාණයකට වර්ධනය වෙමින් ඉස්මතු 60 - 70 දශකවල දීය.

සිබිල් වෙත්තසිංහ, ඊවා රණවීර, අයිලින් සිරිවර්ධන, ලැටීසියා බොතේජු, සෝමාදේවි පරණයාපා, ස්වර්ණලතා සුමනසේකර, අනුරාධ සිල්වා, කරුණා පෙරේරා, පිලිකුත්තුවේ කමලා, මොනිකා රුවන්පතිරණ, කැත්ලින් ජයවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ, ස්වර්ණලතා කිරිවත්තුඩුව ඇතුළු සාහිත්‍යවේදිනීන් රැසක් විසින් 60 - 70 දශකවල සාහිත්‍ය ක්ෂේත්‍රය තුළ වපුල බිජුවට තුළින් සරු අස්වැන්නක් දැකිය හැකි විය.

සිංහල  ළමා සාහිත්‍යයට සුවිශාල මෙහෙවරක් ඉටු කළ ලේඛිකාව සිබිල් වෙත්තසිංහයි. සිංහල පුවත්පත් කලාවට මුලින්ම එක් වූ කාන්තාව හැටියට ද ඇය ගෞරවයට පාත්‍ර  වන්නේ ද සිබිල් වෙත්තසිංහයි. කුඩ හොරා රචනා කරමින් අනතුරුව දශක කිහාපයක් පුරා ඇය විසින් ළමා සාහිත්‍යයට දායක කරන ලද කෘති විශාල ප්‍රමාණයකි. සිබිල්ගේ කතාවල චිත්‍ර ඇන්දේ ද ඇය විසින් වන අතර එම චිත්‍ර ඇයටම අනන්‍ය වූ සුවිශේෂ ශෛලයක් නිසා එම චිත්‍ර ළමුන් අතර මෙන්ම වැඩිහිටියන් අතර ද ඛෙහෙවින්ම ජයප්‍රිය  විය. දැනට 90 වන විය ද ඉක්මවා සිටින ඇය තවමත් නිර්මාණය කරණෙයෙහි යෙදී සිටින්නීය.

සෙදෝනා ලියමින් නවකතාකරණයට එළැඹෙන ඊවා රණවීර, ‘උන්මන්තකයෝ ලියමින් නවකතාකරණයට එළැඹෙන අනුලා ද සිල්වා සහ අඳුරට එළියක් කෙටි කතා සංග්‍රහය තුළින් නිර්මාණකරණයට පිවිසෙන කරුණා පෙරේරා එවකට සාහිත්‍යකරණයේ යෙදුණේ පුවත්පත් කලාවේ ද නිරතවන අතරතුර ය.

ඊවා රණවීරගේ සෙදෝනා නවකතාව මෙන්ම කරුණා පෙරේරාගේ අඳුරට එළියක්කෙටි කතා සංග්‍රහය ද එවකට විචාරකයන්ගේ ඉමහත් සම්භාවනාවට පාත්‍ර විය. කරුණා පෙරේරා මෙන්ම අනුල ද සිල්වා ද එවකට වඩාත් අගය කෙරුණේ දක්ෂ කෙටිකතාකාරිනියන් ලෙසටය.

70 දශකයේ දී කිවිඳියක ලෙස විචාරක අවධානය දිනා ගන්නේ මොනිකා රුවන්පතිරණයි. මොනිකාගේ මුල්ම කාව්‍ය සංග්‍රහය වූ අපි දෙන්නා සහ තවත් කිහිපදෙනෙක් තුළින් ඉමහත් කුසලතාවක් ප්‍රකට කළ අතර දිගින් දිගට කාව්‍යකරණයෙහි ම  නියැළුණා මිස ඇය නවකතාකරණයට පිවිසියේ නැත. මොනිකාගේ අකල් මරණය නිසා කාව්‍ය ක්ෂේත්‍රය  තුළ විශාල හිඩැසක් ඉතිරි කෙරුණේය.

70 දශකයේ දී නවකතාකරණයට බට කැත්ලින් ජයවර්ධන, සුමිත්‍රා රාහුබද්ධ සහ සුනේත්‍රා රාජකරුණානායක මේ වන විට වඩාත් ප්‍රබල ලෙස සිංහල නවකතා ක්ෂේත්‍රය තුළ ඉස්මතුවී සිටිති.

බලන් කඩතුරා හැර දෑසේ ලියමින් නවකතාකරණයට එළැඹෙන කැත්ලින් ජයවර්ධන අනතුරුව ඉන්දුමතී, කළු සුදු, රාත්‍රියේ පශ්චිම භාගය  , දාදු කැට, සන්තර්පණය, zකුරුටු ගීතය, වැල්පාලම, තඹර විල, සත්‍යකාම, අකාල යාත්‍රා, ධාරා, ධවල නිම්නය, මහසෙන් ඇතුළු විවාදාත්මක නවකතා රාශියක්ම සිංහල සාහිත්‍යයට දායක කළාය.

සුමිත්‍රා රාහුබද්ධ නවකතාකරණයට එළැඹෙන්නේ බුමුතුරුණු තුළිනි. අනතුරුව උදානය, දළ රළ පෙළ, කෙළිමඩල, සුර අසුර, දුල දුලාය කන්දක් සේමා අත අත නෑර, සිය සිය පත් සියය ඇතුළු විවාදාත්මක නවකතා රැසක් සිංහල නවකතා අතරට එක්කළාය

80 දශකයේ දී නවකතාකරණයට පිවිසෙන සුනේත්‍රා රාජකරුණානායක සඳුන්ගිර ගිනි ගනී, ප්‍රේම පුරාණය රිදී තිරංගනාවී සත්ගුණාකාරය පොදු පුරුෂයා කවි කඳුර, පියෙණි මණඩපය, සර්වකාලත්‍ර ප්‍රේමය, නන්දිතය, බත් තරංග සුුභෝධාලංකාරය, බුද්ධදාසී, සෞම්‍ය ලෝකය, ඇතුළු විවාදාත්මක නවකතා රැසක් දායාද කළාය.

සුමිත්‍රා රාහුබද්ධ සහ සුනේත්‍රා රාජකරුණානායක මෙන්ම කැත්ලින් ජයවර්ධනගේ නවකතා සඳහා ද වැඩිපුරම විෂය කර  ගෙන තිබුණේ ස්ත්‍රියයි. කැත්ලින්ගේ නවකතා බොහොමයක ස්ත්‍රියගේ දෘෂ්ටිකෝණයෙන් පුරුෂ මූලික සමාජය සියුම් ලෙස විවේචනය කරනු දක්නට ලැබේ. කැත්ලින්ගේ නවකතාවල එන පුරුෂ චරිත කි්‍රයා කරන ආකාරය තුළින් ඇය සියුම් ලෙස එම චරිත උපහාසයට ද ලක් කරනු දැකිය හැකිය. තඹර විල නවකතාවෙන් පසු සත්‍යකාම ධාරා ඇතුළු ඇගේ මෑත කාලීන නවකතා අධ්‍යාත්මික පැත්තට වඩාත් නැඹුරුවූ බවක් දැකිය හැකිය.

ස්ත්‍රිය සහ ප්‍රේමය පිළිබඳව සංකීර්ණ මෙන්ම සුන්දර නවකතා කිහිපයක් ලියූ සුනේත්‍රා රාජකරුණානායක ද පසුකාලීනව සිය නවකතාව මඟින් අධ්‍යාත්මික පැත්තට නැඹුරුවන්නට ලැබූ උත්සාහයක් පෙනෙන්නට තිබේ.

සුමිත්‍රා රාහුබද්ධ නවකතාකාරිය ද ස්වකීය නවකතාව ඔස්සේ ස්ත්‍රිය පිළිබඳ ප්‍රබල කථීකාවක් ගොඩනඟයි. ස්ත්‍රියගේ දෘෂ්ටියෙන් ලියවුණු සුමිත්‍රාගේ නවකතා පාඨකයා ඇද බැඳ තබා ගන්නේ මේ ස්ත්‍රිය ආර්ථීක - සාමාජික - දේශපාලන හා සංස්කෘතික ගැටලූ මැද මුහුණ දෙන ආකාරය ප්‍රබලව සාකච්ඡා කරන නිසාය.

90 දශකයේ දී පරිවර්තන කාර්යයෙන් සිංහල නවකතාවට සුවිසල් මෙහෙයක් කළ ලේඛිකාවකි, චින්තා ලක්ෂ්මී සිංහාරච්චි. මාවතේ ගීතය  අපූගේ ලෝකය අපරාජිත ජීවිතයක් නමින් වංගසාහිත්‍යයේ එන සරච්චන්ද්‍ර භට්ඨෝපාද්‍යගේ නවකතා ත්‍රිත්වය පරිවර්තනය කරමින් සිය කාර්යය අරඹන ඇය ඉන් අනතුරුව අරණකට පෙම්  බැඳ ගෝරා සහ  ගෝදානය නමැති ලෝක සාහිත්‍යයේ එන විශිෂ්ට කෘති පරිවර්තනය කරමින් සිංහල සාහිත්‍යයට කළ විශිෂ්ට මෙහෙවර මිල කළ නොහැකි තරම්ය. ඇයගේ අකල් මරණය ද සිංහල සාහිත්‍යයට සිදු වූ බලවත් පාඩුවකි.

90 දශකයේ දී නවකතාකරණයට පිවිසෙන ශාන්ති දිසානායක වරා මල්  හැන්දෑව වාලූකා  අග්නි පරඩැල් වර්ණ  නිකිණි  දොළොස්මහ ඇතුළු නවකතා රැසක් සිංහල නවකතාවට එක් කළාය.

ශාන්තිගේ නවකතාවල ද වැඩිපුරම සාකච්ඡාවට ලක් කෙරුණේ ස්ත්‍රිය ලිංගික වශයෙන් පීඩාවට සහ සූරාකෑමට ලක්වන ආකාරයයි. අනුරාධපුර කොලනියක ජීවත් වන ඇයගේ නවකතාකරණය එම කොලනිය තුළ වෙසෙන ගැහැනුන් සහ පිරිමින්ගේ ජීවිත ආශ්‍රයෙන් ලියැවී ඇත.

ස්ත්‍රිය පිළිබඳව විෂය කර ගනිමින් ලියූ ලේඛිකාවන් අතර තිළිනා වීරසිංහ ද කැපී පෙනෙයි. 90 දශකයේ දී කෙටිකතාකරණයට බට තිළිනා විසින් පළ කරන ලද කෙටි කතා කිහිපයක් එවකට විචාරක අවධානය යොමු වූ අතර ඇය එම කෙටි කතා තුළින් පුරුෂ මූලික සමාජය තුළ ස්ත්‍රියට විඳින්නට සිදු වන පීඩාවන් පිළිබඳ විවේචනාත්මක දෘෂ්ටියකින් සාකච්ඡා කර තිබුණි. අලූතින් නවකතාකරණයට එක්ව සිටින ලේඛිකාවන් අතර කත්‍යානා අමරසිංහ සහ සාමෙල් ජයකොඩි කැපී පෙනෙති. ඔවුන් දෙදෙනාගේ නවකතා තුළින් ද  සාකච්ඡා වනුයේ ස්ත්‍රියගේ භූමිකාවයි.

මේ වන විට සාහිත්‍යකරණයේ යෙදෙන ස්ත්‍රීන් රැසක්ම දක්නට ඇතත් අප මෙහිලා සාකච්ඡාවට ලක් කළේ පාඨකයා අතර ප්‍රබල ප්‍රතිරූපයක් නංවන්නට සමත් වූ ලේඛිකාවන් අතළොස්සක් පමණි. ඔවුන්ගේ කෘති බොහොමයක් වත්මන් සිංහල නවකතාවේ පෝෂණයට ඉවහල් විය. එසේම ඔවුන්ගේ කෘති පාඨකයා ඇද බැඳ තබා ගන්නට සමත් වූයේ ඒවායේ එන හෘදයාංගම බව සහ අව්‍යජත්වය නිසා යයි හඟිමි. ඔවුන්ගේ කෘති කියවන විශාල පාඨක ජලායක් මේ වන විට බිහි වී ඇත්තේ ද එබැවිනි.

මේ ලේඛිකාවන්ගෙන්  සිංහල සාහිත්‍යයට සිදු වු දායකත්වය පිළිබඳව මීට වඩා පුළුල් කථීකාවක් ගොඩනැගීම කාලීන අවශ්‍ය තාවයක් ලෙස දකිමි.

ගුණසිරි සිල්වා

Share

THUNDENEK - HER. HIM. THE OTHER

Find us on Facebook

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterToday211
mod_vvisit_counterYesterday188
mod_vvisit_counterThis week399
mod_vvisit_counterLast week4095
mod_vvisit_counterThis month5010
mod_vvisit_counterLast month12073
mod_vvisit_counterAll days1976352

Follow us on Facebook

Online Users

We have 20 guests online